මෙරට කොරෝනා රෝගීන් අතර පළමුවරට කළු දිලීර රෝගය පැතිර යමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.

සාමාන්‍ය රෝගීන් අතර පැතිර ගිය මෙම කළු දිලීර රෝගය මේ වන විට කොවිඩ් ආසාධිතයින් කිහිපදෙනෙකුට වැළදී තිබෙන බවත් කොළඹ, කුරුණෑගල, හා රත්නපුර යන ප්‍රදේශවලින් මෙම රෝගීන් වාරතා වී තිබෙන බවත් හේමන්ත හේරත් මහතා කීය.
කළු දිලීර රෝගය ශරීරයේ හට ගන්නා ස්ථානය මත රෝග ලක්ෂණ මතු වන අතර සම,නාසය, ඇස, පෙනහලු හා මොළය ආශ්‍රිතව මෙය ඇති වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම අනාවරණය කළේ ය.
දියවැඩියාව , අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග,පිළිකා , ස්වසන රෝග ඇතුළු බෝ නොවන රෝග දරුණු ලෙස පවතින අය මෙන්ම ප්‍රතිශක්තිය හීන වුණ පුද්ගලයින් කළු දිලීර රෝගයෙන් බොහෝ දුරට ආරක්ෂා විය යුතු බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කීය.
පරිසරයේ පවතින කැලි – කසලවලින් ඇති වන දිලීර වායුගෝලයට එකතු වී පරිසරයෙන් මෙම තත්ත්වය ඇති වන අතර පුද්ගලයාගෙන් පුදගලයාට මෙය බෝ නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.