උද්ඝෝෂණ, ජනතා ඒකරාශීවීම් සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන

පෙළපාලි හා උද්ඝෝෂණ ඇතුළු ජනතා ඒකරාශී වීම් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනයට අනුව ඒකරාශීවීම,ක්‍රියාකාරකම් අවස්ථා හෝ ඒ හා සමාන රැස්වීම් පැවැත්වෙන ස්ථානය සහ ඒ වටපිටාව,ව්‍යූහය හෝ වට මායිම මෙන්ම ඊට සහභාගි වීමට අවසර ‍දෙන උපරිම තැනැත්තන් සංඛ්‍යාව හෝ අවසර දිය හැකි ධාරිතාව සම්බන්ධයෙන් නව නියෝග ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අද (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.

“මේ වන විට පවතින නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව රට විවෘත කළ පසු විවාහ උත්සව ආගමික ස්ථාන සහ වෘත්තීය සම්මන්ත්‍රණවලට සහභාගි වීමට හැකියාව ඇති පිරිස කොපමණද? යන්න අප විසින් තීරණය කරනු ලැබුවත් පෙළපාලි උද්ඝෝෂණ වැනි දේ සඳහා අවසර ලබා දීමක් සිදු කෙරුණේ නැහැ

නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව මුළු ශ්‍රී ලංකාවම රෝගී ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා. රෝගීන් සංඛ්‍යාව ඉහළ යන තත්ත්වයක තිබියදී එවැනි දේ සිදු වුවහොත් නැවතත් ලබා දී තිබෙන සීමාවන් ලිහිල් වීමට හැකියාවක් ලැබෙන්නේ නෑ

පාසල් ආරම්භ වී තිබෙන අවස්ථාවක මෙවැනි ක්‍රියාකාරකම් නොකර සිටීමට අපි සියලු දෙනා වග බලා ගත යුතුයි.

එසේ අවශ්‍යතාවක් තිබෙනවා නම් එය තිබෙන ප්‍රදේශය අනුව රෝගීන් වාර්තා වන තත්ත්වය අනුව බලලා එයට අවසර ලබා දීමට කටයුතු කරනවා.
සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවේ. මෙහි විධිවිධාන උල්ලංඝනය කළ හොත් නීතිමය පියවර ගැනීමට හැකියාවක් ඇති මුත් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය නොවන ආකාරයට සියලු දෙනා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.”

Editor Health and Life

Related post

1 Comment

  • Yes should follow the procedure as says ministry of health and thanks for the information..

Leave a Reply

Your email address will not be published.

Translate