කොරෝනා ලෙඩක් නොව, පාඩමක් බව පසක් කළ චීනය

මා චීනයට පැමිණියේ මෙම වසංගතය පැතිරීමට සති කිහිපයකට පෙරය. චීනයේ ඇතැම් පළාත් ජනවාරි මස අග භාගයේදී නව වසර සැමරුව ද කොරෝනාව බොහෝ පළාත්වලට එම අවස්ථාව අහිමි කර තිබුණි. දැනට මා ජීවත්වන ෆූජියැන් (Fujian) පළාත වනාහි කොරෝනා වසංගතය ආරම්භක කාල සීමාවේදී එයින් සාපේක්ෂව පීඩාවක් නොවූ පළාතක් ලෙස හැදින්විය හැකිය. විශේෂයෙන්ම ෂියාමන් (Xiamen) නගරය එයින් බොහෝ දුරට ආරක්ෂිත ස්ථානයක් විය. තත්ත්වය එසේ තිබියදීත් ඔවුන් එම වසංගත තත්වයට මුහුණ දෙන ආකාරය තරමක් පුදුමසහගත විය. බොහෝ විට මා හට ඒ පිළිබඳව සිතුණේ ඔවුන්ට මෙවන් වසංගත තත්වයන්ට මුහුණ දී බොහෝ පළපුරුද්දක් ඇති සෙයකි.

චීන අලුත් අවුරුද්ද සැමරීමට ලැබුණු නිවාඩු දින කිහිපය හැරුණුකොට තවත් මාස එකහමාරක පමණ කාලයක් නිවස තුළට වී සිටීමට බොහෝ දෙනෙකුට සිදු විය. අත්‍යාවශ්‍ය කාරණයක දී හැරුණුකොට පිටතට නොයන ලෙස දැනුම් දී තිබුණි. මාර්ගයේ ගමන් ගන්නා විට මීටරයක් දුරින් ගමන් කළ යුතුය, යන නීතිය ඔවුන් අකුරටම පිලිපැද්දේ ය. මුඛ ආවරණ පැළඳීමට තවකෙකු කියනකම් බලා සිටියේ නැත. තමාගේ ආරක්ෂාව තමාම සලසාගතහොත් අනෙකාගේ ආරක්ෂාව ද එයින් තහවුරු වන බව ඔවුන් දැන සිටියහ.

2020 වසරේ දී ශියාමන් නගරයේ කිසිදු තැනක් වසා දැමීමට සිදු නොවුණි. ෆූජියෑන් පළාත තුළ ද එසේ වන්නට ඇති බව මම සිතමි. එක්තරා දිනක මා නිවසින් පිටතට පැමිණියේ අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිලදී ගැනීමටය. එවිට ජීවිතයේ වරකට පමණක් චීනයේදී දැකිය හැකි දුර්ලභ දසුන් කිහිපයක් දැක බලා ගැනීමට අවස්ථාව මට හිමි විය. මාර්ගයට අවතීර්ණ වූ වහාම කිසිදු වාහනයක් මාර්ගයේ නොමැති අයුරු දැකීමෙන් මම තැති ගතිමි. බොහෝ දුරක් ඇවිද ගිය පසු චීන ජාතිකයෙකු හෝ දෙදෙනෙකු දක්නට ලැබුණි.

වෙනදා අතිශය කාර්ය බහුල වූ කුඩා වීදිවල අද කිසිවකුත් දක්නට නැත. චීනය තුළ මිනිසුන් නොමැති ස්ථානයක් සොයා ගැනීම කෙතරම් අපහසුදැයි එහි ආ ගිය අය හොඳින්ම දන්නා කරුණකි. එවන් තත්වයක් යටතේ මෙයාකාරයේ ජන ශුණ්‍ය පටු වීදි මහාමාර්ග වසා දමා ඇති ගොඩනැගිලි දැකීම වරෙක සිතට බිය උපදවනු ලැබිණ. මෙම නගරයෙහි මා දන්නා හදුනන වෙනත් ලාංකිකයකු නොමැති බැවින් සිංහලෙන් වචනයක් හෝ කතාකොට බිය තුනී කර ගැනීමට කෙනෙකු මා අසල නොවීය.

සියලු කුඩා වීදි වසා දමා තිබූ අතර පෙනෙන නොපෙනෙන දුරින් මහා මාර්ගයේ අයිනට වන්නට රතු පැහැති විශාල ටෙන්ට් යොදා තිබේ. එම ස්ථානය පසු කරන සියල්ලන්ගේ නලල්තලයට හෝ අතට උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ උපකරණය දික්කිරීම නෙවැළැක්විය හැකි කාරණයකි. සියලු මාර්ග ආවරණය වන සේ මෙම රතු පැහැති ටෙන්ට් යොදා සියලු දෙනාගේ උෂ්ණත්වය පරීක්ෂා කරන්නට විය. යම් හෙයකින් ආසාදිත පුද්ගලයෙකු මාර්ගයේ වී නම් ඔහුට හෝ ඇයට බොහෝ දුරක් ගමන් කිරීමට නොහැකි වනවා නියතය. වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන සෑම පියවරක්ම ඒ මොහොතේදීම ගනු ලබයි. වෙළදසැල් හෝ අනෙකුත් ආයතන වසා දමන ලෙස නියම කර නොතිබුනද බොහෝවිට ස්වේච්ඡාවෙන් වසා දමා තිබුණි. යම් හෙයකින් විවෘතව තිබූ එකක් වේ නම් දෑත් පිරිසිදු කිරීමේ දියර(Sanitizer)අත්වල ගැල්වීම, උෂ්ණත්ව පරීක්ෂා කිරීම, එම ස්ථානයට පැමිණෙන පුද්ගලයන්ගේ නම් හා දුරකථන අංක ලියා තැබීම එම කාර්යමණ්ඩලය විසින්ම සිදු කෙරිණ.

වසංගත තත්වය යම්තාක් දුරකට සමනය වුව ද ඔවුන්ගේ එම පරීක්ෂාකාරී කටයුතු නතර නොවුණි. වුහාන්වල වසංගත තත්ත්වය පහව ගොස් බොහෝ කාලයක් යනතෙක් දෑත් පිරිසිදු කරන දියර ගැල්වීම සහ උෂ්ණත්වය පරීක්ෂා කිරීම ඇතුලු සියලු කටයුතු නොකඩවා  කෙරිණ. එහෙත් චීන ජාතිකයෝ කිසි දිනක ඒවා නීති රෙගුලාසි ලෙස නොසැළකූහ. එය හුදෙක් තමාගේ මෙන්ම අනෙකාගේ යහපත උදෙසා වූ බව ඔවූහු දැන සිටියහ. සෑම අයුරින්ම සැලසුම්වලට අනුව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක් ලෙස සැලකිණ.

මුළු චීනයෙන්ම වසංගතය පහව ගියේය. නැතහොත්  ඔවුන් එය පාලනය කළේය. නැවතත් මෙහි ඩෙල්ටා ප්‍රභේදය පැතිර යන බවට රාවයක් විය. මුල් කාලීන කොරෝනා වසංගතය පාලනය වුවද මුඛ ආවරණ පැළදීම හෝ දෑත් පිරිසිදු කරන දියර භාවිතා කර දෑත් සේදීම නොකඩවාම සිදු කෙරිණ.

මා ජීවත්වන මෙම ෂියාමන් නගරයට ඩෙල්ටා ප්‍රභේදයේ අවදානම 2021 සැප්තැම්බර් මස මුල සිට දැනෙන්නට විය. මෙම කාලසීමාව ෂියාමන් නගරයේ නව තනතුරු හා බලතල නව පුද්ගලයන්හට හුවමාරු වන කාලසීමාවකි. යම් හෙයකින් නව පාලකයන් හට තත්ත්වය පාලනය කිරීමට නොහැකි වුවහොත් පත්වූ විගස ම හැරී ගෙදර යාමට ඔවුන්ට සිදුවනවා නොඅනුමානය.

මෙවර ඩෙල්ටා ප්‍රභේදය ෆුජියෑන් පළාත තුළ දරුණු ලෙස ව්‍යාප්ත වීමක් දක්නට ලැබිණ. මේ වනවිට එම තත්වය පාලනය කිරීම පිළිබදව යම් දුරකට ප්‍රායෝගික පෙරහුරුවක් ලබා සිටීයි. ජනතාව පෙර ලෙසම රජය විසින් ලබා දුන් නීති රෙගුලාසීන්ට අනුගතව මනා හික්මීමකින් යුතුව සහයෝගය ලබා දෙන්නට විය. පසුගිය වසරේ දී කිසිදු පී සී ආර් පරීක්ෂණයක් ෂියාමන් නගරය තුළ සිදු නොවූ අතර මෙවර සති එකහමාරක පමණ කාලයක් තූළ පී.සී.ආර් පරීක්ෂාවන් පහකට පමණ යොමු වීමට සිදු විය. බොහෝවිට නිරන්තරයෙන් එළිමහනේ ගැවසෙන පුද්ගලයන්ට පැය 48 කට වරක් එම පරීක්ෂාව කිරීම අනිවාර්ය කෙරිණ. අනෙකුත් මහජනයාට දුරකථනයට ලැබෙන පණිවිඩයෙන් පසුව ඒ සදහා යොමු විය යුතු විය. සියලුදෙනා මේ සදහා සිය කැමැත්තෙන් සහයෝගය ලබා දුන්නා මිස එය ප්‍රතික්ෂේප කිරීමක් පිළිබදව අසන්නට නෙැලැබුණි.

චීනය යනු ලෝකයේ ජනගහනය වැඩිම රට වුවද කිසි විටෙක පී.සී.ආර් පරීක්ෂාවන් සඳහා පෝලිම්වල බොහෝ වේලාවක් රැදී සිටීමට සිදු නොවුණි. කෙතරම් දිගු පෝලිමක් වුව ද මිනිත්තු 15 ක පමණ වේලාවකදී පරීක්ෂණ අවසන් වන තත්ත්වයට පත් කිරීමට කාර්යමණ්ඩලයේ සියලු දෙනා කාර්යක්ෂමව වැඩ කටයුතු කරන්නට විය. එහිදී කිසිදු චීන ජාතිකයෙකුට අව්වෙන් හෝ වැස්සෙන් පීඩාවක් නොවීමට පෝලිම් සහිත ප්‍රදේශ රතු පාට ටෙන්ට්වලින් ආවරණය කර තිබුණි. මෙම වසංගත තත්ත්වය හමුවේ රජය විසින් ජනතාව පීඩාවට පත්වීමට ඉඩ නොතබා සැලසුම් කර තිබූ ආකාරය විටෙක පුදුමසහගතය. සියලුදෙනා මීටරයක දුරින් සිට ඉතා ඉක්මණින් පී.සී.ආර් පරීක්ෂණ සිදු කර නැවත යාමට සියලු අවස්ථා සළසා දී තිබුණි.

සිව්වරක් පී සී ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව ෂියාමන් නගරයේ දෙසිය තිස් ගණනක් ආසාධිතයින් සොයා ගත් අතර සැප්තැම්බර් මස අවසානය වනවිට කිදිදු නව ආසාධිතයෙකු නොමැති තත්ත්වයකට නගරය පත්කර තිබීම සැබෑම ආශ්චර්යයක් ලෙස හැදින්විය හැකිය. මා මෙය ලියන මොහොත වනවිටදීත්  පී සී ආර් පරීක්ෂාව සදහා සියලුදෙනා කැදවා තිබුණි. නව ආසාදිතයින් නොමැති තත්ත්වය තුළත් ඔවුන් වසංගත තත්ත්වය පිළිබදව සැළකිලිමත්ව කටයුතු කරයි.

ලෝකයේ බොහෝ රටවල දුරකථනය නොමැතිව ජීවත් විය හැකිය. එහෙත් චීනය තුළ ඔබ ජීවත් වේ නම් දුරකථනය යනු ඔබය. ඔබ යනු දුරකථනයටය. ඔබගේ උපතේ සිට විපත දක්වා සියලු කටයුතු සදහා එය උපකාරී වෙයි. චීනය තුළ මුදල් භාවිතය අතිශය දුලබය. ඔබගේ මුදල් පසුම්බිය යනු දුරකථනයයි. සියලු මුදල් ගෙවීම් භාණ්ඩ මිල දී ගැනීම්. සේවා සැපයීම් ආදී සියල්ල දුරකථනය මගින් සිදුවෙයි. කොන්ඩෙ බැදපු චීනා දැන් මෙහි නැති බව මා සිතනුයේ තාක්ෂණයට ක්ෂණිකව හුරුවීමේ දී ඔවුන්ට ඇති පුදුම හැකියාව හේතුවෙනි.

වයස අවු 60 හෝ 70 වූ මහලු චීන ජාතිකයන් අත පවා ස්මාර්ට් දුරකථනයක් තිබේ. එම බොහෝ ජේෂ්ඨ පිරිස් එය නිසියාකාරයෙන් භාවිතා කිරීමට දනී. වයස අවු 50 වන විට අපි දැන් නාකියැයි ආකල්ප ඇති ජාතීන් චීන ජාතිකයන්ගෙන් උගත යුතුය. ඔවුන් මහලු යයි කියා ජීවිතය අත නොහැර එය විදින ආකාරය උගත යුතුය. ඔවුන් සෑමවිටදීම නව තාක්ෂණය ඉගෙනගනියි.

 

වසංගතය දරුණු ලෙස පැතිර යන කාලසීමාවේදී ස්මාට් දුරකථනයට QR කේතයක් ලැබෙයි. එහි තමන්ගේ නම හැදුනුම්පත් අංකය ඇතුළත් වෙයි. සියලු දෙනාටම ලැබෙන QR සළකුණ එක සමාන නොවෙයි. වසංගත අවදානම තිබූ මුල් කාලයේදී කොළ පැහැති QR සළකුණ ලැබුණු අයට නිවසින් පිටතට යාමට අවසර ලැබුණි. එහෙත් යම් හෙයකින් කහ පැහැති QR සළකුණ ලැබුණහොත් නිවසින් පිටතට යාමේ අවකාශය අහිමි වෙයි. යම් ආකාරයෙකින් QR සළකුණ නොමැති වුවහොත් එය පාරේ තැන තැන සිට පරීක්ෂා කරන්නන්ට ඉදිරිපත් නොකළහොත් එම ස්ථානයෙන් ඉදිරියට එම පුද්ගලයාට ගමන් කළ නොහැකිය.

මෙම වසංගත තත්ත්වය ආරම්භවූ සමයේ සිට මේ වනතෙක් මම චීනයේ ජීවත් වෙමි. එහෙත් කිසිදු දිනක කොරෝනා හෝ අන් යමක් පිළිබද අනියත බියක් මා තුළ කිසි දිනක නොවුණි. ඊට ප්‍රධානම හේතූන් දෙකක පළමු සහ වැදගත්ම දෙය වනාහී විනයයි. විනයෙන් තොරව චීනය කිසිවක් ජය නොගන්නා බව මට නිරන්තරයෙන් හැගෙයි. එන්නත්කරණය ආරම්භ කිරීමට පෙර සිටම ඔවුන් වසංගතය පාලනය කළේය.මේ වනවිට චීනය තුළ දෙවන එන්නත ද ලබා දීම අවසන් කර තිබේ.

වසංගතය පාලනය කිරීමට චීන රජය විසින් යොදා ගත් සැලසුම්කරණය මා දුටු අනෙක් විශේෂ ලක්ෂණයයි. කිසියම් අනතුරුදායක තත්ත්වයක් ඇතිවූ විගස ඔවුන් වහ වහා ඒ පිළිබද පියවර ගනීයි. සියලුදෙනා එකම නීතියක් යටතේ ආරක්ෂා කිරීමට එම පළාත් රජයන් කටයුතු කරයි. එහිදී කිසිදු පුද්ගලයෙකුට අවහිරතාවක් අපහසුතාවක් නොදැනීමට ඔවුන් කටයුතු කරන අයුරු පුදුම සහගත වනුයේ මෙහි වෙසෙන්නා වූ ජනගහනයට සාපේක්ෂවය. මෙතරම් ජනගහනයක් පාලනය කිරීම සුළු පටු නොවූව ද චීනයේ එය අති සාර්ථක ලෙස සිදුවෙමින් ඇත.

වසංගතයක් යනු පෙනි පෙනී ඇවිදන් ඉදිරියට එන්නක් නොවේ. රජයකට තනිව එය පාලනය කළ නොහැක. ජනතාවට ද තනි තනිව එයට මුහුණ දිය නොහැක. මෙම ද්විත්වයම සංකලනය වී සහයෝගය ලබා දුන් විට වසංගතයට කළ හැක්කේ යමක්ද? කොරෝනා යනු ලෙඩක් නොව පාඩමක් ලෙස මම දකිමි. එහෙත් එය අප අතරින් කීයෙන් කීදෙනෙකු කියවා තේරුම් ගෙන ඇත්දැයි යන්න ප්‍රශ්නාර්ථයකි.

 

සබරගමුව විශ්ව විද්‍යාලයේ චීන භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරිනියක වන

යෂ් පතිරණ

චීනයේ ෆූජියැන් පළාතේ ශියාමන්  නගරයේ සිට

 

Editor Health and Life

Related post

1 Comment

  • Supperb…

Leave a Reply

Your email address will not be published.

Translate