ඔබත් ගැස්ට්‍රයිටීස්වලින් පීඩා විඳිනවාද?

මොකක්ද මේ ගැස්ට්‍රයිටීස් සහ අම්ල පිත්ත කියන්නෙ ?

ආයුර්වේද වෛද්‍ය තමරිකා නිරෝෂනී

අද සමාජයේ බොහෝ දෙනාගෙන් අසන්නට ලැබෙන මැසිවිල්ලක් තමයි නිතරම බඩ දැවිල්ල, නැත්නම් බඩ පුරවා දැමීම, ඇඹුල් රසට හෝ දැවිල්ලට උගුරට එන ගතිය වගේ දේවල්. මේ ලක්ෂණ ඇහෙන කොටම ගොඩ දෙනෙක් දන්නවා ගැස්ට්‍රයිටීස් නමින් හඳුන්වන රෝගයේ ලක්ෂණ තමයි කියලා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී‍ අම්ල පිත්ත රෝගය නමින් හඳුන්වන්නෙත් මෙවැනි ලක්ෂණ සහිත රෝග අවස්ථාවක් බව මේ වන විටත් ඔබ අසා තිබෙන්න පුළුවන්.

අම්ල පිත්ත රෝග තත්වය පිළිබඳව ආයුර්වේදයේ ඉතා පුළුල් විදියට දක්වලා තියෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමයේදී ගැස්ට්‍රයිටීස් නමින් අපි දන්නා රෝග ලක්ෂණ වලට වඩා තවත් ගොඩක් කරුණු අම්ල පිත්ත විග්‍රහයේදී ඇතුළත් වෙලා තිබුණත් එම අවස්ථා දෙකේ බොහෝදුරට ඇති සමානකම් සලකා බලා එකම රෝග තත්වයක් ලෙස හඳුනා ගැනීමේ ගැටළුවක් නැහැ. නමුත් රෝගය නිට්ටාවටම සුවකර ගැනීමට නම් අම්ල පිත්ත රෝගය සහ එහි ප්‍රභේද නිවැරදිව හඳුනාගෙන නිසි ප්‍රතිකාර යෙදීම වැදගත් වෙනවා. වර්තමානයේ බොහෝ දෙනා හරියටම දන්නෙ නැහැ මේ තත්වයට මොකක්ද ? කරන්න ඕන කියලා.මේ වගේ ලක්ෂණ ඇති වුන ගමන් සමහරු පුරුදු වෙලා ඉන්නෙ යෝගට් එකක් කාලා හරි යෝගට් පානය, සුදු කිරි, කිරි පැකට් වගේ දෙයක් පානය කරලා තාවකාලිකව රෝගය යටපත් කරගන්න. නමුත් කාලීනව මෙවැනි රෝග ලක්ෂණ පවතින අවස්ථා වලදී එම තාවකාලික සුවය රෝගය තවදුරටත් සංකීර්ණ කරවනවා.

මෙම රෝග තත්වයට හේතු මොනවාද ?

ආයුර්වේදයට අනුව අම්ල පිත්ත රෝගය ඇතිවීමේදී ශරීරයේ එක් රැස්වුණ පිත විවිධ ‍හේතු වලින් කෝපවී ඇඹුල් රසැති පිත ඇතිවන බව දක්වා තියෙනවා. විකෘති නොවී ප්‍රකෘති තත්වයෙන් පවතින පිත, කටු රස ‍හෙවත් මද වශයෙන් දැවිල්ල රසැතියි. පිත කෝප කරවන විරුද්ධ ආහාර, දූෂිත ආහාර, අධික ඇඹුල් ආහාර සහ අධික විදාහී ආහාර පාන වර්ග නිසා පිත ඇඹුල් රස වීම සිදු වෙනවා. මෙහිදී විරුද්ධ ආහාර වශයෙන් හැඳින්වූයේ කිසිවිට එකට නොගත යුතු යැයි දක්වා ඇති කිරි සහ මාළු, සම ප්‍රමාණ ගිතෙල් සහ මී පැණි, දිය සහ ගොඩ මාංශ ආදියයි. අපවිත්‍ර හෝ පිළුණු වූ ආහාර දූෂිත ආහාර වශයෙන් දක්වා ඇත.

අන්නාසි, අමු අඹ, ඇඹරැල්ල, විනාකිරි, තක්කාලි ආදී ඇඹුල් රසැති ආහාර මෙන්ම විදාහී ආහාර වශයෙන් දක්වා ඇති අධිකව මිරිස්, අබ ආදිය යෙදූ ආහාරත් අම්ල පිත්තයට හේතු වෙනවා. තවද පිත් කෝප කරවන මත් පැන්, මෝරු, රා ආදී පාන වර්ග මෙන්ම දිරවීම තරමක් අපහසු උඳු, මෑ, තෙල් අධිකව යෙදූ ආහාර, මී කිරි වැනි ආහාර දිරවීම සඳහා වැඩි වේලාවක් ගත වන බැවින් අම්ල පිත්ත තත්වය උත්සන්න කරවනවා. ඒ වගේම නිවැරදි ආහාරය වුවත් වැරදි විදියට ගැනීමත් අනුමත කරන්න බැහැ. නිසි වේලාවට ආහාර නොගැනීම එනම් කුස ගිනි ඇති විටදී නිරාහාරව සිටීම, කෑව ගමන් නැවත කෑම, අධිකව ආහාර ගැනීම ආදියයි. මේ හේතු නිසා ආහාර ජීරණයට අදාල කුසෙහි පවතින අග්නිය විකෘති වී සැහැල්ලු ආහාරය පවා දිරවීමට අපහසු වෙනවා. මේ ආකාරයට ආහාර හොඳින් ජීරණය නොවීම නිසා ඇතිවන ආමය කල්ගත වී අභ්‍යන්තර ශරීර ගත වී ඇඟ කැසීම, හිසරදය, සන්ධි වේදනා ආදී වෙනත් ශාරීරික ලක්ෂණත් ඇති කරවනවා.ආහාරය හොඳින් ජීර්ණය වීමට නම් කුසෙන් අඩක් ආහාරය ගැනීමත්, ඉතිරි අර්ධයෙන් අර්ධයක් එනම් කුසෙන් කාලක් ජලය බීමත්, ඉතිර කොටස හිස්ව තැබීමත් සුදුසු බව දක්වා තියෙනවා.

බටහිර වෛද්‍ය මතය අනුව ගැස්ට්‍රයිටීස් කියන්නෙ ආමාශයේ ඇතුළත බිත්තියේ ඇතිවන ප්‍රදාහික අවස්ථාවක්. මේ නිසා ආමාශයේ අභ්‍යන්තර ශ්ලේශ්මල පටකවලට හානි වෙන්න පුළුවන්.Helicobacterpylory කියන බැක්ටීරියාව, වේදනා නාශක අධිකව භාවිතය, මත්පැන් පානය, මානසික පීඩා සහ වෙනත් රෝග තත්ව නිසා ගැස්ට්‍රයිටීස් ඇතිවෙනවා.

රෝග ලක්ෂණ මොනවාද?

ගැස්ට්‍රයිටීස් තත්වයේදී බඩ පපුව දැවිල්ල සහිත වේදනාව, ඔක්කාරය, වමනය, බඩපුරවා දැමීම වැනි ලක්ෂණ ඇතිවනවා.
ආයුර්වේද වෛදය විද්‍යාෙව්දී අම්ල පිත්ත ලක්ෂණ ලෙස කෑ ආහාරය නිසි පරිදි නොදිරවීම, වෙහෙස වීමෙන් තොරව ශරීරයට ඇතිවන විඩාව, කටට කෙළ ඉනීම, ඇඹුල් සහ තිත්ත රසට උගුරට ඒම, ශරීරය බරබව, හෘදය උගුර ආශ්‍රිත දාහය, අරුචිය, බඩ පුරවා දැමීම, උදරයේ ශබ්ද ඇතිවීම, හිසරදය, මල වියලි බව හෝ බුරුල් බව, රෝම උද්ගමනය යන ලක්ෂණ ඇතිවන බව දක්වා තියෙනවා.

අම්ල පිත්ත රෝගයේ ප්‍රධාන ආකාර දෙකක් දක්වා තියෙනවා.

1.ඌර්ධ්ව ගත අම්ල පිත්ත
2.අධෝගත අම්ල පිත්ත

ඌර්ධ්වගත අම්ල පිත්තයේදී සෙම ද සම්බන්ධ වන අතර ඇඹුල් තික්ත වමනය, ඔක්කාරය, බඩ දැවිල්ල,හිසේ වේදනාව, අත් පා දැවිල්ල, තදබල ආහාර අරුචිය, ලා උණ, කැසීම, පැල්ලම් මතු වීම, ශරීරයේ බිබිලි ඇතිවීම සිදු වෙනවා.බොහෝ විට මේ අයට මල බද්ධ තත්වය සමඟ බඩ පුරවා දැමීම ප්‍රායෝගිකව දැකිය හැකියි.

අධෝගත අම්ල පිත්තයේදී පිපාසය, දැවිල්ල, කරකැවිල්ල, සිහිමද ගතිය, ඔක්කාරය, සමේ පළු මතුවීම, ලොම් ඩැහැගැන්ම, ඩහදිය ගැලීම මෙන්ම බඩ බුරුලෙන් මල පිට වීම ප්‍රායෝගිකව දැකිය හැකි ලක්ෂණයන් ය.
මීට අමතරව අම්ල පිත්තයට බලපාන වාත කඵ ආදී දෝෂ අනුව තවත් වර්ග තුනක් දක්වා තියෙනවා.

නිට්ටාවට සුව කරන්න පුළුවන්ද?

ආයුර්වේද වෛද්‍ය  විද්‍යාවේ දක්වා ඇති අන්දමට අම්ල පිත්ත රෝගය ඇතිවූ මුල් කාලයේදීම තරමක් උත්සහයෙන් නිට්ටාවට සුවකරගත හැකිය. කල්ගත වූ පසු රෝගය  පාලනය කරගත හැකි නමුත් ඉතාමත් උනන්දුවෙන් හිතකර ආහාර ගැනීම සහ අහිතකර ආහාර වලින් වැළකීම මෙන්ම නිසි ඖෂධ සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් රෝගය සුව කරගත හැකිය.

රෝගය සුව කර ගැනීමට කළ යුතු දේ ?

මේ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන්නේ නිවැරදි රෝග විනිශ්චයක් නොලැබීමෙන් ජීවිත අවදානම් පවා ඇතිවිය හැකි බැවිනි. උදාහරණ වශයෙන් තදින් ඇතිවන බඩ පපුව දැවිල්ල හෘද රෝග තත්ව වලදීත්, ශරීරයේ බර බව සහ කැසීම වකුගඩු රෝග තත්වවලදීත් ඇතිවිය හැකි වීමයි.

අම්ල පිත්තය සඳහා හේතු වශයෙන් ඉහතින් දක්වා ඇති සියළු දේට අමතරව තෙල් සහ ලුණු, මිරිස් අධික කෙටි ආහාර වර්ග,අච්චාරු,පාන් ඇතුළු පාන්පිටි ආහාර, කෘත්‍රිම ආහාර සහ බීම වර්ග,කඩල,කව්පි, උෂ්ණ මාළු වර්ග, තේ, කෝපි, චොකලට්,මීකිරි,ඇඹුල් කෙසෙල්,සෝස් වර්ග, මත්පැන් සහ දුම් පානයද රෝග තත්වය වැඩි කරවනවා. සමහරුන්ට මුල් කාලයේදී කිරි සහිත ආහාර සහ අමු එළවළු සලාද වලින්ද රෝග ලක්ෂණ වැඩි වෙනවා.නමුත් නිසි ප්‍රතිකාරත් ක්‍රමානුකූලව මෙම තත්වය මඟ හැර ගත හැකිය.

අතීතයේ සිට බහුලව භාවිත කළ දිය බත, කැහිපිත්තන් ජෙලි උදර දාහය සහිත අම්ල පිත්තයේදී ඖෂධීය ආහාර වශයෙන් දැක්විය හැකියි. උදරයේ තුවාල සහිත විට උදෑසන කෝමාරිකා මදය සීනි ටිකක් සමඟ ආහාරයට ගැනීමත්, විෂණු ක්රාන්තිය තම්බා බීමත් සුදුසුයි. මල බද්ධය පැවතීමෙන් රෝගය උත්සන්න වන බැවින් ගස්ලබු, සීනි කෙසෙල් වැනි පළතුරු සුදුසු වේ.

උදරය පුරවා දැමීම සහිත අවස්ථාවලදී බෙලි කොළ පවනේ වේලා වී පොරි සමඟ කුඩුකර තේ වෙනුවට පානය කිරීම කළ හැකියි.මීට අමතරව රෝග ලක්ෂණ සහ දෝෂ තත්වයට අනුව සුදුසු ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් අනුව ලබාගත යුතුයි

ආයුර්වේද වෛද්‍ය තමරිකා නිරෝෂනී

ප්‍රජා වෛද්‍ය නිළධාරි

පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව – සබරගමුව

Editor Health and Life

Related post

3 Comments

  • Very useful article article.. thanks

  • මෙම වෙබ් අඩවියට ඊමේල් ලිපින මගින් ලියාපදිංචි විය හැකිද?
    (Web Feed)
    බර්නාඩ්

    • දැනට ඊ – මේල් සමූහයක් සකස් කර නැත. ඉදිරිපත්වන ඉල්ලීම් අනුව ඉදිරියේදී සැකසීමට අපේක්ෂා කරමි.ඔබට දැනට අපගේ whatsapp සමූහයට සම්බන්ධ විය හැකිය මෙම ලින්ක් එක මගින් එය කළ හැකිය.https://chat.whatsapp.com/LbHomNpqTuTLrzz0GKA0K0
      ඔබගේ විමසීම පිළිබදව අපගේ ස්තුතිය

Leave a Reply to බර්නාඩ් එදිරිසිංහ Cancel reply

Your email address will not be published.

Translate