ඔබත් ආතරයිටීස් රෝගයෙන් පීඩා විදිනවාද?

Elderly woman in the 80s with a walking stick

ආතරයිටිස් කියන්නේ සන්ධි ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වවලට කියලා බොහෝ දෙනා දන්නවා. ඇත්තෙන්ම සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනාව,ඉදිමුම, සන්ධියේ ක්‍රියාකාරීත්වය අඩුවීම, සන්ධියේ තද බව, ආදී ලක්ෂණ පෙන්වුම් කරන රෝග කිහිපයක්ම ආතරයිටිස් කියන රෝග යටතට ගැනෙනවා.

ආයුර්වේද වෛද්‍ය තමරිකා නිරෝෂනී

ආතරයිටිස් කියන නම ඇහෙනකොටම බය වෙන්නේ ඇයි?

ලොව පුරා ජනගහනයෙන් තමන්ගේ එදිනෙදා කටයුතු පවා කර ගත නොහැකිව එක්තැන් වී සිටින අයගෙන් වැඩි දෙනා කුමන හෝ ආතරයිටිස් රෝග තත්ත්වයකින් පීඩා විදින බව සොයා ගෙන තිබෙනවා.තමන්ට ආතරයිටිස් රෝග තත්ත්වයක් තිබෙන බව වෛද්‍යවරයා පැවසූ පසු තමන්ටත් ඉදිරියේදී අකර්මන්‍ය  වූ ජීවිතයක් ගත කිරීමට සිදු වනු ඇතැයි බොහෝ දෙනෙකු තුළ බියක් ඇති වෙනවා.

 

ආතරයිටිස් වර්ග තිබෙනවා ද?

බටහිර වෛද්‍ය විද්‍යාවට  අනුව ආතරයිටිස් වර්ග සියයකටත් වඩා තිබුණත් අප අතර බහුලව දක්නට ලැබෙන්නේ, ඔස්ටියෝ ආතරයිටිස් හා රූමටොයිඩ ආතරයිටිස් කියන වර්ග දෙකයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට  අනුව සන්ධි ප්‍රදාහය හෝ සන්ධි රෝගය යනුවෙන් රෝග ප්‍රභේදයක්  දක්වා නැහැ. නමුත් සන්ධි ආශ්‍රිතව රෝග ලක්ෂණ ඇති කරන ආමවාත, සන්ධිගත වාත සහ ගම්භීර වාත රක්ත කියන රෝග ගැන විශේෂයෙන් කරුණු සදහන් වෙනවා.
ඊට අමතරව සර්වාංගගත වාත, කෝෂ්ට්‍රක ශීර්ෂ සහ වෙනත් වාත රෝග අවස්ථාවලදීත් සන්ධිවල රෝගත් ඇති වෙනවා.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී සන්ධි ආශ්‍රිතව රෝග ලක්ෂණ ඇති කරවන මෙම රෝග, සන්ධියේ රෝග වර්ග වශයෙන් නැතිව වෙන වෙනම රෝග වශයෙන් දක්වා  තිබෙන්නේ එම රෝග, ඇතිකරන හේතු හාත්පසින්ම එකිනෙක වෙනස් වන නිසයි. ඇත්තෙන්ම එම රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ආදාළ රෝග හේතුවට ප්‍රතිකාර කිරීම නිසා සන්ධි ආශ්‍රිතව රෝග තත්ත්වවලදී ආයුර්වේද ප්‍රතිකාරවලින් ස්ථිර සුවයක් ලබා ගත හැකි වෙනවා.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මුල් අවස්ථාවේදීම ප්‍රතිකාරවලට යොමු වීමෙන් රෝගය වඩාත් දරුණු වීම අවම වනවා මෙන්ම පහසුවෙන් සුව කර ගැනීමටත් හැකි වෙනවා. ආමවාත රෝගය සුව කිරීමට තරමක් අපහසුයි.

රෝගියාගේ බලය හා රෝගයේ බලය ප්‍රතිකාරයේදී වැදගත් වෙනවා. නමුත් අනෙකුත් සන්ධි රෝග උපද්‍රව රහිතව පහසුවෙන් සුව කර ගැනීමට හැකි වෙනවා.

ආතරයිටිස් වර්ග වෙන වෙනම හදුනා ගන්නේ කොහොමද?

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට  අනුව සන්ධි ගත වාත නමින් දක්වා ඇති රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව දක්වා ඇති osteoarthritis තත්ත්වය සමගත් ආමවාත රෝගය rheumatoid arthritis රෝගය සමගත් සන්සන්දනය කරනවා.නමුත් ප්‍රතිකාරයේදී ආයුර්වේද මූලධර්මවලට අනුව රෝග විග්‍රහ කර ගැනීමෙන් රෝග නිට්ටාවට සුව කර ගත හැකි වෙනවා.

සන්ධිගත වාත හෙවත් Osteoarthritis

ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව සන්ධිගත වාත නමින් හඳුන්වා ඇති සන්ධි ආශ්‍රිත රෝග තත්වය බටහිර වෛද්‍ය විද්‍යාවේදී osteoarthritis (ඔස්ටියෝ ආතරයිටිස් )නමින් හඳුන්වන රෝග තත්වය සමඟ සංසන්දනය කරන්න පුළුවන්.ආතරයිටිස් වර්ග වලින් බහුලවම දකින්නට ලැබෙන මෙම වර්ගය බොහෝවිට වයස්ගත වීමත් සමඟ ඇතිවෙනවා.

මේ රෝගය හැදෙන්නේ කොහොමද ?

සන්ධිගත වාත තත්වයේදී, කෝප වූ වාත දෝෂය සන්ධිස්ථාන වෙත ගමන් කොට එහි ක්‍රියාකාරීත්වයට සහ ව්‍යූහයට හානි කරනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අපගේ ශරීරය හැදිලා තියෙන්නේ වාත , පිත්ත, කඵ කියන ත්‍රිදෝෂයන්ගේ එකතුවකින්. විවිධ හේතුන් නිසා ත්‍රිදෝෂයන්ගේ සමබරතාවය බිඳ වැටිමෙන් යම් පුද්ගලයකු රෝගීවීම සිදු වනවා . ඒ අනුව වයස්ගත වීම, සන්ධි අධික භාවිතය, නිසි පෝෂණය නොලැබීම ,අභිඝාත හෙවත් වැටීම් තැලීම් ආදියෙන් සන්ධිය පිඩාවට පත්වීම ආදී විවිධ හේතූන්ගෙන් කෝපවන වාත දෝෂය සන්ධි වෙත ගමන් කර එහි සාමාන්‍ය ක්‍රියාකාරිත්වය විකෘති කරනවා. අස්ථි ධාතුවේ ඇතිවන දුර්වලතාව, නිසි ප්‍රතිකාර නොලැබීමෙන් පසුකාලීනව සන්ධිවල ව්‍යූහාත්මක වෙනස්කම් ඇති කිරීමටත් සමත් වෙනවා.

ඔස්ටියෝ ආතරයිටිස් තත්වයේදී සන්ධියේ මැද පිහිටි කාටිලේජය ක්ෂය වීමකට ලක් වෙනවා. සන්ධියක් සෑදී ඇති අස්ථි කෙලවර දෙක එකිනෙක මත ගැටීම වළක්වමින් කුෂන් එකක් මෙන් ක්‍රියා කරන කාටිලේජයට හානි වීම නිසා අස්ථි කෙළවර එකිනෙක මත ගැටීමෙන් අධික වේදනාව,සන්ධියේ චලන සීමා වීම වැනි ලක්ෂණ ඇති වෙනවා.කෙසේ වෙතත් මේ තත්ත්වය එකවර ඇතිවන්නක් නොවිම සතුටට කරුණක්. සන්ධියට සිදුවන හානියට අනුව ක්‍රමයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

රෝගයට හේතු මොනවාද ?

වයස් ගත විමත් සමඟ වාත දෝෂයේ ක්‍රියාකාරීත්වය වැඩි වන නිසා වයස්ගත වීමේදී සන්ධිගත වාත රෝගය බහුලව දැකිය හැකියි. ආර්තවාභාවයෙන් පසු කාන්තාවන් අතර බහුල වන අතර බොහෝවිට පිරිමින් අතර මෙම තත්වය අවුරුදු 45 ට පෙර ඇතිවන බව නුතන දත්ත සමීක්ෂණ වලින් වාර්තා වෙනවා.

අති ස්ථුලතාව නිසා දණහිස් වැනි ශරීරයේ බර දරණ සන්ධි මත යෙදෙන පීඩනය ප්‍රධාන හේතුවක්. සන්ධි වලට සිදුවන අභිඝාත,කාලීනව පවතින දියවැඩියාව ,පාරම්පරික සාධක, උත්පත්තියෙන් එන විකෘතිතා සහ සමහර රෝග තත්ත්ව මෙයට හේතු වෙනවා.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද ?

සන්ධි ගත වාත රෝගයේදී සන්ධිය ක්‍රියා්තමක කිරීමේදී වේදනාව ඇතිවෙනවා. එනම් නැමිම්, දිගහැරීම් වලදී වේදනාව ඇතිවෙනවා. බොහෝවිට ශරීරයේ බර දරණ සන්ධි වල ඇතිවන මෙම තත්ත්වය වයස් ගත වීමේදී බහුලව දක්නට ලැබෙනවා.ආමවාත රෝගය, සන්ධි ගතවාත රෝගයෙන් සරලව හඳුනාගත හැක්කේ මෙවැනි ලක්ෂණ වලින්. එසේම සන්ධිගත වාත තත්ත්වයේදී සන්ධිය අවට මෘදු පටක ප්‍රදාහයට පත්වීමෙන් ඉදිමුම ඇතිවෙනවා. ඇතුලත වාතය පිරුනාක් බඳු ඉදිමුම් මෙහිදී ඇතිවන බව ආයුර්වේදයේ දක්වා තියෙනවා. එම සන්ධි ආශ්‍රිත  තදබව, විශේෂයෙන් විවේකයෙන් පසු සන්ධිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අපහසුතාව ඇතිවෙනවා.
සන්ධිය ක්‍රියාත්මක කළ හැකි පරාසය අඩුවීමත්, සන්ධිය ස්පර්ශයේදී වේදනාව ඇතිවීමත් සිදුවිය හැකියි. සන්ධිය මැද පිහිටි කාටිලේජය ක්ෂය විමත් සමඟ සන්ධිය නැමිම් දිගහැරීම්වලදී අස්ථි එකිනෙක ගැටෙන්නාක් බඳු සංවේදනය ඇතිවෙනවා. කල් ගත වීමේදී එකිනෙක මත ගැටෙන අස්ථි කෙළවර දිරාපත් වීමත් ඒ මත කුඩා අස්ථි කොටස් අධි වර්ධනයත් සිදුවෙනවා.Osteophytes වශයෙන් හඳුන්වන මෙම අස්ථි අධි වර්ධනයන් ස්පර්ශයෙන් සහ X- ray ඡායාරූප මඟින් හඳුනාගත හැකියි. වේදනාව සහ සන්ධි ක්‍රියා කරවීමේ අපහසුව එදිනෙදා කටයුතුවලට දැඩි බලපෑම් ඇතිකරවන අතර ඒ නිසා ඇතිවන මානසික පීඩාව රෝගී තත්වය උත්සන්න කරවනවා. බොහෝ විට දණහිස්, උකුල් සන්ධිය, කොඳු ඇට පෙළ, අත් සහ පාද මෙම රෝග තත්වයට ගොදුරු වෙනවා.

රෝගය හඳුනා ගත හැක්කේ කෙසේද?

ඉහත සඳහන් රෝග ලක්ෂණ සායනිකව පරික්ෂා කිරීමෙන් සහ අවශ්‍ය නම්,  x-ray ඡායාරූප මඟින් හෝ ස්කෑන් පරීක්ෂණ මඟින් ද රෝගය හඳුනාගත හැකියි.  x-ray ඡායාරූපවලදී, සන්ධියේ අස්ථි අතර අවකාශය අඩුවීමෙන් කාටිලේජයේ ක්ෂය වීම් සහ අස්ථි අධි වර්ධනයන්ගෙන් osteophytes හඳුනාගතහැකියි. MRI පරීක්ෂණ සහ Arthroscopy මඟින් අස්ථි, මෘදු පටක සහ කාටිලේජ පිළිබඳව පරික්ෂා කළ හැකියි. සන්ධිගත වාත රෝගය හඳුනා ගැනීමට රුධිර පරීක්ෂාවන් වැදගත් නොවන නමුත් ආමවාත හෙවත් rheumatoid arthritis රෝගයෙන් වෙන් කර හඳුනා ගැනීමට රුධිරයේ rheumatoid factor පරික්ෂාව වැදගත් වෙනවා. අවශ්‍ය නම් සන්ධිගත තරලය පරීක්ෂාවද සිදු කළ හැකියි.

බහුලවම මෙම රෝගයට ගොදුරු වන්නේ කව්රුන්ද?

අධික තරබාරු පුද්ගලයන්, වයස්ගත පුද්ගලයන්, වැඩිපුර හිටගෙන සිටින හෝ ඇවිදින රැකියාවන් වල නියුතු පුද්ගලයන්, කාන්තාවන්, සන්ධි ආශ්‍රිත අභිඝාත සිදු වූ අය හෝ ශල්කර්ම වලට භාජනය වූ අය , දියවැඩියා රෝගීන්, උත්පත්තියෙන් සන්ධිවල විකෘතිතා සහිත පුද්ගලයින්, නිසි පෝෂණය නොලබන පුද්ගලයින් සහ සන්ධි රෝග සහිත පවුල්වල පුද්ගලයින් යනාදී අය මෙම රෝගය පිළිබද වැඩි අවධානයකින් සිටීම වැදගත් වෙනවා.

සන්ධිගත වාත රෝගයට සාර්ථක ප්‍රතිකාර පවතීද?

ඇත්තෙන්ම මෙම රෝග තත්ත්වය සඳහා ආයුර්වේදයේ ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම පවතිනවා. රෝගයේ සහ රෝගියාගේ බලය අනුව සාධ්‍ය අසාධ්‍යතාව තීරණය වන අතර පතිකාරයේදී ඒ සඳහා රෝගියාගේ දායකත්වයත් වැදගත් වෙනවා.අයහපත් අතුරු ප්‍රතිඵල සහිත වේදනා නාශක භාවිතයෙන් ලැබෙන තාවකාලික සුවයට වඩා දීර්ඝ කාලින සුවයක් තෛල අභ්‍යංගය, ඖෂධ පොට්ටනිවලින් තැවීම , පිචු යෙදීම , පත්තු වර්ග යෙදීම වැනි ක්‍රමවලින් ලැබෙනවා. රෝගයේ එක් එක් අවස්තානුකුලව භාවිතා කල යුතු කෂාය ආදී අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිරව උපයෝගී කරන තෙල් වර්ග සහ පත්තු වර්ග ආදියත් විවිධාකාර වෙනවා. උදාහරණයක් විදියට වේදනාව සහ ඉදිමුම පවතින අවස්ථාවේදී භාවිතා කරන තෙල් වර්ග පත්තු වර්ග රෝගයේ පසු කාලයේදී භාවිතා කරන තෙල් හා පත්තුවලට වඩා වෙනස් වෙනවා. ඒ නිසා සන්ධි ගත වාතයේදී වුවත් තමන්ගේ හිතුමතයට තෙල් වර්ග ආලේප නොකර රෝගයේ තත්ත්වය අනුව වෛද්‍යවරයා  විසින් නියම කරන ඖෂධ වර්ග භාවිතය වැදගත් වෙනවා. ඉදිමුම සහ වේදනාව අඩු වූ පසු පිචු සහ වස්ති යෙදීමෙන් සන්ධියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඇතිකරවනවා.

මෙවැනි රෝගීන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු සහ ආමවාත රෝගය පිලිබදව ඉදිරි ලිපියේදී සාකච්ඡා කරමු.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate