ඖෂධීය ගුණ බහුල උගුරැස්ස ….

Flacoritia Romontchi  Herit යන උද්භිත නාමයෙන් යුත් ඉතාම රසවත් පලතුරකි උගුරැස්ස.

ලංකාව බටහිර බෙංගාලය ,ඇමරිකාව,මැලේසියාව ,අප්‍රිකාව ,මැඩගස්කරය ආදී ප්‍රදේශවල වැවෙන මෙම රසවත් පලතුර ඖෂධ පිණිස යොදා ගැනීම බහුලයි. සංස්කෘතික බසින් සාදු කණ්ඨක ,කන්ට කියන නාමයන් ගෙන් යුක්ත කටු ලොවි හෙවත් උගුරැස්ස යන ශාකයේ ගෙඩි පලතුර වශයෙන් යොදා ගැනුන ද ඖෂධ පිණිස නම් උගුරැස්ස ශාකයෙ මුල් ,කොල,පොත්ත ,ඇට හා ගෙඩි යන කොටස් භාවිත කරයි .

ආයුර්වේද වෛද්‍ය ඉෂංකා මල්කි

ඉදුණු පලතුරු ආහාරයට එක්කර ගැනීමත් ,ඉදුණු උගුරැස්ස ගෙඩි භාවිත කර ශාක සකසා ගන්නා ලද රසවත් පානයන් ,උගුරැස්ස අච්චාරු ලෙස සකස් කිරීම ,පලතුරු සලාද සැකසීමේ දී ඉදුණු උගුරැස්ස ගෙඩි භාවිත  කිරීම,දෝසි වැනි රසවත් ආහාර සකස් කර ගැනීමට එපමණක් නො ව,ඇතැම් රටවල උගුරැස්ස පලතුර භාවිත කර ජෙලි වර්ග සැකසීම,උගුරැස්ස ජෑම් සෑදීම ,සෝස් සෑදීම,කේක් නිෂ්පාදනයේ දී ආදී බොහෝ ආහාර කර්මාන්තයේ දී මෙම පලතුර භාවිතා කර ඇත. එනම් , මෙහි ගුණාත්මකභාවය හා ඖෂධීය ගුණ හොඳින් දන්නා රටවල් මෙහි විවිධ නිෂ්පාදන අද වෙද්දි වෙළඳපොළට හඳුන්වා දීඇත.

උගුරැස්ස කොළ ඇතැම් රටවල එළවළුවක් ලෙස

කැල්සියම් බහුලව අඩංගු උගුරැස්ස සිරුරට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන ශුද්‍ර පෝෂක රාශියකින්ගහන පලතුරකි . විශේෂයෙන් විටමින් C, Riboflavin vitamin B, A බෙහෙවින් අන්තර් ගත වේ .රක්තහීනතාවෙන් පෙළෙන්නන්ට ද උගුරැස්ස මහඟු ඖෂධයකි. මන්ද යකඩ යහමින් අන්තර්ගත වේ. fiber බහුල , antioxidants අනූන මෙම පලතුර සියලුම දෙනා ආහාරයට එක් කර ගත යුතුම පලතුරකි .

උගුරැස්ස ගෙඩි වල කසාය හා මධුර රස බහුල නිසා රක්ත පිත්, පිත්ත සෙංගමාල ,රක්ත ස්‍රාව වැනි විවිධ රෝගාබාධ සඳහා බෙහෙවින්ම ප්‍රශස්ත ය . එබැවින් අතීතයේ සිට සෙංගමාල රෝගීන්ට පලතුරක් ලෙස භාවිත කිරීම ඉතා ප්‍රචලිත ය . තවද අතීත වෙදැදුරන් ඇස් රෝග සඳහා උගුරැස්ස මැල්ලුම භාවිතා කර ඇත .අග්නිය දීපනය කර ආහාර රුචිය වර්ධනය කිරීමේ විශේෂ හැකියාවක් මෙම උගුරැස්ස පලතුර සතුව ඇත.අතීසාර රෝගීන්ටත් බෙහෙවින් ම ගුණදායි උගුරැස්ස, ආතරයිටීස් රෝගීන් සඳහා ද විශේෂයෙන් ම යෝග්‍ය වේ .

සර්ප දෂ්ඨවලදී

අපේ පැරණි වෙදකමේ   ඇතැම් සර්ප විෂ බැස්ස වීම සඳහා සර්ප දෂ්ට මුඛයේ ආලේපය සඳහා උගුරැස්ස ශාකයේ කොළ හා පොතු භාවිත  කර ඇත .

පිළිකා රෝගීන්ට පවා ගුණදායී  මෙම පලතුර සෑම කෙනෙක්ම ආහාරයට එක් කරගත යුතුම පලතුරකි.

උගුරැස්ස මැල්ලුම

ඇස් තැලීම්වලට උගුරැස්ස කොළ පොතු ,අමු කහ පොල් කොටා මලවා  බැඳීමෙන් වහා වහාම සුවය ලැබූ බව දේශීය වෙදකම  මැනවින් දක්වා ඇත.

විශේෂයෙන්ම  වෛරස් (viral) ආසාදන සඳහා ඊට එරෙහි ක්‍රියාත්මක වන ශක්තිය, සිරුර තුළ ඇති කිරීමට මෙම උගුරැස්ස පලතුරට හැකියාව ඇත .

රසවත් උගුරැස්ස පානය

ඉදුණු උගුරැස්ස ගෙඩි භාවිත කරමින් සකස් කරගන්නා රසවත් වූ හා විශේෂයෙන් හෘදයට ගුණදායි වූ මෙම ඔසුවක් වූ පානය සතියකට අවම දෙවරක්වත් භාවිත කිරීමෙන් පහත ගුණ ඔබට අත් වනු ඇත. ඉදුණු උගුරැස්ස ගෙඩි කීපයක් වතුර සමග blender කර අවශ්‍ය ප්‍රමාණයට ලුණු ,දෙහි ,සීනි යොදා අවශ්‍ය  නම් ශීතකරණයේ තබා පානය කිරීමට භාවිත කර හැකිය .

• රුධිර නිෂ්පාදනයට ඉතා ගුණදායකයි.
• හෘද රෝගීන්ට ඉතාමත් ම  ගුණදායක පානය කි .
• දියවැඩියාවට ඉතා සුදුසු පානය කි.
• ශරීරය පෘෂ්ඨිමත් බව වැඩි කරන පානය කි.
• ශරීර වර්ණය පවත්වාගෙන යාමට භාවිත වන හෙළ ඔසුවකි.
• එම පානය නිතර නිතර භාවිත කිරීමෙන් ආහාර රුචිය ඇති  කර ගැනීමට හැකියාව ලැබේ.

උගුරැස්ස කාන්තාවන්ගේ දරු ප්‍රසූතියෙන් පසු වේදනා සමනයට විශේෂයෙන් වාත වේදනා සමනයට උගුරැස්ස ඇට සියුම් ලෙස චූර්ණ කොට‍ අමු කහ සමඟ අඹරා අදාළ වේදනා ස්ථානයේ ආලේප කිරීමෙන් එම ප්‍රසූත වේදනාව පහව යයි .

මෙතරම් ගුණදායි මෙම පලතුර හැකි පමණ ඔබත් ඔබේ ගෙවත්තේ වගා කිරීමට උනන්දු වන්න. ලංකාවේ ඕනෑම පළාතක වැවෙන මෙම ශාකයේ ගෙඩි එනම් උගුරැස්ස ගෙඩිවල ගුණය දුවා දරුවන්ට ඉගැන්විය යුතු ම ය .

උගුරැස්ස ගෙඩි වලින් සකස් කරගන්නා ලද කසාය දියවැඩියා රෝගීන් හට මහඟු ඔසුවකි

ආයුර්වේද වෛද්‍ය ඉෂංකා මල්කි
බලපිටිය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

 

Editor Health and Life

Related post

2 Comments

  • Great information

    • welcome

Leave a Reply

Your email address will not be published.

Translate