කොරෝනා සමග හිස ඔසවන ඩෙංගු

වෛද්‍ය නිලුදි යසරත්න

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමග යළිත් වරක් ඩෙංගු රෝගය රටපුරා ව්‍යප්ත වෙමින් පවතී. ජාතික ඩෙංගු මර්දන ඒකකය වෛද්‍ය පරීක්ෂණ ආයතනය සමග ජනවාරි මාසයේ සිට කරන ලද සමීක්ෂණයක් මගින් ඩෙංගු වෛරස් කාණ්ඩ 04 ම දිවයින පුරා සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගියදා අනාවරණය කළේ ය. එමෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩි වී තිබෙන බව ද හෙළි වී ඇත.

කොරෝනා වසංගත තත්ත්වය නිසා ඩෙංගු රෝගීන් රෝහල් වෙත පැමිණීමට මැලිකමක් දක්වයි. ඒ නිසා ඩෙංගු රෝගීන් රෝහල්ගත වීම ප්‍රමාද වීම හේතුවෙන් බරපතල සංකූලතා ඇති වීමේ ඉඩ පවතී.

නොවැම්බර් මස 04 වෙනි දින වන විට මෙරට ඩෙංගු යැයි සැක කරන රෝගීන් 22 ,902 ක් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් 2979 දෙනෙකු පසුගිය ඔක්තෝබර් මාසයේදී වාර්තා වී තිබේ. නොවැම්බර් මාසයේ ගත වූ මුල් දින 04 තුළ පමණක් ඩෙංගු රෝගීන් 505 දෙනෙකු වාර්තා වී අතැයි ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මේ හේතුවෙන් මෙය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වැළක්වා ගැනීම සඳහා පසුගිය 08 දා සිට 13 දා දක්වා බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තෝරා ගත් අධි අවදානම් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 59 ක් තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඩෙංගු මර්දන ඒකකය සැලසුම් කර තිබිණි.

සාමාන්‍යයෙන්  ඩෙංගු රෝගය වෛරස් කාණඩ 04 ක් යටතේ ව්‍යාප්ත වන රෝගී තත්ත්වයකි. 1,2,3 හා 4 යනුවෙන් එම වෛරස් කාණ්ඩ හැඳින්වේ. 01 වෙනි කාණ්ඩයේ වෛරසය යම් කෙනෙකුට ශරීර ගත වූ පසුව එම වෛරසය මැඩපැවැත්වීම සඳහා ශරීරය තුළ ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිදේහ නිපද වේ. මේ අනුව එම පුද්ගලයාගේ ශරීරයට නැවත වරක් 01 වන කාණ්ඩයේ ඩෙංගු වෛරසය ඇතුළු වුවහොත් එය මැඩ පැවැත්වීමේ ශක්තිය ශරීරය තුළ පවතී. එහෙත් 02,03 හෝ 04 කාණ්ඩවල වෛරස ශරීර ගත වුවහොත් එය මැඩපැවැත්වීමේ හැකියාව අඩුය. මෙහි ප්‍රතිඵලය වන්නේ එම පුද්ගලයා රෝගයට ගොදුරු වීමයි.

මේ වසරේදී වෛරස් කාණ්ඩ 04 ම රටපුරා සංසරණය වන බව සෞඛ්‍යය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය පසුගියදා අනාවරණය කළේ ය. එම නිසා ඩෙංගු රෝගයෙන් මිදීමට අපි කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ  වෛද්‍ය නිලුදි යසරත්න මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු.

ඩෙංගු යනු කුමක් ද ?

ඩෙංගු රෝගය යනු වෛරස් මගින් අසාදනය වන රෝගී තත්වයකි. මෙම රෝගය බෝ කරන්නේ එකිනෙකට බෙහෙවින් සමාන වු වෛරස කාණ්ඩ 4ක් (DEN 1, DEN 2, DEN 3, DEN 4 ) මගිනි.එහෙත් එක් එක් වෛරසය මගින් වෙන් වෙන් වශයෙන් රෝගය බෝ කළ හැකි රෝග කාරකයන් වශයෙන් ක්‍රියා කළ හැකිය. මෙම වෛරසය පුද්ගලයන්ට පතුරනු ලබන්නේ ඊඩිස් වර්ගයට අයත් අසාදිත ගැහැණු මදුරුවන් විසිනි ඩෙංගු රෝගයේ බීජෞෂණ කාලය (වෛරසය ශරීර ගතවූ දින සිට රෝග ලක්ෂණ පෙන්නුම් කරන දින තෙක් කාලය ) දින 3 සිට දින 14 දක්වා වේ.

 රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වශයෙන් රෝගය ප්‍රධාන කාණ්ඩ දෙකකින් යුක්තවේ.
සාමාන්‍ය ඩෙංගු උණ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ තද උණ, තද හිසරදය, ඇස්වල වේදනාව, අස්ථි වල හා පේශිවල වේදනාව, හන්දි කැක්කුම, ඔක්කාරය, වමනය, ශරීරයේ පලු මතුවීම, සුළු ලේ ගැලීමේ තත්වයන් (විදුරුමසින්, නාසයෙන්)

ඩෙංගු රක්තපාත උණ යනු? සාමාන්‍ය ඩෙංගු රෝගයට වඩා දරුණු රෝග තත්වයකි. මෙහිදී දින 2-7 අතර කාලයක් උණ පැවතිය හැකිය. සාමාන්‍ය රෝග ලක්ෂණවලට අමතරව මෙම රෝගීන් තුළ තද බඩේ කැක්කුම, නොකඩවා පවතින වමනය හා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැකිය. මෙහිදී අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවේ. මීට හේතුව කුඩා රුධිර වාහිනී බිත්ති තුළ සිදුවෙන යම් වෙනස්කම් හේතුවෙන් රුධිරය රෝගීන්ගේ උරස් හා උදර කුහරය තුළට කාන්දු වීමයි. මෙම තත්වය බොහෝවිට පැය 24 – 48 ත් අතර කාලයකදී සිදුවේ. මෙය“ඩෙංගු වදානම් අවදිය” වශයෙන් හඳුන්වයි. මෙලෙස රුධිරය කාන්දු වීම නිසා ලේ ගමනා ගමන පද්ධතියේ තිබෙන රුධිරය ප්‍රමාණයේ අඩුවීමක් හා රුධිරය ඝන වීමක් සිදුවිය හැකිය. එහිදී මොළය, වකුගඩු, අක්මාව වැනි අත්‍යාවශ්‍ය ඉන්ද්‍රියන්වලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රුධිර සංසරණය අඩපණ වී රෝගියා කම්පන තත්වයට/ සිහි මද තත්වයට පත්විය හැකිය. මෙම බරපතල අවස්ථාවට පත්වීමට පෙර හඳුනා ගෙන ප්‍රතිකාර කළහොත් රෝගියා මරණයට පත්වීමෙන් වළක්වා ගත හැකිය.

 ප්‍රතිකාර මොනවාද?

ඩෙංගු රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර නැති නමුත් රෝග තත්වය නිසි අවස්ථාවේදී හඳුනාගත හොත් අවශ්‍ය සත්කාර කිරීම මගින් රෝගයේ සංකුලතා අවම කර ගත හැකිය. ඩෙංගු රෝගය බවට සැක කටයුතු අවස්ථාවක උණ හා වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් නියමිත මාත්‍රාවෙන් ලබා දිය හැක. නමුත් අනෙකුත් වේදනා නාශක ඖෂධ කිසිම අයුරකින් නොගත යුතු ය.

උණ තිබේ නම්, සාමාන්‍ය වතුරෙන් ඇග තෙමා පාලනය කළ හැක. පැරසිටොමෝල්(Paracetamol) නියමිත මාත්‍රාව පැය 6 කට වරක් ලබාගත හැක. (දරුවන් සදහා නියමිත මාත්‍රාව බර අනුව ලබා දෙන්න /වැඩිහිටියන්ට ග්රෑ්ම් 1). රෝගියාට විවේකය ලබා දීම වැදගත් වේ. අධික ලෙස මහන්සිවීම, බරවැඩ කිරීම සුදුසු නොවේ. උණට ලබාදෙන අනෙකුත් බෙහෙත් වර්ග මගින් ඔබගේ රුධිරයේ වෙනස්කම් සිදුවිය හැකි නිසා ඒවා භාවිත නොකළ යුතුය. (වීශේෂයෙන් තද උණට ලබා දෙන බෙහෙත්) උදාහරණයක් ලෙස Diclofinac/ Ibuprofen/Mefenamic Acid – Tablets / Syrups වැනි ඖෂධ.

නිතරම දියර වර්ග පානය කරන්න. (ජලයට අමතරව කිරි,පලතුරු යුෂ, දොඩම් යුෂ, ජීවනී ,කැඳ, තැඹිලි ,සුප් මේ සදහා සුදුසුය.) විශේෂයෙන් රතු හෝ දුඹුරු පැහැති දියර වර්ග පානය කිරීමෙන් වළකින්න. මෙයට හේතුව ඔබට රුධිරය සහිත වමනය තත්වයක් ඇති වුවහොත් හඳුනා ගැනීමට අපහසු වන බැවිනි. ( රතු පැහැ පැණි බීම,කෝපි). සුපුරුදු ඝන අහාර ආහාරයට ගත හැකිනම් ලබා ගන්න. මෙහිදී ද රතු හෝ දුඹුරු පැහැති අහාර වර්ග කෑමට නොගන්න( චොකලට් වැනි දේ). මුත්‍රා පිටවන වාර ගණන ගැන සැලකිලිමත් විය යුතුය. රෝගියාට මුත්‍රා පිටවන වාර ගණන අඩුනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය  වේ. උණ දින 2 කට වඩා පවතින්නේ නම් 3 වන දිනයේ රුධිර පරීක්ෂාවක් කරගන්න.

පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිනම් රුධිර පරීක්ෂාවක් නොකළද, වහාම රෝගියා රෝහලකට රැගෙන යා යුතුය.

• දියර පානය කිරීමට නොහැකි වීම (නිතර වමනය කිරීම)
• ආහාරපාන ප්‍රතික්ෂේප කිරීම
• අධික පිපාසය
• මුත්‍රා පිටවන වාර ගණන අඩුවීම ( පැය 6 කට වඩා වැඩි කාලයක් තුළ මුත්‍රා පිට නොවීම)
• අධික බඩේ කැක්කුම
• නිදිමත ගතිය
• හැසිරීමේ වෙනස්කම් ඇතිවීම
• රතු /කළු/දුඹුරු පැහැයට වමනය යාම
• කළු පැහැයට මලපහ පිටවීම
• රුධිර වහනය ( විදුරුමසින් රුධිර වහනය, මුත්‍රා රතු පැහැයට පිටවීම)
• කරකැවිල්ල
• සුදුමැලි වීම
• අතපය සීතල වීම

ඩෙංගු වලක්වා ගැනීම

ඔබ අවට පරිසරය මදුරුවන් බෝ විය හැකි ස්ථානවලින් තොරව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ඔබගේ සීමාවෙන් පිටත මදුරුවන් බෝවිය හැකි /බෝවන ස්ථාන පිළිබඳ පැමිණිලි කිරීමට ප්‍රථම එම ස්ථානයේ හිමිකරු හෝ වගකිවයුතු පුද්ගලයන් සමග සාකච්ඡා කර සමථයකට පත් කරගැනීම ඉතා වැදගත් වේ. එහිදී සතුටුදායක ප්‍රතිඵල නොමැති නම් ඔබගේ ප්‍රදේශය අයත් වන මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා සහ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ඇතුළුව අදාළ නගර සභාව /ප්‍රාදේශීය සභාවට දැනුම්දීම පළමුව සිදු කළ යුතුය.

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate