ආන්දෝලනයට ලක්ව ඇති, මොකක්ද මේ ටොසිලිසුමැබ් (Tocilizumab) ඖෂධය

කොවිඩ් රෝගීන් සදහා ලබා දෙන ටොසිලිසුමැබ් (Tocilizumab) ඖෂධය පිළිබදව පසුගිය දිනවල සමාජය පුරා කතාබහට ලක් විණි.මෙම ඖෂධය නොමැති වීමෙන් කොවිඩ් රෝගීන් මියැදුනු බව ත් එම එන්නත තිබුණේ නම්, ජීවිත විශාල සංඛ්‍යාවක් බේරා ගැනීමට හැකියාව තිබූ බව ත් ඒ පිළිබදව කතා කළ බොහෝ දෙනාගේ අදහස විය.

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති
විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති

මොකක්ද මේ ටොසිලිසුමැබ් ඖෂධය ? එමගින් කෙරෙන්නේ කුමක්ද ? යන ආදී බොහෝ දෙනාට පවතින ප්‍රශ්න පිළිබදව සාකච්ඡා කිරීමට අපි අදහස් කළෙමු.

ඒ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධ වෛද්‍ය විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සමග පැවැත්වූ සාකච්ඡාවකි වේ.

මොකක්ද මේ ටොසිලිසුමැබ් ඖෂධය?

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ පසුවන රෝගීන්ට සුදුසු බව නිර්දේශ කළ ඖෂධයක්.ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ රෝගීන්ට සුදුසු බවට නිර්දේශ කළ දෙවැනි ඖෂධය මෙයයි. මෙය වෛරසයට එරෙහිව ප්‍රතිවෛරස ගුණ ඇති ඖෂධයක් නෙවෙයි.

කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ සිටින රෝගියෙකු මිය යාමට හේතුවන ප්‍රධාන සාධකයක් තමයි ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා අධික ලෙස ක්‍රියාකාරී වීම. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියා කිරීම මගින් ශරීරයේ සුදු රුධිරානු සහ අනෙකුත් ප්‍රතිශක්තිකරණ සෛලවලින් ඉතා විශාල ජෛවී අනුක ප්‍රමාණයක් ස්‍රාවය වෙනවා.අපි ඒවා සයිටොකයින ලෙස හදුන්වනවා. එහි නමේ තේරුම තමයි සෛල විනාශ කිරීමේ හැකියාව තිබෙන අනුක ද්‍රව්‍යයක් කියන එක.

මෙය ක්‍රියා කරන ආකාරය පිළිබද පැහැදිළි කළොත් ?

මෙහිදී සාමාන්‍යයෙන් වෛරසය විනාශ කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා සයිටොකයින ඉතා විශාල ප්‍රමාණයක් ශරීරයේ නිෂ්පාදනය වෙනවා.ඒ මගින් ශරීරයේ අනෙකුත් සෛලවලට විශාල හානියක් සිදු වෙනවා.

ටොසිලිසුමැබ් ලබා දීමෙන් නිපදවන එක සයිටොකයිනයක් තමයි ˝ඉන්ටලියුකින් 6˝ කියන හයවන ඉන්ටලියුකින් වර්ගය. මෙම ඉන්ටලියුකින් වර්ගය මේ අවස්ථාවේදී ඉතා විශාල ලෙස ස්‍රාවය වන බව සොයා ගෙන තිබෙනවා.ඒ කියන්නේ ටොසිලිසුමැබ් ˝ඉන්ටලියුකින් 6˝ට ප්‍රතිවිරුද්ධව සෑදූ ප්‍රතිදේහයක්. ටොසිලිසුමැබ් මගින් ඉන්ටලියුකින් හයෙන් ශරීරයට සිදු කරන හානිය අවම කරනවා.

කොවිඩ් නියුමෝනියාව තත්ත්වයෙන් පසුවන ඕනෑම රෝගියෙකුට මෙම ඖෂධය දිය හැකිද?

ඒක තමයි ඊළගට තිබෙන වැදගත්ම ප්‍රශ්නය. මෙම ඖෂධය කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ පසුවන ඕනෑම රෝගියෙකුට දිය නොහැකියි. එය ලබා දීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවෙන්න පුලුවන්.ඒ නිසා ඕනෑම රෝගියෙකුට මෙම ඖෂධය ලබා දීමට පෙර කොවිඩ් 19 විෂබීජයට අමතරව වෙනත් විෂබීජයක් ශරීරයේ ආසාධනය වී ඇතිදැයි සොයා බැලීමට රුධිර පරීක්ෂණ කරනවා.

කොවිඩ් රෝගීන් නියුමෝනියා තත්ත්වයයට පත් වුණාම, රෝගියාගේ පෙනහලු දුර්වල වෙනවා.මෙම දුර්වල වූ පෙනහලුවලට නැවත බැක්ටීරියා ආසාධනය වෙන්න පුලුවන්. කොවිඩ් රෝගීන් කොවිඩ් නියුමෝනියා තත්ත්වයට වගේම බැක්ටීරියා හෝ දිලීර නියුමෝනියා තත්ත්වයටත් පත් වෙන්න පුලුවන්. ඒ නිසා නියුමෝනියා රෝගීන් කොවිඩ් නියුමෝනියා රොගීන් ද? බැක්ටීරියා හෝ දිලීර නිසා වන නියුමෝනියා රෝගීන් ද යන්න පිළිබදව තහවුරු කර ගත යුතුයි. බැක්ටීරියා හෝ දිලීර මගින් ආසාධිත රෝගියෙක් නම් ටොසිලිසුමැබ් දීම සුදුසු නෑ.රුධිර පරික්ෂාවෙන් එය තහවුරු කර ගෙනයි ඖෂධය ලබා දෙන්නේ. බැක්ටීරියා හෝ දිලීිර රෝගී තත්ත්වයක් නම් ප්‍රතිජීවක හා ප්‍රතිදිලීර ඖෂධ ලබා දෙනවා.ඒ වගේම තමයි ටොසිලිසුමැබ් දෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බාල කිරීමට දෙන ස්ටීරොයිඩ් (steroid) කාණ්ඩයේ ඖෂධ සමගයි.

බෝනොවන රෝග පවතින රෝගීන්ට මෙම ඖෂධය දීමෙන් සංකූලතා ඇති වන්නේ නැද්ද?

දියවැඩියාව,අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්,ඇදුම අංශභාග ඇතුලු නිධන්ගත රෝග පවතින රෝගීන්ටත් මෙම ඖෂධය ලබා දිය හැකියි. හැබැයි, රුධිර පරීක්ෂාවලින් පසුව බැක්ටීරියා හා දිලීර ආසාධන නොමැති රෝගීන්ට පමණයි මෙය දිය හැක්කේ.

ටොසිලිසුමැබ් ඖෂධයේ මේ තරම් හිගයක් පවතින්නේ ඇයි?

ඇත්තටම ටොසිලිසුමැබ් ඖෂධය කොවිඩ් 19 රෝගීන් සදහාම නිපදවූ ඖධයක් නෙවෙයි. මෙය මීට පෙර භාවිත කළේ රූමටොයිඩ ආතරයිටිස් රෝගයට.ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි වීම නිසා කුඩා සන්ධි ඉදිමීමක් සහිතව සිදු වෙන රෝගයක් තමයි රූමටොයිඩ ආතරයිටිස් කියන්නේ. එම රෝගීන්ටයි මෙම ඖෂධය ලබා දුන්නේ. කොවිඩ් 19 වෛරසය පැතිරීමෙන් පසු සිදු කළ පර්යේෂණයන්වලදි අසාධ්‍ය ලෙස කොවිඩ් 19 පවතින රෝගීන්ටත් මෙය සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළා.

ඊට පෙර මෙම ඖෂධයට විශාල ඉල්ලුමක් තිබුණේ නෑ.ඒ නිසා ඉල්ලුමට සරිලන සැපයුමකුයි තිබුණේ. මේ වන විට පවතින තත්ත්වයත් සමග අවශ්‍ය ප්‍රමාණයට සැපයීමට අදාළ සමාගමට නොහැකි වී තිබෙනවා. කොවිඩ් 19 ගෝලීය වසංගතයක්. ලොව පුරා රටවල් බොහොමයකට මෙම ඖෂධය අවශ්‍යයි. මෙම හිගය අපිට පමණක් නොවෙයි මුලු ලෝකයේම පවතින හිගයක්.

පසුගිය දිනවල මෙම ඖෂධය රුපියල් ලක්ෂ හතකට පමණ අලෙවි වූ බව සමාජයේ කතා තිබුණා.
ඇත්තටම මේ ඖෂධයේ හිගයක් තිබෙනවා. හිග වීම නිසාම මිලත් අධිකයි. නමුත් පවතින තත්ත්වයෙන් සමහරු ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. ඒ නිසා වැඩි ලාභයක් ලබා ගන්න තම හිතුමනාපයට මෙය අලෙවි කරනවා. කොහොම වුණත් මේ ඖෂධය රුපියල් ලක්ෂයකට අධිකයි. සාධාරණ මිලකට අපිට මෙය ලබා ගැනීමට ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කරමින් තිබෙනවා.

කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ පසුවන රෝගීන්ට මෙම ඖෂධය සියයට සියයක් ක්‍රියා කරනවාද?

මම මුලින් කී පරිදි කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ පසුවන සෑම රෝගියෙකුටම මෙය දෙන්න බෑ. මෙය දුන් රෝගීන්ගෙන් ජීවිත බේරා ගැනීමට හැකි වූ ප්‍රතිශතය සියයට 35 යි. නොදුන් අයගෙන් ජීවිත බේරා ගැනීමට හැකිවූ ප්‍රතිශතය සියයට 31 යි. ඉතිං මේ සියයට 4 ජීවිත බේරා ගැනීමටයි මෙම ඖෂධය භාවිත කරන්නේ.

ටොසිලිසුමැබ් ඖෂධය නොමැති වීම නිසා රෝගීන් විශාල සංඛ්‍යාවක් මිය ගිය බව පසුගිය දිනවල සමාජයේ කතා බහට ලක් වුණා. මෙය සත්‍යයක් ද?

මම දන්නා පරිදි අපිට අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ තිබෙනවා. එක් රෝහලක නැති නම්, වෙනත් රෝහලකින් ගෙන්වා හෝ රෝගීන්ට අවශ්‍ය ඖෂධය ලබා දෙනවා. එය නැතිව රෝගීන් මිය ගිය බවට පළවන වාර්තාවල සත්‍යයක් නෑ. කොවිඩ් 19 කියන්නේ දරුණු වෛරසයක්. මෙහිදී ශරීරයේ සෛලවලට ඉතා විශාල හානියක් සිදුවෙනවා. මොන බෙහෙත දුන්නත් රෝගීන් මරණයට පත් වන අවස්ථා තිබෙනවා.

ටොසිසිසුමැබ් ඖෂධයෙන් අතුරු ආබාධ ඇති වීමේ හැකියාවක් තිබෙනවාද?

ඕනෑම දරුණු රෝගයකට ලබා දෙන ඖෂධවල අතුරු ආබාධ පවතිනවා. මේ ඖෂධයෙත් එහෙමයි.මෙම ඖෂධය දීමේදීත් රෝගියාට එය සුදුසු ද යන්න පිළිබදව රුධිර පරීක්ෂාවක් නොකර ලබා දුන්නොත් විෂබීජ පාලනය කිරීමේ හැකියාව අඩුවෙන්න පුලුවන්. ඒ මගින් රෝගය උත්සන්න වෙන්නත් පුලුවන්. මෙහිදී රෝගීන්ට ඇතිවන අතුරු ආබාධවලට වඩා එයින් ජීවිත බේරා ගැනීමට ඇති හැකියාව තීරණය කළහොත් මෙම ඖෂධය ලබා දෙනවා.

 

(ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)

Related post

2 Comments

  • Thanks for informations

    • Welcome and thank u for your comment

Leave a Reply

Your email address will not be published.

Translate