උපකාරක පන්ති,එක්රැස්වීම් ,සම්මේලන, උත්සව සාදවලට තවදුරටත් අවසර නෑ.

උපකාරක පන්ති , ප්‍රදර්ශන හා සම්මේලන , සිනමා ශාලා , ගෘහස්ත හෝ එළිමහන් උත්සව, සාද, එක්රැස්වීම්වලට තවදුරටත් අවසර ලබා නොදීමට රජය විසින් ඊයේ (30) නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ගේ සඳහන් වේ.

පන්සල් , පල්ලි හා කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හා රැස්වීම් පැවැත්වීමට අවසර නැත.

නැවත දැනුම් දෙනතුරු කිසිදු මහජන රැස්වීමක් තහනම් වේ.

නිරෝධායන ඇඳිරි නීතිය අවසන් කර ඔක්තෝබර් 01 දා (අද) සිට ක්‍රමිකව රට නැවත විවෘත කිරීම සඳහා අංශ 30 ක් යටතේ වන සෞඛ්‍ය මාර්ගෝපදේශ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව ඊයේ (30) නිකුත් කෙරිණි.

ඒ අනුව පොදු මහජන ක්‍රියාකාරකම් සඳහා අවසර දී ඇති ආකාරය පහත පරිදි වේ.

අවන්හල් විවෘත කිරීමට සීමා

ඇතුළත පරිභෝජනය කරන අවන් හල් විවෘත කිරීම සඳහා ඔක්තෝබර් 15 දා දක්වා අවසර නොලැබේ. ඔක්තෝබර් 16 දා සිට එම අවන්හල් ආසන ධාරිතාවෙන් සියයට 30 ක් ගණුදෙනුකරුවන් සඳහා විවෘත කළ හැකිය. එය උපරිම පිරිස 50 කට සීමා වේ. අවන්හල තුළ මද්‍යසාර, මත්පැන් භාවිතය ද තහනම් වේ. එලිමහනේ ආසන පනවා ඇති නම් ගණුදෙනුකරුවන් 60 ක් ඇතුළත් කර ගත හැකිය.

රැකියා අවස්ථා , සෞඛ්‍ය අවශ්‍යතා, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පමණක් නිවසින් පිටතට යා හැකිය. අත්‍යාවශ්‍ය සේවාවන් හැර අනෙකුත් අවශ්‍යතා සඳහා අන්තර් පළාත් සංචරණ සීමාවන් ක්‍රියාත්මක වේ. අත්‍යාවශ්‍ය නොවන සියළුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 10.00 සිට පසුදා උදෑසන 4.00 තෙක් අවසර නොලැබේ.

පොදු ප්‍රවාහන සේවා

පොදු ප්‍රවාහන සේවයේ මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණි. පොදු ප්‍රවාහන සේවයේ වායුසමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු අතර ජනේල විවෘත කර තැබිය යුතුය. සෑම විටම මුහුණු ආවරණ නිසි ලෙස පැළඳ සිටිය යුතුය. අත්‍යාවශ්‍ය නොවන සේවාවන්හි ආයතනවලට පැමිණෙන සේවකයින් සැමවිටම සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට දිරිමත් කළ යුතුය. ගෙන්වා ගත යුතු සේවකයින් ගණන ආයතන ප්රයධානියාට විසින් තීරණය කළ හැකිය.

වැඩමුළු සම්මන්ත්‍රණ

රැස්වීම් , වැඩමුළු, සම්මන්ත්‍රණ  මාර්ගගත ක්‍රමයෙන් පැවැත්වීමට උනන්දු කළ යුතුය. වැඩමුළු, සම්මන්ත්‍රණ රැස්වීම් යම් කිසි ස්ථානයක පවත්වන්නේ නම්, ඇතුළු කර ගත හැක්කේ පුද්ගලයින් 25 දෙනෙකු පමණි. එය ඔක්තෝබර් 16 දා සිට පුද්ගලයින් 50 දක්වා වැඩි කළ හැකිය.

සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ තොග වෙළඳාම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබිය හැකිය. ප්‍රාදේශීය කමිටු හා ප්‍රාදේශීය සෞඛ්‍ය නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ විවෘත වෙළඳ පොළ හා සති පොළවල් විවෘත කළ හැකිය.

 

සාප්පු, සුපිරි වෙළඳසැල් හා ෆාමසි

සාප්පු, සිල්ලර කඩ, ෆාමසි, සුපිරි වෙළඳසැල් ,ගෘහභාණ්ඩ වෙළඳ සැල් නියමිත ඉඩ ප්‍රමාණයෙන් සියයට 10 ක  ප්‍රමාණයකට පාරිභෝකියින් ඇතුළත් කර ගත හැකිය. ඇතුළත් කර ගත හැකි සංඛ්‍යාව වෙළඳසැල ඉදිරිපිට ප්‍රදර්ශනය කළ යුතුවේ. ඔක්තෝබර් 15 දායින් පසුව එම ස්ථාන සම්පූර්ණ ඉඩ ප්‍රමාණයෙන් සියයට 20 ක් පාරිභෝගිකයින් ඇතුළත් කර ගත හැකිය.

මූල්‍ය ආයතන

මූල්‍ය ආයතන, බැංකු, මූල්‍ය සමාගම් හා උකස් මධ්‍යස්ථාන ආදියෙහි ඕනෑම වෙලාවක ආයතනය ඇතුළත සිටිය හැකි ගණුදෙනුකරුවන් ගණන 05කි. අනෙකුත් ගණුදෙනුකරුවන් ආයතනයෙන් පිටත, මීටරයේ පරතරය තබා සිටිය යුතුය.

ඉදිකිරීම් ස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියාත්මක විය හැකිය. බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාර වේලාවන් වෙන් කර ගැනීමෙන් පසුව පැමිණිය හැකිය.

අධ්‍යාපන කටයුතු

අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කරන පරිදි සිසුන් 200 ට අඩුවෙන් සිටින පාසැල් පළමුවෙන් විවෘත කළ හැකිය. දිවා සුරැකුම් මධ්‍ය ස්ථාන විවෘතයි. පෙර පාසැල් පැමිණෙන ළමුන්ගෙන් සියයට 50 ක ධාරිතාවකින් ආරම්භ කළ හැකිය. විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු ආරම්භ කළ හැකිය. පැමිණීමේ සංඛ්‍යාව අඩු කර මාර්ගගත ක්‍රම ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතුය. වෘත්තීය පුහුණු ආයතන ඕනෑම වෙලාවක සියයට 50 ධාරිතාවෙන් විවෘත කළ හැකිය.

අධිකරණ

අධිකරණ සේවා කොමිසම මගින් ලබා දී ඇති නියෝගවලට අනුකූලව හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අධිකරණ කටයුතු සිදු කළ යුතුය. ව්‍යායාම් ශාලාවල ඔක්තෝබර් 15 දා දක්වා ඕනෑම අවස්ථාවක රැඳී සිටිය හැක්කේ ගණුදෙනුකරුවන් 5 දෙනෙකු පමණි. එක ළඟ ඇති උපකරණ එකවර භාවිත නොකළ යුතුය. ඔක්තෝබර් 15 න් පසු පුද්ගලයින් ගණන දෙගුණ කළ හැකිය.

ක්‍රීඩා කටයුතු සඳහා ඔක්තෝබර් 15 දක්වා අවසර නැත. 15 දායින් පසු යම් යම් සීමාවන් යටතේ ඇතැම් ක්‍රීඩාවන් සඳහා අවසර ලැබෙන අතර නරඹන්නන් ඇතුළත් කර ගැනීමට අවසර නැත.ඇවිදින මංතීරු හා වෙරළ තීර විවෘත වේ.

මංගල උත්සව

එළිමහන් මංගල උත්සව දිරිමත් කරනු ලබයි.ඔක්තෝබර් 15 දා දක්වා විවාහ ලියාපදිංචි කිරීම් පුද්ගලයින් 10 කුගෙන් සමන්විතව කළ හැකිය. ඔක්තෝබර් 15 න් පසු සහභාගි කර ගත හැකි පුද්ගලයින් ගණන සියයට 25 ක් පිරෙන ආකාරයෙන් උපරිම ගණන 50 කි. මත්පැන් භාවිතයට අවසර නැත.

අවමංගල කටයුතු

කොවිඩ් 19 ආසාදනය නොවූ මෘත දේහ , මළසිරුර මුදා හැර පැය 24 ක් ඇතුළත අවසන්පැ කටයුතු කළ යුතුය. ඔක්තෝබර් 15 දා දක්වා ඕනෑම අවස්ථාවක සිටිය හැක්කේ පුද්ගලයින් 10 ක් පමණි. ඔක්තෝබර් 15 දායින් පසු එම සංඛ්‍යාව 15කි.

නියාමනයක් අවශ්‍යයි

මෙම මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු සිදුවන්නේ ද යන්න සොයා බැලීම සදහා නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොවුණහොත් මාසයක කාලයක් තුළ පනවා ඇති සීමා කිරීම්වලින් ලබා ගත් රෝග පාලනය ඵලරහිත වන බව ත් එහි සඳහන් වේ.

එබැවින් කොවිඩ් 19 පාලනය සදහා ගම, ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් ක්‍රියාත්මක කිරීමේ කමිටුවල සහය ඇතිව අදාළ ප්‍රෙද්ශයේ  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගේ අධීක්ෂණය යටතේ සියළුම මහජන ක්‍රියාකාරකම් සිදුවනු ඇති බව ද එහි සඳහන් වේ.

 

 

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate