කොරෝනා ආසාදිත හෘදරෝගීන් දෛනිකව ගන්නා ඖෂධ නොකඩවා ගන්න

හෘද රෝගීන් , කොවිඩ් 19 ආසාදනය වී ඒ සදහා ප්‍රතිකාර ගත්ත ද හෘද රෝගයට දෛනිකව ගන්නා ඖෂධ නොකඩවා ගත යුතු බව මීගමුව මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග

හෘද රෝගීන්ට කොවිඩ් 19 ආසාදනය වූ පසු ඇතිවන සංකූලතා වැඩි වශයෙන් පෙන්වුම් කරන බැවින් වෛද්‍යවරයෙකුගේ  නිර්දේශවලින් තොරව දෛනිකව ලබා ගන්නා ඖෂධ කිසිලෙසකින් නතර නොකළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (17) පැවැති මාධ්‍ය හුමවකදී  ඇය පැවැසුවාය.

කොවිඩ් 19 රෝගය ආසාදනය වූ විට ඇතිවන වේදනාවන් අතර පපුවේ වේදනාව ද පවතින නමුත්, එය පපුවේ වම් පැත්තෙන් හෝ මැද්දෙන් දරා ගත නොහැකි තරමට වේදනාවත් සමග දහඩිය දැමීමක් ඇති වුවහොත් එය හෘදයාබාධයක ලක්ෂණ විය හැකි බව විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළා ය. එවන් අවස්ථාවකදී වහාම රෝහල්ගත විය යුතු බව ද ඇය පැවැසුවාය.

 

සුළු කාර්යයක නිරත වීමේදී, පියවර කිහිපයක් ඇවිද යාමේදී, වාඩි වී සිට නැගිට යාමේදී, හෘද ස්පන්ධන වේගය වැඩි නම්, කලන්තය ගතියක් පවතී නම්, නිදා සිටියදී හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන්නැයි ද විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළාය.

කකුල් ඉදිමීම, කෙන්ඩ ප්‍රදේශයේ  වේදනාව ඇත්නම් එය කෙන්ඩ ප්‍රදේශයේ රුධිරය කැටි ගැසීමක් විය හැකි බැවින් කල්පනාකාරී විය යුතු බව ද කීය.

එමෙන්ම පශ්චාත් කොවිඩ් 19 අවධියේදී එනම්,කොවිඩ් 19 සුව වී සති 14 ක් 16 ක් පමණ යනතෙක් හෘද රෝගීන් තම සුපුරුදු ව්‍යායාම ආරම්භ නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ලැබී තිබෙන බව ත් නැවත ව්‍යායාම ආරම්භ ක්‍රම ක්‍රමයෙන් ආරම්භ කළ යුතු බව ත් විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

ව්‍යායාම කරන අතරතුර මහන්සියක්, හෘදස්පන්ධන වේගය වැඩිවීමක්, කලන්තයක් ඇති වුවහොත් වහාම ව්‍යායාම කිරීම නතර කළ යුතු බව ද ඇය සදහන් කළාය.එමෙන්ම කොවිඩ් 19 ආසාදනය වුව ද සංකූලතා නොමැති හෘද රෝගීන් සුපුරුදු පරිදි ව්‍යායාමවල යෙදිය හැකි බවත් යම් කිසි අපහසුතාවක් ඇති වුවහොත් වහා ව්‍යායාම නතර කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate