ඔබේ දරුවා අසාමාන්‍ය ලෙස දඟ ද?

ළමයි කියන්නේ මල් වගේ. ඒ වගේම තමයි ළමයින්ටයි අලින්ටයි දඟලන්නේ නැතිව ඉන්න බෑ කියලත් කියනවනේ. ළමයි දඟයි. නමුත් ඒ දඟකම ඕනෑවටත් වඩා වැඩි නම් දෙමාපියන් වැඩි අවදානයක් යොමු කළ යුතුයි. මොකද ? මෙය දරුවාගේ යම් කිසි රෝග තත්ත්වයක් වන්නට පුළුවන්.

කිත්මා වාසනා දහනායක

දරුවන්ගේ මෙම දඟකාරකම රෝගී තත්ත්වයක් ද යන්න විමසා බැලිය යුතුමය. එම නිසා අපි මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලයේ වෘත්තීය චිකිත්සක ආචාර්ය කිත්මා වාසනා දහනායක මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු.

මේ රෝග තත්ත්වයට කියන්නේ අවධාන ඌනතා සහිත අධි ක්‍රියාකාරීත්වය හෙවත් Attention Deficit Hyperactive Disorder (ADHD) කියලා. පාසලක හා සමාජයේ සාමාන්‍යයෙන් දඟකාර ලෙස හැසිරෙන දරුවන් මෙම ගණයට අයත් කර නොසකලන මෙන් මුලින්ම පැවසිය යුතු වෙනවා.

අවධාන ඌනතා සහිත අධි ක්‍රියාකාරීත්වය, ඔබට මේ සිංහල වචනය නුහුරු වුණත් ඉංග්‍රීසියෙන්  hyperactive / ADHD / ADD වැනි වචනයකින් හැඳින්වුව හොත් මෙම තත්වය ගැන යම් අදහසක් ඇති. මන්ද,මෙය අද කාලයේ සුලබ වන ළමා වියේ ආබාධ අතර වැඩියෙන්ම දකින්නට පුළුවන් රෝග තත්වයක්. මෙම අවධාන ඌනතා සහිත අධි ක්‍රියාකාරීත්වය නමැති ගැටලුකාරී තත්වය දරුවන් තුළ විශේෂයෙන්ම දැකිය හැකි වෙනවා.

නිවාස, පාසැල සහ අනෙකුත් සමාජයන්හි බොහොමයක් ක්්‍රියාකාරකම්වල ගැටළු ඇති කරගනිමින් අවධානය නොදෙමින් කලහකාරී සහ බාධාකාරී ලෙස අසාමාන්‍යව දරුවකු හැසිරේ නම් ,එම තත්වය අප විසින් මේ ගණයට ලා සලකන්න පෙළඹෙනවා. එම තත්වය පුර්ව ළමා වියෙහිදීම හඳුනාගන්නට හැකියි .

මෙවැනි තත්වයක් පවතින දරුවන් හඳුනාගන්නා ආකාරය පහසු නොවුවත්, ඔවුනටම විශේෂිත වූ ලක්ෂණ මත පදනම් ව එය කළ හැකියි.
රෝග නිර්ණය කිරීමේදී අංශ තුනක් මත පදනම් වන මෙම තත්වයට අදාළ විශේෂ ලක්ෂණ කිහිපයකි.

1. අවධාන ඌනතාව

දරුවෙකු මෙම ADHD තත්වයෙන් පෙලෙන විට ඔහුට හෝ ඇය ට යමකට අවධානය දීමට සහ අවධානය පවත්වා ගැනීමට ඉතා අසීරුයි. යමක් වෙත එක වරම අවධානය යොමු කරගන්න ඔවුන්ට නොහැකි වෙනවා. නිතරම ඔවුන්ගේ අවධානය එක දෙයකින් තව එකක් වෙත මාරු වී යාම සිදු වෙනවා.

මෙහිදී,
• පැහැදිලි කිරීම් හා උපදෙස් වලට අඩු අවධානයක් යොමු කිරීම.
• යම් කිසි ක්‍රියාවක් ඉක්මනින් කරන්නට ඇති කැමැත්ත, එම හේතුවෙන්ම ඔවුන් වැරදීම් වැඩියෙන් කරගන්නවා.
• පහසුවෙන් අවධානය බිඳී නොසන්සුන් වීම.
• උපදෙස් පිළිපැදීමට නොහැකි වීම.
• ළඟ මතකයේ ගැටළු, එනම් ආසන්න මොහොතක කියූ දෙයක් මතකයේ නොපිහිටීම.
• පාසල්, පෙර පාසල් යන විට සුදානම් වීමේ ගැටළු බහුලව ඇති වීම.
• නිතර නිතර තමා සතු දේ නැති කරගැනීම

වැනි දේවල් සුලබව දකින්නට පුළුවන් .

2. අධික්‍රියාකාරීත්වය

මෙය මෙම ADHD තත්වයේදී සුලබම ලක්ෂණයකි. සැම විටම ඔවුන් සිටින්නේ කඩාපනින්න, දුවන්න, දඟලන්න සුදානමින් වගේ. ඉඳගෙන ඉන්නා විටෙක ඒ වගේම සිටගන්න විටක පවා මේ දරුවන් එක ඉරියව්වක සිටින්නේ නැහැ .ඒ අවස්ථාවලදී පවා ඔවුන් පා එකිනෙක පටලාගැනීම, පාද වලින් බිමට ගැසීම , අත් වේගයෙන් සෙලවීම, ඇඟිලිවලින් තට්ටු කිරීම ආදී ඔවුන්ටම ආවේනික කාර්යයන් බොහොමයක් එක දිගට කරනු ඔබ නිරීක්ෂණය කර ඇති.

මීට අමතරව ,
• ආහාර ගන්නා විට සහ පන්ති කාමරයේ නොසන්සුන් ලෙස හැසිරීම.
•  පමණ ඉක්මවා කතා කිරීම.
• අධි ශක්තියෙන් යුතු වීම.
• සන්සුන් ලෙස ක්‍රීඩාවක්, සෙල්ලමක් කිරීමේ අපහසුව.
ආදියද නිරීක්ෂණය කළ හැකි සුලබ ලක්ෂණ.

3. කලහකාරි බව

මෙම ADHD දරුවන් නිතර ආරවුල් සහගත බවක් දක්වන අතර ඔවුන් ගැන සෙසු ළමයින් සහ දෙමවුපියන්ගෙන් නිතර පැමිණිලි එන්න පටන් ගන්නවා. ඔවුන් කායිකව හා වාචිකව ලබාදෙන කිසිදු උපදෙසකට ඇතැම් විට අවනත වන්නේත් නැහැ .හුවමාරු කරගැනීම , බෙදා හදා ගෙන ක්‍රීඩා සහ අධ්‍යාපන ක්‍රියාකාරකම් කිරීම මොවුන්ට නොහැකියි. පන්ති කාමරය තුළ අනවශ්‍ය ලෙස කෑගසමින් හැසිරීම, බාධා කිරීම් නිතර දකින්නට හැකියි. දුක, තරහ ආදී මානසික තත්ත්ව පාලනය කරගැනීමට අපහසු බවක් දක්වන මේ දරුවන් එම තත්ත්වවලදී ඉතා කලහකාරී ලෙස හැසිරෙන්න පටන් ගන්නවා.

මෙවන් දරුවකු හට සහය විය හැක්කේ කෙසේද?

මෙවන් තත්වයක් පවතින විට දරුවා පමණක් නොව දෙමවුපියන්, සහෝදර සහෝදරියන්, වැඩිහිටියන් ,ගුරුවරුන්, සෙසු සිසු සිසුවියන් ආදී සියල්ලන්ම මෙයින් පිඩාවට පත් වෙනවා. එම නිසා මෙවැනි ලක්ෂණ ” පසුව හරි යයි ” යන මතයේ සිටිමින් නොසලකා හැරිම කළ යුතු නැහැ.

දරුවා සම්බන්ධව වෛද්‍ය උපදෙස් නිවැරදිව ළමා විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගන්න. වෘත්තීය චිකිත්සාවේදී මෙවැනි දරුවන් සඳහා විවිධ ආකාරයෙන් සහය සැලසීම සිදු කරනු ලබනවා.

මනා මූලික ඇගයීමකට පසු ඔවුන් හට පහත අංශ සම්බන්ධව ප්‍රතිකාර මාලාවක් ලබාදෙනවා.
1. දරුවා ගේ නිදාගන්නා කාලසීමාව සඳහා පුහුණු කිරීම (sleeping strategies )
( මෙවැනි දරුවන්ගේ නින්ද බාධාකාරී එකක්.ඔවුන් එක දිගට රාත්‍රිෙය්ත් නිදා නොගන්නා නිසා අවධියෙන් සිටින විට කලබල තත්වය වැඩි වෙන්න පුළුවන් )
2. යම් යම් අවස්ථා සඳහා පෙර පුහුණුව (social stories )
මේ මගින් දරුවාට නව අවස්ථා සඳහා පෙර සුදානමක් මෙන්ම මනා සන්නිවේදන කුසලතාවක්ද සැපයෙනවා.

3. සංවේදන ගැටළු සඳහා ප්‍රතිකාර ( sensory processing)
මෙවැනි දරුවන් උදෙසාම සැකසෙන ( දරුවාටම හා ඔහුගේ සංවේදන ගැටළු වලට සැකසුන ) ප්‍රතිකාරයන් තුළින් ඔවුන්ගේ දෛනික කටයුතු සහ පරිසරයට ඇති සම්බන්ධතාව ගොඩ නගා දෙනවා .
4. දෘශ්‍ය වැඩසටහන් (visual cues)
දරුවාට වාචිකව / උපදෙස් අසා තේරුම් ගැනීමට අපහසුවක් තිබේ නම් දෘශ්‍ය වැඩසටහනකින් එය පහසු කරදෙන්නට හැකි වෙනවා.මෙහිදී දරුවාගේ ගැටළු මුලික ඇගයීමක් තුළින් අගයා තිබිය යුතු වෙනවා.
5. දෛනික චර්යා සහ ඒවා තුළ හැසිරීම කළ යුතු ආකාරය දරුවාට පුහුණු කර දීම වෘත්තිය චිකිත්සාවෙන් ඉටු කරදෙනු ලබනවා.
6. දරුවන්ගේ සුලබව දකින්නට ලැබෙන සමායෝජන හැකියාවන්ගේ ගැටළු, ශක්ති සමබර කිරීම ආදිය සඳහා කායික ක්‍රියාකාරකම් ද මෙහිදී ඔහු වෙත ලබාදෙනවා.
7. සෙසු පාර්ශව දැනුවත් කිරීම

දරුවා සම්බන්ධව ඔහු හෝ ඇය හා ක්‍රියාකරන සියලුම පාර්ශවයන් මේ ගැන දැනුවත් විය යුතුයි.විශේෂයෙන්ම පාසල් ගුරුවරුන්. මෙහිදී ඒ හා සම්බන්ධව කළයුතු හා නොකළ යුතු දේ ගැන අවබෝධයක් ලබා දෙනවා.

මෙම ලිපිය ඔබ දැනුවත් කිරීම සඳහා සම්පාදනය වන්නක් හෙයින් මේ ක්‍රියාකාරකම් සඳහා පළපුරුදු වෘත්තීය චිකිත්සකවරයෙකුගේ සහය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

වෘත්තීය චිකිත්සාවට අමතරව මෙවැනි දරුවන් හට කථන හා භාෂා චිකිත්සාව ද යම් යම් තත්ත්වවලදී සහය වන හෙයින් ඔබේ වෛද්‍යවරයා ඒ සේවාව වෙත යොමු කළ විටෙක එම සහයද ඔබ ලබා ගත යුතු වෙනවා.

කිත්මා වාසනා දහනායක
වෘත්තීය චිකිත්සක ආචාර්ය
භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය
ජාතික රෝහල
කොළඹ

Editor Health and Life

Related post

1 Comment

  • Great information

Leave a Reply

Your email address will not be published.

Translate