ඔබත් හිසරදයෙන් පීඩා විඳිනවාද?

     එච්.ඩී.පී.සී.ජයසේකර

සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවෙන් මිදී අහිතකර ආහාර පාන පරිභෝජනය හා අහිතකර විහරණ හේතුවෙන් බොහෝ දෙනෙක් විවිධ රෝගාබාධවලින් පෙළෙනවා. ඒ අතුරින් බොහෝ දෙනෙකු පීඩා විඳින රෝගාබාධයක් ලෙස ‘ හිසරදය ’ දක්වන්න පුළුවන්. රෝගයක් ලෙස හෝ රෝග ලක්ෂණයක් ලෙස බොහෝ දෙනෙක් හිසරදයෙන් පීඩා විඳිනවා. සරලව කිවහොත් හිසෙහි ඇති වන පීඩාව තමයි, හිසරදය ලෙස හඳුන්වන්නේ.

හිසරදය ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරන මෙය ශීර්ෂ ශුල, ශීරෝරුජා ලෙස ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රෙය් හඳුන්වනු ලබනවා. නව්‍ය වෛද්‍ය විද්‍යාවේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ද ශීර්ෂශූල වර්ගීකරණයක් දක්වා තිබෙනවා. ඒ අතුරින් වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව ළමා, තාරුණ, වැඩිහිටි ඕනෑම අයෙකු පීඩා විඳින තත්ත්වයක් තමයි, ‘අර්ධාවභේද’ කියන ශීර්ෂශූල තත්ත්වය. මෙම අර්ධාවභේද ශීර්ෂශූලයේ ලක්ෂණ හා බොහෝ සමාන ලක්ෂණ පවතින රෝගී තත්ත්වයක් තමයි ‘මිග්රේන්’ කියලා හඳුන්වනු ලබන්නේ.
සාමාන්යෙතයන් ශීර්ෂ ශූලයක් ඇති වන්නේ, මොළයේ ස්නායු සංඥා, රසායන ද්‍රව්‍ය හා රුධිරවාහිනීවලට බලපෑමක් ඇති කරමින් සිදුවන අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් හේතුවෙන්. නමුත් බොහෝ ශීර්ෂශූලවලට මෙන්ම මෙම අර්ධාවභේද එසේත් නැතිනම්, මිග්රේන් ඇතිවීම සඳහා නිශ්චිත හේතුවක් දැක්වීම අපහසු බවයි,පර්යේෂකයන්ගේ පවා අදහස වන්නේ. බොහෝ විට ශීර්ෂයට අහිතකර ආහාර පාන භාවිතය, අහිතකර ජීවන රටාව, පාරිසරික සාධක, බලපෑම ද මෙම රෝග තත්ත්වය ඇති කිරීම සඳහා හේතු වෙන්න පුළුවන්. එසේම මවුපියන් දෙදෙනාටම හෝ එක් අයෙකුට පවතින විට දරුවන්ට මෙම රෝග තත්ත්වය ඇති වීමේ සම්භාවිතාවක් පවතිනවා.

ඔබත් අර්ධාවභේද නැත්නම් ‘මිග්රේන්’රෝගයෙන් පෙළෙන්නෙක්ද?

ඔබ මෙම රෝග තත්ත්වයෙන් පිඩා විඳින්නේ නම්, හිසේ එක් පැත්තක් පමණක් වේදනාව පවතින්න පුළුවන්. වාත, පිත හා කඵ යන දෝෂ තුනෙහිම කෝපතාවන් හේතුවෙන් ගෙල පිටුපස , ඇස, ඇහිබැම, කන, හකු ප්‍රදේශ හා නළලේ අර්ධයක පුපුරන, අනින ආකාරයේ වේදනාව, භ්‍රමණය වන ආකාරයෙන් මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කරන්න පුළුවන්. පැය හතර සිට දින තුනක් දක්වා මෙම වේදනාව පවතින්න පුළුවන් වාගේම නැවත දින 10 කට 15 කට පමණ පසු නැවත හට ගැනීමක් තවත් රෝග ලක්ෂණයන් ලෙස දක්වන්න පුළුවන්. බොහෝ විට පිරිමින්ට වඩා කාන්තාවන් අතර මෙම රෝගී තත්ත්වය බහුලව දකින්න ලැබෙනවා.

ඒ වගේම වමනය, ඔක්කාරය , හිසෙහි පවතින හිරි ස්වභාවය, ආලෝකය ශබ්ද සහ සුවඳ සඳහා අධි සංවේදීතාවක් පැවැතීම ද මේ රෝගයේදී දකින්නට ලැබෙන ලක්ෂණයක් වෙනවා. රෝගී තත්ත්වය නොසලකා හැර නිසි ප්‍රතිකාර නොගත්තොත් ඇස හා කනට හානි වීම දක්වා උත්සන්න විය හැකි බැවින් නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමත් අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා.

රෝග ඇති වීමට හේතු මොනවාද?

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී රාත්‍රී නිදිමැරීම, දිවා කාලයේ නිදා ගැනීම, මත්පැන් භාවිතය, දුම්පානය, පින්න, දූවිලි, ඉර අව්ව, දුමට නිරාවරණය වීම, රළු ආහාර භාවිතය, ආහාර අධිකව ගැනීම, ආහාර ගත් විගස නැවත ආහාර ගැනීම, වැඩිපුර සීතල ජලය පානය කිරීම, අධික ව්‍යායාම, අධික වෙහෙස, අධික හැඬීම, කඳුළු වේග දරා සිටීම ආදී කාරණා හේතුවෙන් ශීර්ෂ ශූල ඇති වන බවයි දක්වා තිබෙන්නේ.
එමෙන්ම මානසික ආතතිය, බිය, සංකාව යනාදිය ද මෙම රෝගය ඇති කිරීම සඳහා හේතු කාරක වෙන්න පුළුවන්.

මෙම රෝගය සුව කර ගන්න පුළුවන්ද?

ඕනෑම රෝගයක් ඇති වූ පසු සුව කිරීමට වඩා රෝගය ඇති වීම වළක්වා ගැනීම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන පරමාර්ථයක් වෙනවා. ඒ අනුව රෝගය ඇති වීමට හේතු වන කාරණාවලින් වැළකී සිටීම, එසේත් නැති නම්, රෝග නිධාන පරිවර්ජනය පුද්ගලයෙකුගේ නිරෝගී බව කෙරෙහි බොහෝ වැදගත් වෙනවා. මෙහිදී නිතර ආහාර පාන භාවිතය සමග නිවැරදි සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවකට හුරු වීම මෙම රෝගය ඇති වීම වළක්වා ගැනීමට මෙන්ම රෝගය ඇති වුවහොත් සුව කර ගැනීමට ද උපකාරී වෙනවා.

මේ සඳහා පහත කරුණු පිළබඳ අවධානය යොමු කිරීම වැදගත් විය හැකියි.

• සෞඛ්‍යය ආරක්ෂිත ආහාර පාන ලබා ගැනීම
• රළු ආහාර මගින් මේ රෝගී තත්ත්වය උත්සන්න වන හෙයින් එවැනි ආහාරවලින් වැළැකීම
උදා: තේ, කෝපි, චොක්ලට් හා රටකජු ආදිය
• උණූ ජලය පානය
• දුම්පානයෙන් වැළකීම සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම.
• අධික ව්‍යායාම, අධික වෙහෙසකාරී කටයුතුවල නොයෙදීම.
• පින්න, දූවිලි, ඉර අව්වට නිරාවරණය වීමෙන් වැළකීම.
• දිනකට පැය 6 – 8 ක නින්දක් ලබා ගැනීම.
• රාත්‍රී නිදිමැරීම සහ දහවල් නිදා ගැනීමෙන් වැළකීම.
• බිය, මානසික ආතතිය , සාංකාව ආදී මානසික තත්ත්ව පාලනය කර ගැනීම.
• දිනපතා ඖෂධීය තෙල් හිසේ ගැල්වීම.
• අධික ලෙස දුරකතනය හා පරිගණකය භාවිතයෙන් වැළකීම.
• මානසික සෞඛ්‍යය වර්ධනය වන කටයුතුවල නිරත වීම.
උදා: ප්‍රාණයාම යෝග අභ්‍යාසවල යෙදීම

ආයුර්වේද ප්‍රතිකර්මවලින් මෙම රෝගය සුව කර ගත හැකිද?

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ රෝග රෝගී පරීක්ෂා තුළින් පවතින රෝගී තත්ත්වය හඳුනාගෙන අදාළ අභ්‍යන්තර ඖෂධ ලබා දීම සහ බාහිර ප්‍රතිකර්ම මගින් හා රෝගයට අදාළ පත්යා පත්‍ය ආහාර විහරණය අනුගමනය කිරීම තුළින් ඔබට මෙම අර්ධාවභේද රෝගී තත්ත්වයෙන් මිදීමේ හැකියාව ලබා ගන්න පුළුවන්.

අභ්‍යන්තර ඖෂධ ලෙස කෂාය, ගුලි, කල්ක , චූර්ණ ආදිය සහ බාහිර ප්‍රතිකාර ලෙස ඖෂධීය තෛල හිසේ ගැල්වීම සහ නස්න කර්ම, දූමපාන, ශිරෝධාර, හිසගැල්වුම් ආදී සාර්ථක ප්‍රතිකර්ම මගින් මෙම රෝගය සුව කර ගැනීමේ හැකියාව පවතින හෙයින්, රෝගය ආරම්භයේදීම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි.

එච්.ඩී.පී.සී.ජයසේකර
ආයුර්වේද වෛද්‍ය නිළධාරී
නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව – තවලම

 

 

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate