එන්නත්වල සාර්ථක – අසාර්ථකභාවය ශරීරයේ ප්‍රතිදේහ මට්ටම අනුව ම මැනිය නොහැකියි.

කොවිඩ් 19 වසංගතය සඳහා ලබා දෙන එන්නත්වල සාර්ථක අසාර්ථකභාවය ශරීයේ ප්‍රතිදේහ මට්ටම අනුව පමණක්මැ ම මැනිය නොහැකි බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ ය.

ශරීරයේ  ප්‍රතිදේහ මට්ටම, එන්නත සාර්ථක බව මැනීමට සුදුසු උපක්‍රමයක් නොවන බව ලෝක සෞඛ්‍යය සංවිධානය ද  පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කළ බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (20) සවස පැවැති මාධ්‍ය හමුවකදී  බටුවන්තුඩාව මහතා පැවැසීය.

විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව

මාස තුනක් යන විට ශරීරයේ ප්‍රතිදේහ මට්ටම අඩු වුව ද කොවිඩ් 19 වෛරසය හඳුනා ගැනීමට වැදගත් වන T සෛල හා B සෛල ඉතා හොඳ ක්‍රියාකාරී මට්ටමක පවතින බව එම වාර්තාවේ ම සඳහන් වන බවත් එය ඉතා  වැදගත් කාරණයක් බවත් හෙතෙම  සඳහන් කළේ ය.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ගේ ප්‍රතිදේහ ප්‍රතිචාර දැක්වීම මාස තුනක් යන විට අඩු වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකය කළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි මාධ්‍යවල වාර්තා කර තිබිණි.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙවැනි සමීක්ෂණ කිරීම පිළිබඳව සතුටු වන බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබුණේ එම වාර්තාවේ අංශයක් පමණක් බවත් එහි නියම හරය ප්‍රචාරය නොවූ බවත් සඳහන් කළේ ය.

කෙසේ නමුත් මෙය අවසන් වාර්තාවක් නොවන බැවින් ඒ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කළ යුතු බව එම වාර්තාවේ ම සදහන් වන බව ද රංජිත් බටුවන්තුඩාව මහතා පැවැසීය.

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ මාත්‍රා දෙකට අමතරව බූස්ටර් එන්නතක් දිය යුතු බව ප්‍රතිපත්ති හා තාක්ෂණික තීරණයක් ගෙන තිබෙන බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා එය ආරම්භ කිරීමට දින නියම කර නැතැයි  ද සඳහන් කළේ ය. එය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙම වාර්තාව ද වැදගත් වනු ඇතැයි  විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 

Editor Health and Life

Related post

1 Comment

  • Thank’s for information’s

Leave a Reply

Your email address will not be published.

Translate