ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් (Rapid antigen) යනු කුමක්දැයි හදුනා ගනිමු.

රවී කුමුදේශ්
රවී කුමුදේශ්

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ යනු මොනවාද?

අදාල වෛරසයටම එරෙහිව මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්ප්‍රේරණය කරමින් ප්‍රතිදේහ නිපදවීමට හේතු කාරක වන වෛරසයේ කොටසකි. ඒ අනූව වෛරසයකට ප්‍රතිදේහජනක සොයා ගැනීම යනු වෛරසයන් සොයා ගැනීමක් ලෙස හැඳින්විය හැකි වන අතර බොහෝ විට එය වෛරසයට අදාල ප්‍රෝටීනයකි. පීසීආර් පරීක්ෂණයේදී වෛරසයට අදාලව සුවිශේෂිව හඳුනාගත් න්‍යෂ්ටික අම්ල කොටසක් හෝ කීපයක් පරීක්ෂා කෙරෙන අතර එය සුවිශේෂි බවින් වැඩිය. ඊට අදාලව ක්ෂණික ප්‍රතිදේහ ජනකයක් විදිහට අපි හඳුන්වන්නේ රසායනාගාරයක් තුල සංකීර්ණව සිදු වෙන ක්‍රියාවෙන් බැහැරව සරල ඇටවුමක් තුලදී නිදර්ශකයක ඇති ඉලක්කගත වෛරසයක් පිළිබඳව ක්ෂණිකව තහවුරුවක් ලබා ගැනීමය.

ලොව පුරා කොවිඩ් සඳහා විවිධාකාරයෙන් භාවිතා කරන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ඉතා විශාල සංඛ්‍යාවක් පවතින අතර විවිධ රටවල අයත් විවිධ නිෂ්පාදන සමාගම් විසින් ඒවා නිෂ්පාදනය කරනු ලබයි. මෙම සියළු කට්ටල නිපදවීමේදී අනුගමනය කරනු ලබන විද්‍යාත්මක සහ න්‍යායාත්මක ක්‍රමය සමාන වන නමුත් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවේ මට්ටම එහි නිරවද්‍යතාවය (Accuracy and Precision) නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට වෙනස්ය.

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වර්ග සහ මිල

මෙම පරීක්ෂන කට්ටල සඳහා නිදර්ශකය අනූවද ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටල වර්ගීකරණය කල හැකි වන අතර ඊට අදාලවද පරීක්ෂණයෙන් ලබා ගන්නා ප්‍රතිපලයේ නිරවද්‍යතාවය වෙනස් වේ. ප්‍රතිදේහජනක පරීක්ෂණයක් රසායනාගාරයක් තුලදී භාවිතා වන සංකීර්ණ ඇටවුමක් තුල සිදු කිරීම වඩාත් ප්‍රතිඵලදායක ක්‍රමය වන අතර එය ක්ෂණිකව සිදු කර ගැනීමේ කට්ටල වලට යාමේදී ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය තරමක් දුරට හානිවේ. එසේම පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන නිදර්ශය තුල වෛරසය අඩංගු වීමේ සම්භාවිතාවය අනූවද පරීක්ෂණයේ ප්‍රතිඵල වල නිරවද්‍යතාවය වෙනස් විය හැකි.

කෙසේ නමුත් භාවිතා කිරීමේ පහසුව සහ අවශ්‍යතාවයේ ස්වභාවය අනූව විවිධ නිදර්ශක මඟින් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීම සඳහා පරීක්ෂණ කට්ටල නිපදවා ඇති අතර දැනට සොයා ගෙන ඇති කරුණු අනූව නාස් කුහරයෙන් ගැඹුරින් ලබා ගන්නා මාන්තුවක් මඟින් වෛරස ඝණත්වය අධික නිදර්ශකයක් ලබා ගත හැකි යැයි සැලකේ. එබැවින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි වන්නේ එවැනි නිදර්ශකයක් භාවිතා කරන ප්‍රතිදේහජනක කට්ටල මඟිනි.

තත්ත්වය මෙසේ වුවද කොව්ඩ් යනු සාමාන්‍ය රෝගී තත්ත්වයකට එහා ගිය වසංගතක් වන බැවින්ද, එකවර විශාල පිරිසකට ආසාදනය වන රෝගයක් වන බැවින්ද, අසාදිතයන්ගෙන් 80% කට පමණ රෝගී බව හඳුනා ගැනීමට තරම් රෝග ලක්ෂණයක් මතු නොවන බැවින්ද, බහුල ලෙස පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන පරීක්ෂණ සිදු කිරීමේ පහසුවද ඉලක්ක කර ගනිමින් ඛේඨය හා නොගැඹුරු නාස කුහරයෙන් ලබා ගන්නා නිදර්ශක මඟින්ද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කර හැකි පරීක්ෂණ කට්ටල ලොව පුරා භාවිත වේ.

ඒ අනූව පැහැදිලි වන්නේ විද්‍යානුකූල ක්‍රමවේදයට අදාලවද එම ක්‍රමවේදය විවිධ ඇටවුම් වල යොදවා ගන්නා ආකාරය අනූවද පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය විචලනය වන බවය. එහිදී වඩා නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පරීක්ෂණාගාරය තුලදී ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සිදු කිරීම වඩා සුදුසු ක්‍රමය වන අතර එලෙස පරීක්ෂණයක් සිදු කර ගැනීමේ නොහැකියාවක් පවතින අවස්ථාවලදී නාස් කුහරයේ ගැඹුරින් ලබා ගන්නා නිදර්ශකයක් මඟින් ක්ෂේත්‍රය තුලදී පරීක්ෂණයක් සිදු කර ගැනීම සුදුසු වේ.

එම ක්‍රමවේදයට භාවිතා කිරීමට අසීරු වන මට්ටමෙන් වසංගතය ව්‍යාප්ත වන විටකදී නිවෙස් පරීක්ෂණ (Home testing) ස්වපරීක්ෂණ (Self-testing) වැනි ක්‍රමවේද වලට පවා යොමු වීමත් ඒ සඳහා වන විකල්ප පරීක්ෂණ ක්‍රම භාවිතා කිරීමටත් සිදුවේ.

පරීක්ෂණ කට්ටල නිෂ්පාදනය කර ඇති ක්‍රමවේදය, ඒවායේ නිරවද්‍යතාවය වැඩි කර ගැනීම සඳහා දරනු ලබන පිරිවැය, නිෂ්පාදිත සන්නාමය, භාවිතා වන නිදර්ශකය යනාදී වෙනස්කම් ගණනාවක් කෝව්ඩ් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල වල පවතින අතර ඒවායේ මිල තීරණය වන්නේද ඊට අදාල නිෂ්පාදන පිරිවැයට අදාල මූලික වෙනස්කම් සැලකිල්ලට ගනිමින්ය.

කෙසේ නමුත් ලොව පුරා දැනට ප්‍රමාණාත්මක විශ්වාසයක් සහිතව භාවිතා කරමින් සිටිනු ලබන කොවිඩ් ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටලවල මිල ඇමරිකානු ඩොලර් 2 සිට 10 දක්වා පරාසයක පවතී. නිරවද්‍යතාවය පිලිබඳ තහවුරුවක් ලබා ගත නොහැකි අවිධිමත් ලෙස වෙළඳපොලට නිකුත් කෙරෙන නිෂ්පාදනද විශාල වශයෙන් පවතින අතර පරීක්ෂණ කට්ටලයක් තෝරා ගැනීමේදී එහි නිරවද්‍යතාවය අතිශයින් වැදගත් වන බැවින් අඩු මිල පමණක් එකම සාධකය කර ගැනීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකිය. එසේම මිල අධික සන්නාමය යටතේ අධික මිල ගණන් වලටද මෙම පරීක්ෂණ කට්ටල නිපදවෙන අතර නිරවද්‍යතාවයේ කිසිඳු වෙනසක් නොමැතිව වැඩි මිලක් ගෙවීමෙන්ද ලැබෙන ප්‍රතිඵලයක් නොමැත.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් භාවිතා කිරීම සඳහා කොවිඩ් ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටල වර්ග 40ක පමණ ප්‍රමාණයක් ලියාපදිචි අවසරය ඉල්ලා ඇති නමුත් මේ වන විට රට තුල භාවිතා කිරීම සඳහා අනුමැතිය ලැබී ඇත්තේ කට්ටල වර්ග 3කට පමණි.

පරීක්ෂණ කට්ටලයක් රු. 80 කට මිලදී ගත හැකිද?

දැනට ලොව පුරා පවතින පරීක්ෂණ කට්ටල පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී රු 80/- ක් වැනි කුඩා මුදලකට නිවැරදි ප්‍රතිඵල ලබා ගත හැකි පරීක්ෂණ කට්ටලයක් සොයා ගැනීම උගහටය. එක් පරීක්ෂණ කට්ටලයක් පිළිබඳ මිල ගණනය කිරීමේදී එක් පුද්ගලයෙකුගේ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා එක් කට්ටලයක අඩංගු විවිධ කොටස් සහ එක් ඇසුරුමක අඩංගු කට්ටල ප්‍රමාණය නිවැරදි නොවන අකාරයෙන් තේරුම් ගැනීම මෙම රු 80/- ක මිල පටලැවිල්ලට ප්‍රධාන හේතුවෙක් ලෙස නිරීක්ෂණය කල හැක.

ඒ අනූව සාමාන්‍යයෙන් මෙවන් පරීක්ෂණ කට්ටල එක් ඇසුරුමක පරීක්ෂණ කට්ටල 25 ක ප්‍රමාණයක් අඩංගු වන අතර එක් ඇසුරුමක් තුල පහත දැක්වෙන කොටස් 10 අඩංගු වේ.

1. ක්ෂණික පරීක්ෂණ මාර්ගෝපදේශ පත්‍රිකාව (1)

2. විවිධ භාෂා විස්තරාත්මක මාර්ගෝපදේශය (1)

3. සාම්පල් රඳවනය (1)

4. ධන තත්ත්ව පරීක්ෂණය (1)

5. සෘණ තත්ත්ව පරීක්ෂණය (1)

6. වෛරස නිස්සාරණ දියර බෝතලය (10 ml)

7. පරීක්ෂණ කැසට්ටුව (25)

8. නිදර්ශකය ලබා ගැනීමට අවශ්‍ය මාන්තුව (25)

9. නිදර්ශකය සහිත මාන්තුව බහාලන ටියුබය (25)

10. ඇටවුමට අදාල පියන (25)

ඉහත කොටස් සියල්ලම එක් පුද්ගලයෙකුට අදාල එක් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අවශ්‍යවන අතර 1 සිට 5 දක්වා ඇති කොටස් පොදුවේ භාවිතා කිරීමටත් ඉතිරි 6 සිට 10 දක්වා ඇති කොටස් පරීක්ෂණ 25ක් සඳහා ප්‍රමාණවත් වන පරිදිත් ඇසුරුම් කර ඇත. එහිදී පරීක්ෂණ 25ක් සඳහා අවශ්‍ය වන නිස්සාරණ දියරය එක් බෝතලයක් තුල අන්තර්ගත කර ඇති අතර අංක 7, 8, 9, 10 යන කොටස් 25 බැඟින් එක් ඇසුරුමක් තුල අන්තර්ගත කර ඇත. ඒ අනූව එක් ඇසුරුමක පුද්ලයන් 25 දෙනෙකුගේ පරීක්ෂණ සිදු කල හැකි පරිදි අදාල කොටස් 25 බැගින් වන අතර පුද්ගලයන් කිහිපදෙනෙකු හෝ පරීක්ෂණ කිහිපයක් සඳහා එම එක් කොටසක් නැවත නැවත භාවිත කල නොහැක.

 

Related post

Leave a Reply

Your email address will not be published.

Translate