දෛනික පී.සී.ආර්. පරීක්ෂණ අඩු කළේ ඇයි?

කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවපත් වී මාස හයක් පමණ ගතවුවද එම පුද්ගලයින් නැවත පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කිරීමේදී ආසාදිත බවට පරීක්ෂණ ප්‍රතිඵලය ලැබෙන බැවින් අලුතින් ම ආසාදනය වූ පුදුගලයින් නිවැරදි හඳුනා ගැනීමට එය බාධාවක් වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ ය.

කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවපත් වූ රෝගියෙකු ආසාදිතයෙකු බවට පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවේ සටහන් වුව ද එම පුද්ගලයාගෙන් වෛරසය පැතිරීමේ කිසිදු අවදානමක් නැතැයි ද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අවධාරණය කළේ ය.

 

මේ වන විට කොවිඩ් 19 ආසාදිත රෝගීන් දෛනිකව වාර්තා වීම ඉහළ අගයක් ගෙන තිබෙන අතර ඊට සාපේක්ෂව පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීම අඩු කර තිබීම සම්බන්ධයෙන් පැහැදිළි කරමින්  සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදී සමිත ගිනිගේ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

දෛනිකව 30000 ක් ලෙස පැවැති  පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව මේ වන විට 6000 දක්වා අඩු වී තිබෙන බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා,  අසාදිතව සිට සුවවූ පුද්ගලයින් නැවත නැවත පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන්  ආසාදිතයින් බවට තහවුරු වනු ඇතැයි ද පැවැසීය. එය ප්‍රජාව අතර සිටින රෝගීන් හඳුනා ගැනීමට බාධාවක් බව ද සඳහන් කළේ ය.

මේ හේතූන් නිසා රෝගීන් හඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සිදුවූ බව ද ඒ මහතා අනාවරණය කළේ ය.

එම නිසා කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් හැකි ඉක්මනින් රෝහලට ගොස් හෝ ළඟම ඇති සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත ගොස් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු වන ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා, ඉල්ලා සිටියේය.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව මගින් යම් පුද්ගලයෙකු ආසාධිත බවට තහවුරු වුණොත් ඔහු රෝගියෙකු ලෙස ගණනය කරන බව ත් එම පරීක්ෂාවෙන් රෝගියෙකු නොවන බවට තහවුරු වුවහොත් පී.සී.ආර්. පරීක්ෂණයක් මගින් එය නිවැරදිව තහවුරු කර ගන්නා බවත් සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් පැවැසීය.

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate