උදේට ඇඳෙන් බැහැලා කකුල බිම තියන කොට විලුඹ රිදෙනවාද?

මැදි වයසේ පසුවන බොහොමයක් දෙනා අතරින් නිතර අහන්න ලැබෙන මැසිවිල්ලක් තමයි, උදේට ඇඳෙන් බැහැලා අඩිය බිම තියලා ඇවිදින්න බෑ. විලුඹ රිදෙනවා. එහෙම නැත්නම්, ටිකක් වෙලා එක දිගට

වෛද්‍ය තමරිකා නිරෝෂණී

වාඩි වෙලා ඉඳලා නැගිටලා යන්න බෑ විලුඹ රිදෙනාවා. සාමාන්‍යයෙන් මේ තත්ත්වය ක්‍රමයෙන් ඇතිවෙලා නිසි ප්‍රතිකාර නොලැබීම හෝ නුසුදුසු ආහාර විහරණය නිසා දවස පුරා පවතින වේදනාකාරී මෙන්ම සාමාන්‍ය එදිනෙදා ක්‍රියාකාරකම්වලටත් බාධා වන තරම් ගැටලුවක් ඇතිවන්නට පුළුවන්. මෙවැනි ලක්ෂණ පවතින අයගෙන් සියයට හැත්තෑවක් පමණ දෙනාගේ එක් පාදයකට පමණක් මෙම තත්ත්වය ඇති වුවත් සමහරුන්ට පාද දෙකටම බලපෑම් ඇතිවෙන්නත් පුළුවන්.

දීර්ඝ වේලාවක් නිශ්චලතාවයේ සිට ඇවිදීම ආරම්භ කළ පළමු පියවර කිහිපයේදී විලුඹ ආශ්‍රිතව ඇතිවන මෙම වේදනාවට ප්‍රධාන වශයෙන් බලපාන රෝග තත්ත්ව දෙකක් තිබෙනවා. plantar fasciitis    සහ   Achilles tendonitis නමින් හඳුන්වන මෙම මෙම අවස්ථා ආයුර්වේද මතවලට අනුව වාත කණ්ඨක කියන රෝග තත්ත්ව සමග සන්සන්දනය කරන්න පුළුවන්. වාත කණ්ටක තත්ත්වයේදී ඇවිදින විට විලුඹ යටි පැත්තෙන් කටුවක් අනින්නාක් බඳු වේදනාවක ඇති වෙනවා.

මේ තත්ත්වය ඇතිවන්නේ කොහොමද?

විලුඹ අස්ථිය හෙවත් ගුල්ඵ අස්ථිය (calcaneus bone) සම්බන්ධ වන මාංශපේශී ඛණ්ඩරා දෙකක් තමයි, plantar fascia සහAchilles tendon   කියන්නෙ. ඒකෙන් plantar fascia   එක පාදයේ යටි පතුල පැත්තෙන් විලුඹ අස්ථියේ යටි පැත්තට සම්බන්ධ වෙනවා.Achilles tendon පාදයේ පිටුපස කෙණ්ඩ ප්‍රදේශයේ මාංශ පේශියේ සිට විලුඹ අස්ථියේ පිටුපසට සම්බන්ධ වෙනවා. (රූපය 1 සහ 2). මේ අයුරින් කණ්ඩරා විලුඹ අස්ථියට සම්බන්ධ වන ස්ථානවලදී එම කණ්ඩරා ඇතිවන ප්‍රදාහයික තත්ත්වයන් නිසා ඉහත පරිදි වේදනාවන් ඇති වෙනාව. මෙම ප්‍රදාහයන් කලක් පැවැතීමේදී කණ්ඩරා මත කැල්සියම් ආදිය තැන්පත් වී විලුඹ අස්ථියේ අධි වර්ධනයක් සිදුවෙනවා. මෙම අවස්ථාවකදී ලබා ගන්නා X- Ray ඡායාරූපවල, එම අස්ථි අධි වර්ධනය විලුඹ අස්ථියට සම්බන්ධ කටුවක් ආකාරයෙන් දැක ගන්න පුළුවන්. (රූපය 3) ආයුර්වේදයේ මෙම රෝග තත්ත්වයට වාත කණ්ඨක යන නම භාවිත කිරීම සාධාරණ බව එයින් ද පැහැදිලි වෙනවා. නමුත් මෙම අස්ථි අධි වර්ධනය පවතින හැමෝටම වේදනාව තියෙනවා කියන්න බෑ. මොකද එම calcification  තත්ත්වයෙන් පසු ඒ අවට පවතින මෘදු පටකවලට හානි වීමෙන් සහ කණ්ඩරාවල ප්‍රදාහික අවස්ථාව දිගටම පවතින නිසා තමයි වේදනාව ඇති වන්නේ.

මෙම කණ්ඩරාවල ප්‍රදාහයන් ඇතිවීමට හේතු මොනවාද?

සමතලා නොවන රළු පෘෂ්ඨ මත ඇවිදීමෙන් මෙම තත්ත්වය ඇතිවන බව ආයුර්වේදයේ දක්වා ඇති අතර ක්‍රීඩකයින්, බොහෝ වේලා සිටගෙන සිටින රුකියාවල නිරත අය, නර්තන ශිල්පීන් වැනි ගුල්ඵ සන්ධිය ආශ්‍රිත පේශී සහ කණ්ඩරා අධිකව වෙහෙසෙන පුද්ගලයින්ගේ ඉරියව් හේතුවෙන් මෙන්ම නිසි ප්‍රමිතියට අනුකූල නොවූ පාවහන් සහ අඩි උස පාවහන් පැළඳීම නිසා අදාළ කණ්ඩරා පීඩාවට පත් වීම මෙයට හේතු වෙනවා. ඊට අමතරව දීර්ඝ කාලයකට පසු අධික ව්‍යායාම කිරීම, දිවීමේදී එකවර වේගය වැඩි කිරීම, අධිකව පඩි නැගීම හෝ බැසීම, අධික බර ඉසිලීම, ව්‍යායාම කිරීමේදී සිදු කරන දෝෂ ආදිය නිසාත් මෙය ඇතිවිය හැකියි.

මේ සමග ඇති වන අනෙකුත් ලක්ෂණ මොනවාද?

බොහෝ වේලා එකම ඉරියව්වෙන් සිට ඇවිදින විට පලමු පියවර කිහිපයේදී විලුඹ වේදනාව ඇති වී මද වේලාවක් එදිනෙදා ක්‍රියාකාරකම්වල නිරත වීමේදී වේදනාව ක්‍රමයෙන් පහළ යාම සිදුවෙනවා.  කල්ගත වීමේදී සමහරුන්ට දවස පුරා වේදනාව පවතිනවා. මීට අමතරව එම ස්ථාන ඇල්ලීමේදී වේදනාව calcification  තද බව, ඉදිමුව, සමහර විට රතුවීඹ සහ ගුල්ඵ සන්ධිය අවට උණුසුම් බන වැනි පධාහික ලක්ෂණ ඇතිවිය හැකියි. plantar fascia   ප්‍රදාහ වීමෙන් විලුඹ යට ප්‍රදේශයේ සහAchilles tendon   ප්‍රදාහ වීමෙන් විලුඹ පිටුපස ප්‍රදේශයේ වේදනාව ඇති වෙනවා. එවිට විලුඹ පිටුපස තද ඉදිමුම් සහිත ගැටිති ඇතිවිය හැකියි.

මෙම තත්ත්වයට බහුලව ගොදුරු වන්නේ කවුද?

අති ස්ථූල පුද්ගලයින්, පතුලේ වක්‍රතාව අඩු හෝ වැඩි අය, මැදි වයසේ අය, කෙණ්ඩ මාශපේශී තද අය, මළ මුත්‍ර බන්ධතා පවතින අය, උෂ්ණාධික ආහාර නිතර ගන්නා අය, ජලය පානය අඩු අය මෙන්ම පොතු කබර රෝගීන්, අධික රුධිර පීඩනය සහිත රෝගීන් සහ සමහර ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්නා අයට මෙම තත්ත්වය ඇති වීමේ වැඩි අවදානමක් පවතී.

රෝගය හඳුනාගන්නේ කෙසේද?

වෛද්‍යවරයා විසින් සිදුකරන සායනික පරීක්ෂණ මගින් රෝගය බොහෝ දුරට හඳුනා ගත හැකියි.තවදුරටත් අවශ්‍ය වේ නම්, X- Ray හෝ Scan පරීක්ෂණ වෛද්‍යවරයා විසින් නියම කරනු ලබයි.

රෝගය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු දේවල් මොනවාද?

උසට සරිලන බර පවත්වා ගැනීම, ඉහතින් දක්වා ඇති පරිදි කණ්ඩරා පීඩාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම්වලින් වැළකීම, ව්‍යායාම ආරම්භයට පෙර ශරීරය උණුසුම් කරන ව්‍යයාම සිදු කිරීම, පාදයට පහසු පාවහන් පැළදීම, පාදයේ මාංශ පේශි සහ කණ්ඩරා ශක්තිමත් වන ආකාරයේ ව්‍යායාම කිරීම, දිවීම – කඳු නැගීම වැනි ව්‍යායාම වෙනුවට පිහිනීම වැනි ව්‍යායාම කළ යුතුයි. නිතර පාදවල තෙල් ගෑම, හොඳින් ජලය පානය සහ තක්කාලි, සැමන් , අන්නාසි, අච්චාරු වැනි උෂ්ණාධික ආහාරවලින් වැළකීමත් වැදගත් වෙනවා.

මෙම රෝගයට සාර්ථක ප්‍රතිකාර තිබේද?

රෝගය සුව වීම සඳහා ශරීර අභ්‍යන්තරයට ඖෂධ යෙදීම මෙන්ම බාහිරව කරන ස්ථානික ප්‍රතිකාර ඉතා වැදගත්. මේ සඳහා ආයුර්වේද ප්‍රිතිකාර ලබා දීමේදී වේදනා සමනය කරන තෙල් වර්ගයක් ආලේප කර විලුඹට ඖෂධීය හුමාලය ඇල්ලීම කරනවා.

මේ සඳහා ගඩොල් කැටයක් හොඳින් රත්කර එයට විනාකිරි දැමූ විට පිටව හුමාලය හිල් පොල් කටුවක සිදුරකින් වේදනාව ඇති ස්ථානයට ඇල්ලීම සාර්ථක ප්‍රතිකර්මයක්. ආයුර්වේද ඖෂධ භාවිත කිරීමෙන් නැවත රෝගය ඇති වීමේ හැකියාව බොහෝ අඩුවෙනවා. සමහරුන්ට වේදනාව සම්පූර්ණයෙන් සුව වීමට තරමක කාලයක් ගතවෙනවා. නමුත් අභ්‍යන්තර ඖෂධ සමගම ගුල්ඵ සන්ධිය අවට නිල ස්ථාන පිළිස්සුම් මගින් ඉතාමත් ක්ෂණික ප්‍රතිඵල ලබා ගත හැකියි. (රූපය 4) ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන් අග්නි කර්ම චිකිත්සාව මෙන්ම දේශීය වෙදකමේ සඳහන් විදුම් පිළිස්සුම් ක්‍රමයේද මේ බව දක්වා තිබෙනවා. පිත අධික උෂ්ණාධික ශරීර ඇති අයට ගුල්ඵ සන්ධිය අවට කූඩැල්ලන් ඇල්ලීම ද ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි.(රූපය 5)

 

Editor Health and Life

Related post

2 Comments

  • This is very important and practical approach.

    • Welcome and Thank u for your comment

Leave a Reply

Your email address will not be published.

Translate