කොරෝනා රෝගීන් වැඩි වුණොත් භයානක ප්‍රභේද ඇති වීමේ අවදානමක්

විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන

ගත වූ පැය 24 ක කාලය තුළ කොවිඩ් 19  නිවෙස්ගත රෝගී සත්කාරක සේවයට ආසාදිතයින් 500 කට වැඩි සංඛ්‍යාවක් එක් වී ඇති හෙයින් ඉකුත් සති දෙකට සාපේක්ෂව එය  සැලකිය යුතු මට්ටමක වැඩි වීමක් බව පවුල් වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති  මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළාය.

කොවිඩ් 19 රෝගය පැතිරීම වහාම අවම කළ යුතු බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරිය එසේ නොවුණහොත් කොවිඩ් භයානක ප්‍රභේද ඇති වීමේ අවදානමක් පවතින බව කොළඹදී අද (06) පැවැති මාධ්‍ය හමුවකදී ඇය අවධාරණය කළා ය.

විද්‍යාත්මක නොවන නොයෙකුත් මිථ්‍යා මත විශ්වාස කරමින් කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් හිතා මතා  ලබා නොගැනීම රෝගීන් වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බව ත් ඒ හේතුව නිසා වසංගතය දිනෙන් දින භයානක තත්ත්වයකට පත්ව තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

නිවෙස් ගත රෝගී සත්කාරක සේවයට ආසාදිතයන් 1 05 098  (එක්ලක්ෂ පන්දහස් අනූ අට) දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු වූ බවත් ඉන් රෝගීන් 1533 දෙනෙකු රෝහල් ගත කළ අතර එය සියයට 1.5 ක් වැනි ප්‍රතිශතයක් බවත් ඇය සඳහන් කළාය.

මේ වන විට රෝගීන් 4674 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන බව  විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය වැඩිදුරටත් අනාවරණය කළාය.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate