ඔබ හුමාලය අල්ලන කෙනෙක් ද? මේ ගැනත් දැන ගන්න.

ආයුර්වේද වෛද්‍ය රවීන්ද්‍ර වීරසිංහ

ආයුර්වේද යනු ආයුෂ වින්දනය කිරීම පිළිබඳ විද්‍යාවයි. නිරෝගී පුද්ගලයකුගේ නිරෝගී සුවය රැක ගැනීමටත්, රෝගී පුද්ගලයකුගේ රෝගය වළක්වා ගැනීමටත් ආයුර්වේදය හරහා බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම රාශියක් ති‍යෙනවා. ඒ අතර ඈත අතීතයේ සිට අද දක්වා බාහිර ප්‍රතිකර්මයක් ලෙස භාවිතයට ගන්නා හුමාලය ඇල්ලීම හෙවත් වේදුපෑම නිවැරදි හා එහි වැදගත්කම පිළිබඳ දැනුම ලබා ගැනීම  වැදගත්. මෙම කොවිඩ් වසංගත සමයේදී හුමාලය ඇල්ලීම ගැන වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. ඒ සම්බන්ධයෙන් විවිධ මත ද පැතිරුණා. එම නිසා ඒ පිළිබඳව විමසා බැලීමට අපි අදහස් කළා.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව හුමාලය ඇල්ලීම කියන්නේ මොකක් ද ?

දුම් ඇල්ලීම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ  ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමයක්. එය ධුමායන විධි ක්‍රමයක්. ප්‍රධාන තාක්ෂණය ලෙස භාවිත කරන්නේ ස්වේදනය . එසේ නැත්නම් දහඩිය ගැන්වීම. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ  දහඩිය ගැන්වීම් බොහෝ විධි ක්‍රම තියෙනවා. උදාහරණයක් විදියට වියළි දඩු කැබැල්ලක් වුව ද තෙල් පොඟවා මඳක් රත් කළ විට නැමෙන සුලු බව ඇතිවනවාක් මෙන් මිනිස් සිරුරට ද තෙල් ආලේප කර උණුසුම් කිරිමෙන් නම්‍යශීලී බව ඇතිවෙනවා. නම්‍යශීලී නොවන රෝගී සිරුර තෙල් ගල්වා  දහඩිය ගැන්වීම හරහා නම්‍යශීලී නිරෝගී සිරුරක් බවට පත් වෙනවා.

හුමාලය ඇල්ලීම සඳහා යොදාගන්නා ඖෂධ හා එහි ගුණාත්මකභාවය

හුමාලය ඇල්ලීම සඳහා බොහෝ විට භාවිතයට ගන්නේ උණු ජලය. මෙහිදී උණුසුම් වාෂ්පයෙන් විෂබීජ විනාශ කිරීමක් සිදු වෙනවා. හැබැයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මේ හුමාලය ඇල්ලීමට ඖෂධිය වටිනාකමක් සහිත ද්‍රව්‍ය යොදා හුමාලය ඇල්ලීමත් කරනවා. එයින් ඇසට නොපෙනෙන වෛරස් , බැක්ටීරියා විනාශ කිරිමේ හැකියාව ඉහළයි උදාහරණ විදියට ගුගුල, කොහොඹ, වද කහ, අබ භාවිත කරන්න පුළුවනි.

හුමාල ප්‍රතිකාරය කිරීමට පෙර ඔබ දැන සිටිය යුතු කරුණු

හුමාලය ප්‍රතිකාරය  කිරීමට සුදුසු රෝගීන් ලෙස ප්‍රතිශ්‍යාව (හෙම්බිරිස්සාව),කැස්ස, නාසය හිරවීමේදී, ස්වාස නැත්නම් ඇදුම රෝගය, අංශබාග, මුහුණේ එක පැත්තක් පණ නැති අවස්ථා, ආමාශගත රෝග ( කෑම නොදිරවීම නිසා ඇති වන රෝග) මෙවැනි රෝග වල දී ස්වේදනය හෙවත් දහඩිය ගැන්වීමේ ප්‍රතිකාරය යොදා ගන්නවා.

හුමාලය ඇල්ලීම නුසුදුසු පුද්ගලයන්

නිතර මධ්‍යසාර පානය කරන පුද්ගලයන්,ගර්භණි මවුන් රත්පිත් රෝගයෙන් ( උෂ්ණය නිසා ඇති වන රෝග)පෙළෙන අය,
අධික රුධිර පීඩනය වැනි අවස්ථා පීනස අවස්ථා.ඊළඟට අධික පිපාසය වගේම අධික කුසගින්නේ සිට දුම් ඇල්ලීම හොඳ නැහැ.
මොළය ආශ්‍රිත  අභ්‍යන්තර රුධිර ගැලීම්, මොළයේ ගෙඩිෙ, පිළිකා රෝගීන්ටත් හුමාලය ඇල්ලීම හොඳ නැහැ.ගොඩක් වෙහෙසට පත් වූ අවස්ථාවල දී දුම් ඇල්ලීම නුසුදුසුයි. අධිකව තරහා මෙන්ම දුකෙන් ඉන්න වේලාවට දුම් ඇල්ලීම යෝග්‍ය නොවේ. ඇස් කහ පැහැති වන රෝග ,විෂ ශරීර ගත වු අවස්ථා, ශල්‍යකර්ම වගේම මුහුණ තුවාල වුණු අවස්ථා තිබිය දී දුම් ඇල්ලීම හොඳ නැහැ.එවිට රුධිර පිටවීමක් හෝ දැවිල්ල නැත්නම් රෝග තත්ත්ව වැඩිවීමට පුළුවනි.

හුමාලය ඇල්ලීමට සුදුසු ස්ථානය

හුමාලය ඇල්ලිමට සුදුසු පරිසරයක් ලෙස සලකන්නේ සංයුක්ත පරිසරයක්. කාමරය ජනෙල්, විදුලි පංකා හා වායු සමීකරණ වසා හුමාලය ඇල්ලීම කළ යුතුයි.එයට හේතුව බාහිර පරිසරය සීතල වී තිබිය දී සිරුර උණුසුම් වුවහොත් සිරුරට අහිතකරයි. ඒ වගේම අධිකව උණුසුම් වී එකපාරට සිසිල් වීමත් අහිතකරයි. රුධිර නාල හැකිලීම පටක ආශ්‍රිත පිපිරුම්,රුධිර ගැලීම් සිදුවීමට පුළුවනි.

සීතල පරිසරයක වාෂ්ප අල්ලනවා නම් සිරුර මඳක් උණුසුම් කළ යුතුයි. ඒ සඳහා උණුසුම් වතුර වීදුරුවක් පානය කර ඉන්පසු උණුසුම් වාෂ්ප ඇල්ලීම කළ යුතුයි. එවිට ලොකු පරාසයකින් උණුසුම වෙනස් වීම සිදුවන් නැහැ. එවිට පටකවලට වන හානිය අවම වෙනවා. හුමාලය අල්ලා එකවර බාහිර සිසිල් වාතයට  නිරාවරණය, විදුලි පංකා හා වායු සමීකරණ නොදැමිය යුතුයි. උණුසුම් වතුර වීදුරුවක් පානය කර ක්‍රමානුකූලව සිරුර සිසිල් වීමට ඉඩ හැරිය යුතුයි.

දුම් ඇල්ලීම කොතරම් වේලාවක් කළ යුතු ද ?

නළලට දහඩිය දැමීම දුම් ඇල්ලීමේ ප්‍රතිඵලදායක අවස්ථාව කියලා ආයුර්වේද ක්‍රමයේ සඳහන් ‍වෙනවා. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නිවස තුළ සිටින වැඩිහිටියන් දිනකට වරක් හෝ උපරීම දෙවරක් උදේ සවස හුමාලය ඇල්ලීම හොඳයි. එසේම පෙනහළු වායු කුහර හා ස්වසන මාර්ග උණුසුම් කිරීම සඳහා පැයකට වරක් හොඳ හුස්මක් ගෙන 05 ට ගනින තුරු රඳවා ගෙන සිට පිටකිරිම ඉතා වැදගත්.

සැලකිලිමත් විය යුතුයි.

හිසරදය අවස්ථාවල දී දුම් ඇල්ලීමේ දී අධික රුධිර පීඩනයේදී ඇති වන  හිසරදයට දුම් ඇල්ලීම නොකළ යුතුයි. ඒ වගේම ගල් පීනස අවස්ථාවල දී උණුසුම් හුමාලය ඇල්ලීම නොකළ යුතුයි. අමු අඹ ගෙඩියක් මිරිකා යුෂ ගන්නවාට වඩා ඉඳුණු අඹ ගෙඩියක් හොඳින් මිරිකා යුෂ ලබා ගැනීම පහසුයි. එලෙසම තමා සිරවුණු සෙම කොටස් බැහැර කරන්න තෙල් ගාලා හුමාලය ඇල්ලීම.කෝඨරක ප්‍රදාහය,හිසරදය
ඉරුවාරදය වැනි අවස්ථා වල දී භාවිතයට සුදුසු ඖෂධිය තෙල් තිබෙනවා. ඒ සුදුසු තෙල් වර්ගයක් නළල කන පිටුපස ආලේප කර හුමාලය ඇල්ලීම එසේ නැත්නම් නටන උණු ජලයට තෙල් බිංදු 02 ක් දමා ඒ හුමාලය ඇල්ලීම.

ඒ වගේම මේ ගෙවියන කොවිඩ් 19 කාලය තුළ නිරෝධායනය වන හෝටල් කාමරවල වායු සමීකරණ සමඟ දුම් අලල්නවා. හුමාලය තුළින් ඇඟ රත්කරනවා. වායු සමීකරණයෙන් ඇඟ සිසිල් කරනවා.මේ දෙකම අපේ සිරුරට ප්‍රතිවිරුද්ධයි. මේ ගැන සැලකිලිමත් විය යුතුයි.

ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙකුට මේ කාලයේ දී පැගිරි කුලයේ ශාක පත්‍ර දුම් ඇල්ලීම කළ හැකියි. උදාහරණ විදියට
යකිනාරං කොළ,පාවට්ටා කොළ,දෙහි කොළ,කුරුඳු කොළ යොදා දුම් ඇල්ලීම කළ හැකියි. ඒවායෙහි වාෂ්පශීලි සංඝටක තියෙනවා. ඒ තුළින් නාස් මාර්ග ආශ්‍රිත ශ්වසන පද්ධතිය ක්‍රමානුකූල ක්‍රියාවලිය සිදු වී විෂබීජ විනාශ වෙනවා.

ගර්භණි මවක් දුම් ඇල්ලීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

ගර්භණි මවක් වාෂ්ප ඇල්ලීමේ දී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ගර්භයේ මුලික සැකැස්ම සිදුවන මුල් මාස 03 විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. සැර දුම් ආග්‍රහනයෙන් වැළකි සිටිම යෝග්‍යයි. නාස් අවරෝධතා වුණොත් කොත්තමල්ලි වැනි තම්බපු වතුර හුමාලය ඇල්ලීම වගේම ඊළඟට මද උණුසුම් ජලය පානය කළ යුතුයි. හැබැයි මේ ක්‍රම වුණත් දිගු කාලීන භාවිතය යෝග්‍ය නෑ.

කුඩා දරුවෙකුට දුම් ඇල්ලීම

අවුරුදු 05න් ඉහළ දරුවෙකුට හුමාලය ඇල්ලීම කළ හැකිය. හැබැයි පුංචි දරුවකුගේ පටක සියුමැලි නිසා භාවිතයට ගන්නා ඖෂධ වෙනස්. කොත්තමල්ලි තම්බා ඒ එන හුමාලය ඇල්ලීම යෝග්‍යයි. දෙමව්පියන් , වැඩිහිටියන්ගේ අනු දැනුම යටතේ එය කළ යුතුයි. කුඩා දරුවකුගේ  ඇස් ,පපුවට අධික දුම් ඇල්ලීම නොකළ යුතුයි. ඒ වගේම මේ ගෙවියන වසංගත තත්ත්වය හමුවේ ගෙදරට ආපු ගමන් දුම් ඇල්ලීම , ආපු ගමන් ස්නානය යෝග්‍ය නොවේ. පළමුව උණු ජලයෙන් උගුර , මුඛය සෝදා මඳ රස්න වීදුරුවක් පානය කර සිරුර ක්‍රමානුකූලව සිසිල් වීමට ඉඩ හැර ස්නානය කර පසුව දුම් ඇල්ලීම කළ යුතුයි. නිවස තුළම සිටින අය නිතර නිතර වාෂ්ප ඇල්ලීම අනවශ්‍යයි.

කථිකාචාර්ය ආයුර්වේද වෛද්‍ය රවීන්ද්‍ර වීරසිංහ මහතා

ගම්පහ වික්‍රමාරච්චි දේශීය විශ්ව විද්‍යාලය

සටහන : මහේෂානී මීගහපොල

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate