අපට නින්ද අවශ්‍ය ඇයි?

සුවපත් නින්ද සහ මානසික යහපැවැත්ම

විශේෂඥ වෛද්‍ය යමුනා ගයානි එල්ලාවල

නින්ද සහ මානසික සෞඛ්‍යය එකිනෙකට සමීපව සම්බන්ධ වේ. නින්ද මානසික තත්ත්වයට බලපාන බව බොහෝ අය හොඳින් දනී. යම් අයෙකු අතින් වෙනදා සිදු නොවන අතපසුවීම් හෝ වැරදි සිදුවන විට අද ‘ඇඳේ වැරදි පැත්තෙන්ද අවදි වුණේ’ යනුවෙන් බොහෝ විට අසනු ලැබේ. එයින් පෙනී යන පරිදි, මෙම කියමන පිටුපස යම් සත්‍යතාවක් ඇති බව පැහැදිළිය.

ඔබ නිදා සිටින විට කිසිවක් සිදු නොවන බව ඔබ සිතනවා විය හැකිය. නමුත් නින්දේදී ඔබේ මොළයේ කොටස් ක්‍රියාකාරී තත්ත්වයේ පවතී. නින්දේදී, ඔබේ ශරීරයට විවේක ගැනීමට සහ ශක්තිය නැවත ලබා ගැනීමට අවස්ථාවක් ලැබේ. සුවපත් නින්ද ඔබට ආතතිය සමඟ සාර්ථකව කටයුතු කිරීමට, ගැටළු විසඳීමට සහ රෝග වලින් මිදීමට උපකාරී වේ. එම නිසා, නින්දේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම මඟින් මානසික සෞඛ්‍යයට හිතකර බලපෑමක් ඇති කළ හැකිය.

නින්දේ කාල සීමාව පුද්ගලයාගෙන් පුද්ගලයාට තරමක් වෙනස් විය හැකිය. ඔබට කොපමණ නින්දක් අවශ්‍යද? යන්න බොහෝ සාධක බලපායි. එයින් ප්‍රධාන සාධකයක් වනුයේ වයසයි. වැඩුණු පුද්ගලයෙකුට දවසකට දළ වශයෙන් පැය 8ක පමණ සහ ළමයෙකුට පැය 9 – 12ක පමණ නින්දක් ලැබීම අවශ්‍යය.

මෙම වැදගත් පැය කිහිපය තුළ ඔබේ ශරීරයේ සිදු වන වෙනස්කම් සහ ඔබ අත්විඳින දේ තේරුම් ගැනීම සිත් ඇදගන්නා සුළු ය.නින්ද චක්‍රයක් මෙන් සිදුවන්නකි. සාමාන්‍ය රාත්‍රියක නින්දේදී මෙවැනි නිදි චක්‍ර හතරක් – පහක් සිදු වේ. එක නිදි චක්‍රයකදී අප විසින් ප්‍රධාන විධි 4ක් පසු කරනු කරනු ලබයි. මෙම විවිධ අවධීන්හිදී මොළය සහ ශරීරය වෙනස් ලෙස ක්‍රියා කරයි.

පළමු අවධිය නින්දේ සැහැල්ලු අවධියයි. මෙම කාලය තුළ අවදි වීම පහසු වන අතර, අවදි වුවහොත්, ඔබ නිදා සිටි බව ඔබ නොදැන සිටිය හැකිය. දෙවන අවධියේදී, ඔබ තරමක් ගැඹුරු නින්දක සිටින අතර එයින් අදහස් වන්නේ ඔබ අවදි වීමට ඇති ඉඩකඩ අඩු බවයි. මෙහිදී හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීම මන්දගාමී වේ. ඇස් වල චලනයන් සිදු නොවේ.

තුන්වන අවධිය ගැඹුරු නින්දේ ආරම්භය වන අතර, අවදි වීමට වඩාත්ම දුෂ්කර අවධිය මෙයයි. හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීම තවදුරටත් අඩුවේ. ශරීරය සම්පූර්ණයෙන්ම ලිහිල් වේ. මේ අවධියේදී, මස්පිඬු සහ පටක අලුත්වැඩියා කිරීම සිදු වනවා සේම, ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරනු ලබයි. අලුත් දවසකට නැවුම් ව මුහුණ දීමට ඔබව සූදානම් කරයි.

සාමාන්‍යෙයන් විචිත්‍රවත් සිහින බොහෝ විට දකින්නේ හතර වන අවධියේයි. ඔබේ ඇස් විවිධ දිශා වලට වේගයෙන් ගමන් කරයි. ඔබේ හෘද ස්පන්දන වේගය වැඩි වන අතර හුස්ම ගැනීම වඩාත් අක්‍රමවත් වේ. මොළයේ ක්‍රියාකාරීත්වය පෙනෙන ලෙස වැඩි වේ. මේ ඔබේ මොළය දිවා කාලයේ ඇති කරන ලද කෙටි කාලීන මතකයන් දිගු කාලීන මතකයන් බවට පරිවර්තනය කරන “මනස අලුත්වැඩියා කරන” අවධියයි.

නින්ද අපට වැදගත් ඇයි ?

• සිරුරේ ප්‍රාණවත් බව ඇති කිරීමට
• ශරීර ශක්තිය වැඩි දියුණු කිරීමට

• වැඩ කිරීමේ හැකියාව වැඩි වීමට

• සිතේ සතුට වැඩිවීමට
• සමාජ සබඳතා වැඩි දියුණු වීමට

• බෝ නොවන රෝග වැළැක්වීමට

සුවපත් නින්දකට බාධා කරන කරුණු මොනවා දැයි හඳුනා ගනිමු.

• නින්දට පෙර අධික ආලෝකයට නිරාවරණය ව

• මානසික පීඩනය හා විඩාව

• දුම් පානය

• අක්‍රිය දිවි පෙවෙත

• අධික සීනි සහිත ආහාර ගැනීම

• නින්දට ආසන්නව කෝපි පානය කිරීම

සුවබර නින්දකට මඟ පාදා ගන්නට කළ යුතු දේ මොනවාද?

• නිදා ගන්නා රටාව ක්‍රමවත් කර ගැනීම- නියමිත වෙලාවට නිදා ගැනීම සහ අවදි වීම, දිවා කාලයේ නිදා නොගැනීම, අවශ්‍ය නම් විනාඩි 15 ක් පමණ විවේකයක් ගැනීම

• නින්දට සුදුසු වටපිටාවක් තිබීම -නින්දට පැයකටවත් පෙර විද්‍යුත් උපාංග භාවිත නොකිරීම, කාමරය හොඳින් අඳුරුව හා නිශ්ශබ්දව තිබීම

• ආහාර පිළිබඳ සැලකිලිමත් වීම – රාත්‍රී ආහාරයට සැහැල්ලු කෑමක් ගැනීම, අධික සීනි සහිත ආහාර නොගැනීම, නින්දට ආසන්නව කෝපි, තේ වැනි දේ පානය නොකිරීම

• සිත සන්සුන් කර ගැනීම – භාවනා වැනි සිත තැන්පත් කරන ව්‍යායාම කිරීම, හුස්මට අවධානය යෙදවීම -ගැඹුරින් හුස්ම ගැනීම, නින්ද ගැන මෙනෙහි කිරීම

නින්ද නොමැතිව අපට හොඳින් ජීවත් විය නොහැකි බව අපි දනිමු. එනිසා, අප ජීවිතයේ වැඩි වැදගත්කමක් සහ නිසි වටිනාකමක් නින්දට දිය යුතුය. ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක නින්දක් ලබා ගැනීම කොතරම් වැදගත් දැයි දැන් ඔබට වැටහෙනවා නේද?

 

යමුනා ගයානි එල්ලාවල

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂ කාර්යාලය

සෞඛ්‍යය අමාත්‍යංශය

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate