කොරෝනාවට එරෙහිව සිතටත් එන්නතක්

තමන්ට රෝගයක් වැළඳුනු විට බියක්, නොසන්සුන් බවක් ආතති තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එහෙත් කොවිඩ්-19 රෝගය ගැන අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝ නිසා,ඒපිළිබඳව අප කාගේත් හිත් තුළ වැඩි වශයෙන් මෙවැනි හැඟීම් ඇතිවේ.

විශේෂඥ වෛද්‍ය යමුනා එල්ලාවල

කොවිඩ්-19 රෝගය වැළඳී ඔබ නිවසේ සිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන කෙනෙකු විය හැකිය. නිවසේ කාමරයක් තුළට කොටු වී ඔබ ගත කරන කාලයෙන් වැඩි කොටසක් සිදු වූ දේ ගැන සිතමින්, ලතවෙවී ගත කරනු නොඅනුමානය. එයින් ඔබේ මානසික සෞඛ්‍යට හා රෝගී තත්ත්වයට වන බලපෑම ගැන ඔබට වැටහීමක් නැතුවා විය හැකිය.

මෙම රෝගය වැළඳුණු පුද්ගලයින්ට ඇති පොදු ගැටලු ගැන අවධානය යොමු කළහොත්, බොහෝ විට තමන්ගෙන්ම අසා ගන්නා ප්‍රශ්න වැළක් ඇත.

“මට මේ රෝගය වැළඳුණේ ඇයි? ”

 

මා කොපමණ ප්‍රවේශම්  වූවාද? හරියට මුව ආවරණ නොපළඳින කොපමණ අය සිටී ද? ඇයි ඔවුනට සෑදුනේ නැත්තේ?

“ඇයි මටම විතරක් මෙහෙම වුණේ?”

ඔබ වටහා ගත යුතු මුල්ම දේ තමයි, ඔබට පමණක් නොව ලෝකයේ සිටින ඕනෑම කෙනෙකුට මෙම රෝගය වැළඳීමට හැකි බව. කොරෝනා වෛරසයට ඔබේ ජාතිය, ආගම කුමක්ද? යන බවහෝ ඔබ ජීවත් වන්නේ කවර රටක ද, ප්‍රදේශයක ද යන්න අදාළ නොවේ.
ඔබට මෙම රෝගය වැළඳුණේ ඔබ කිසියම් වැරැද්දක් කළ  නිසා නොවේ. මේ මොහොතේ ඔබ කළ යුත්තේ තමන් පිට වරද පටවා ගැනීම හෝ තමා ගැන අනුකම්පා කිරීම නොව, ඔබටම කාරුණික වීමයි. දයාව දැක්වීමයි. මෙය ස්වයං දයානුකම්පාව (self compassion) යනුවෙන් හැඳින්වේ. බැලූ බැල්මට මෙය බොහෝ ගැඹුරු, තේරුම් ගැනීමට අපහසු වචනයක් ලෙස ඔබට හැඟෙනු ඇත. එහෙත් මෙයින් කියැවෙන්නේ ඔබ යම් අසීරු අවස්ථාවකට මුහුණ දී සිටින විට, එවන් තත්ත්වයකට පත් වූ වෙනත් කෙනෙකුට දක්වන දයාව, කරුණාව ඔබ වෙතම දැක්වීමයි. ඔබ, ඔබ ගැනම සැලකිලිමත් වීමෙන් සහ ඔබට දයාව දැක්වීම තුළින් සිදු වන්නේ ඔබේ මානසික යහපැවැත්ම වැඩිදියුණු වීමයි.

නිවසේ කාමරයකට කොටුවී සිටින විට ඔබේ සිතෙහි නොයෙකුත් සිතුවිලි ඇතිවේ. මෙවැනි තත්ත්වයකදී දුකක්, ආතතියක්, නොසන්සුන් බවක්, තරහක් සේම බියක් දැනීම සාමාන්‍ය දෙයකි. මේ සියලු දේ මිනිසෙකු වීම නිසා අප කාටත් දැනෙන පොදු හැඟීම්ය. එනිසා, මෙම සිතට දැනෙන ‘හුදෙකලා වූ ’ ස්වභාවය නැති වී යනු ඇත.

ඔබ අනවශ්‍ය ලෙස පසු තැවෙන විට ඔබේ ශරීරයෙන් ආතතිය ඇති කරන හෝමෝන වැඩිපුර ස්‍රාවය වීමට පටන් ගනී. එවිට අපේ ශරීරයේ බොහෝ වෙනස්කම් සිදුවේ. හිසරදය, ඇඟපත වේදනා,කෑම අරුචිය, දහඩිය දැමීම, හදවතේ ගැස්ම වැඩිවීම ආදී දේ ඔබත් අත්විඳ ඇතුවාට සැකයක් නැත. මෙයින් සිදුවන්නේ හදවත් රෝග, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළඳීමේ අවදානමක් ඇති වීමයි. එසේම ඔබගේ මනසට මේ ආතතීන් අඩු කිරීමට යෙදෙනු මිස, ඔබේ ශරීරයේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට ඉඩක් නොලැබේ.

තමන්ගේ නිවසේ සිටින අනෙක් අයට රෝගය පැතිරෙයිද? නැතහොත් තමා නිසා සේවය කරන ස්ථානයේ අයට පැතිරෙයිද? යන වරදකාරී හැඟීම් නිතර ඔබේ සිතට වද දෙන්නට පුළුවන. ඔබට රෝග ලක්ෂණ පහළ වූ අවස්ථාවේදීම අදාළ පරීක්ෂණ මගින් තහවුරු කර ගෙන, අනෙක් අයගෙන් දුරස් වී හිඳීමට ඔබ ගත්තේ නිවැරදි තීරණයක්. ඉතින්, ඔබ මේ කරන්නේ ඔබගේ සමාජ වගකීම ඉටු කිරීමක්. සමාජ මෙහෙවරක්. ඔබ සම්පූර්ණයෙන් සුවය ලබා නැවත ඔවුන් අතරට පැමිණි විට, ඔබේ වගකීම් නිසි ලෙස ඉටු කළ පුද්ගලයෙකු ලෙසට පවුලේ අය හා සමාජය ඔබට ගරු කරාවි.

මේ අවස්ථාවේදී, ඔබේ මනස සන්සුන්ව තබා ගත හැකි ක්‍රියාකාරකම්වල යෙදීමට ඔබට පුළුවන්. විවේකය මෙම රෝගයට අත්‍යාවශ්‍ය මෙන්ම  ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්මයක්. ඒ නිසා, ඔබට කායික අපහසුතාවක් නොදැනෙන විට කැමති පොතපත කියවීම,මියුරු සංගීතයකට සවන් දීම මෙන්ම ඔබේ ආගමට අනුව භාවනා ආදී ක්‍රියාවන්හි යෙදීම ද කළ හැකිය.

‘සතිමත් බව ’ පුරුදු පුහුණු වීමටත් ඔබට පුළුවන්. සතිමත් බව යනු‘විශ්ව සංකල්පයකි’  එය එක් ආගමකට පොදු වූ දෙයක් නොවේ. සරලව කිවහොත් ‘සතිමත් වීම’ යනු මේ මොහොතේ ජීවත් වීමයි. අතීතය හෝ අනාගතය ගැන වද නොවී, මේ මොහොත ගැන පමණක් සිතන නිසා එවිට ලතැවීම්, පසුතැවීම්වලට අපේ සිතේ ඉඩක් නොමැත.

ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් සිදුවන්නේ වෙනත් අනවශ්‍ය , නොසන්සුන්කාරී සිතුවිලි ඔබේ මනසට ගලා ඒම වැළැක්වීමයි.

අන් අය සමග සබඳතා පවත්වා ගැනීමත් නිවසේ සිටින ඔබට පහසුවෙන්ම කළ හැකි දෙයකි. දුරකථන, සමාජ මාධ්‍යයක හා විද්‍යුත් මාධ්‍යය හරහා ඔබට ඔවුන් සමග සම්බන්ධ විය හැකිය. යහපත් සබඳතා ඔබට “ආරක්ෂිත බවක් ”ගෙන ඒවි. මතක තබා ගන්න! ඔබ දුරස්ව සිටින්නේ කායිකව පමණයි, සමාජමය වශයෙන් නොවේ. එම නිසා ඔබට කතා කිරීම වෙහෙසක් ගෙන නොදේ නම්, දුරකථනයෙන් ඔබට විශ්වාසවන්ත අයෙකු සමග කතා කරන්න. ඔබේ හැඟීම් තද කර ගෙන සිටීමෙන් සිදු වන්නේ මානසික යහපැවැත්මට බාධා ඇති වීමයි. ඔබට බියක්, දුකක් හෝ ව්‍යාකූල බවක් දැනේ නම්, විශ්වාසවන්ත කෙනෙකුට පවසන්න. ඔවුන්ට ඔබ වෙනුවෙන් යමක් කළ හැකි වන්නේ එවිටයි.
ඔබ අවබෝධ කර ගත යුතු තවත් වැදගත් කරුණක් නම්, මෙම රෝගය වැළඳුණු පුද්ගලයන්ගෙන් සියයට 80 ක් ම කිසිම සංකූලතාවක් නොමැතිව, සම්පූර්ණයෙන්ම සුවය ලබන බව. රෝහල්ගත වීමට සිදුවන්නේ ඉතා සුළු පිරිසකට පමණයි. එසේ රෝහල් ගතවීමට සිදුවූවත් ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට අපේ සෞඛ්‍යය කාර්ය මණ්ඩලය ඇතුළු රෝහල් පද්ධතිය හොඳින් සූදානම්ව සිටියි.

අපේ හිත යනු අප සිතනවාට වඩා හරිම බලගතු දෙයක්. මනසට පුළුවන් අපේ ශරීරය පාලනය කරන්න. මනස විශ්වාස කරන දේ තමයි, ශරීරය ක්‍රියාත්මක කරන්නේ. එම නිසා ඔබ දවසින් දවස තමන් සුව අතට හැරෙන බව විශ්වාස කරන්න. එවිට රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කර, ඔබේ මනස ඔබව කායිකව සුවපත් කරාවි.

එනිසා, මේ මොහොතේ ඔබේ මනස ශක්තිමත් කර ගත යුතුය. මානසික යහපැවැත්ම වැඩි දියුණු කර ගැනීම කොරෝනා වෛරසයට එරෙහි ඔබේ හිතට දෙන එන්නතක් හා සමාන බව ඔබට වැටහෙනු ඇත.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා ගයානි එල්ලාවල
මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂ කාර්යාලය
සෞඛ්‍යය අමාත්‍යංශය

 

Editor Health and Life

Related post

1 Comment

  • ඉතාමත් වටිනා ලිපියකි. මෙම රෝගයට ගොදුරු අයෙක් වශයෙන් ලද අත්දැකීම් අති මහත්ය. එම රෝගී කාලය තුළ ඇති කර ගත් ආත්ම විශ්වාසය, ධනාත්මක ආකල්ප සහ නිරවුල් මානසිකත්වය හේතුවෙන් අද අප පවුලේ සැම නීරෝගී වී සිටිමු. ආකල්පමය වශයෙන් තමන් තුළ වෙනසක් ඇති කර ගත යුතු කාලය පැමිණ ඇත. වයිද්‍ය තුමියනි, මෙවැනි දැනුවත් කිරීම් අවැසි කාලය පැමින ඇත. ඔබ කරන්නා වූ මෙහෙය ගෞරවණීය ලෙස අගය කරමි. වඩාත් පුලුල් ලෙස අප ජනතාව මෙලෙස දැනුවත් කිරීමට ඔබට ශක්තිය ධර්‍ර්ය ලැබේවා. ඔබට නොදෙවෙනි ඉතා වටිනා මෙහෙවරක් ඉතා වගකීමෙන් අප රට වෙනුවෙන් ඉටු කරන Dr. එල්ළාවල මැතිතුමන් ද මේ මොහොතේ අභිමානයෙන් යුතුව සිහි කරමි. ඔබ දෙපලට ජය පතමි.

Leave a Reply

Your email address will not be published.

Translate