නව යොවුන් නිරෝගී දරුවන්ට (වයස අවුරුදු 15 ත් 19 ත් අතර) කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරන බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය.

මෙම දරුවන්ට ‘ෆයිසර් ’ එන්නත ලබා දෙන බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා අනාවරණය කළේ ය.
ඇතැම් දරුවන්ට ඕනෑම එන්නතක් දීමේදී අසාත්මිකතා ඇති වන අවස්ථා තිබෙන බවත් එම දරුවන්ට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත දීමෙන් ද අසාත්මිකතා ඇතිවේය යන සැකය නිසා එම දරුවන්ට පමණක් එය නොදීමට තීරණය කර තිබෙන බව ත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
එන්නත ගැනීමෙන් පසුව දරුවන් විනාඩි 30 ක් පමණ එම ස්ථානයේ රඳවා ගෙන අසාත්මිකතා ඇති වේද යන්න පිළිබඳව විමසිලිමත් වන බව සඳහන් කළ ඒ මහතා අසාත්මිකතා ඇති වීම කලාතුරකින් සිදුවන්නක් බැවින් බිය නොවී එන්නත ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
එමෙන්ම එන්නත්කරණයට පෙර අසාත්මිකතා ඇතිවේයැයි සැකය මත ඖෂධ වර්ග හෝ පැරසිටමෝල් ලබා නොගන්නා ලෙසද අවධාරණය කළේ ය.
එන්නත් ලබා ගැනීමෙන් පසුව හිසරදය, උණ හා ඇඟ – පත වේදනාවන් ඇති වුවහොත් පමණක් නියමිත මාත්රාවන්ගෙන් පැරසිටමෝල් ලබා ගන්නා ලෙසත් පැය 48 ට වඩා එම තත්ත්වය පැවැතුණහොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් හෙතෙම අවධාරණය කළේ ය.
එන්නත් කළ බාහුවේ සුළු වේදනාවක් ඇති වීම සාමාන්‍ය දෙයක් බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා එම ස්ථානය ඉදිමී, පැහැය වෙනස් වී ප්‍රදාහයක් ඇති වුව හොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද කීය.
වයස අවුරුදු 12 ත් 19 ත් අතර නොයෙකුත් රෝග තත්ත්වයන් ඇති දරුවන්ට මීට සති දෙකකට පමණ ඉහතදී කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ආරම්භ කළ බවත් එය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ බව ත් විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
1 Comment
Good Article