කොවිඩ් ආසාදිතයන්ට උපදෙස් ලබා දෙන අලුත්ම ඇප් (App) එක

යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ පසු ඔහුට මතු වන මූලික සෞඛ්‍ය ගැටලුවලට උපදෙස් ලබා දීම සඳහා කැලණිය විශ්ව විද්‍යාලයේ  පර්යේෂණ කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක් ව Covid Triage Application නමින් ස්වයං අගැයුම් යෙදවුමක්(Automated Self Assessment Application) නිර්මාණය කර ඇත. මෙම ස්වයං අගැයුම් යෙදවුමෙහි

මහාචාර්ය කුමාර මෙන්ඩිස්

^Automated Covid 19 Assessment Application&කොවිඩ් – 19 වෛරසය ආසාදිතයෙකු ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධ මාර්ගෝපදේශ ඇතුළත් ය. Covitriage SL යනුවෙන් හඳුන්වන මෙම යෙදවුම (APP) මඟින් කොවිඩ් – 19 වෛරසය ආසාදිත ඕනෑ ම රෝගියෙකුට ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා ගත හැකි ය. මෙම යෙදවුම (APP) නිර්මාණය කිරීම සඳහා කැලණිය විශ්වවිද්යාිලයේ පර්යේෂණ කණ්ඩායමට පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණවේදීන්ගේ ස්වේච්ඡා දායකත්වය ද ලබා දී ඇත.

CoviTriage SL නව යෙදවුම (APP) නිර්මාණය කිරීමේ දී පුරෝගාමී මෙහෙවරක් සිදුකරන ලද කැළණිය විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය පීඨයේ පවුල් සෞඛ්‍ය අධ්‍යයන අංශයේ විනේතෘ මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා සමඟ  කළ සාකච්ඡාව ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

අරමුණ කුමක්ද?

මෙම යෙදවුම (APP) නිර්මාණය කිරීම සදහා හේතු කිහිපයක් බලපෑවා. දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව වැඩි වීම, වැඩිවන ආසාදිතයින්ගේ සංඛ්‍යාවට සරිලන ලෙස රෝහල්වල ඇඳන් පහසුකම් ප්‍රමාණවත් නොවීම වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් ආසාදිත තත්වයන්ට මුහුණ දීම නිසා සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයකය මුහුණ පා සිටීම වැනි ගැටලුවලට විසඳුම් සෙවීම මෙම නිර්මාණයේ එක් අරමුණක්. දැනට අපේ රටේ රෝහල් පද්ධතිය තුළ කොවිඩ් වෛරස අසාදිත රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති සෞඛ්‍ය පහසුකම් අවශ්‍යම රෝගියෙකුට ලබාදීමට කටයුතු කිරීමට අවශ්‍ය මග පෙන්වීම මෙම යෙදවුම මගින් සිදු කෙරෙනවා. රෝගියාගේ ආරක්ෂාව  (Patient’s Safety) සැපයීම මෙම යෙදවුම (APP) නිර්මාණය කිරීමේ මූලික අරමුණක්.

වර්තමානය වන විට කොවිඩ් වෛරසය ආසාදනය වන රෝගීන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දීමේ දී ගැටලුවලට මුහුණදීමට සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම අඩු සෞඛ්‍ය සේවා නිලධාරීන් ප්‍රමාණයක් යටතේ කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසකට ප්‍රතිකාර කිරීමට සිදු වී තිබෙනවා. කොවිඩ් වෛරස් ආසාදිතයින් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දීමට සිදු වී තිබෙන්නේත් සෞඛ්‍ය සේවා සපයන අයටමයි. මේ වගේ ගැටලුකාරී තත්ත්වයට පිළියමක් වශයෙන් සහ අසාදිතයාට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සැපයීමේ අරමුණ ද CoviTriage SL නව යෙදවුම (APP) නිර්මාණයට හේතු වුණා.

කොවිඩ් වෛරසය ආසාදනය වූ පසු රෝගියා නිවසේ රැඳී සිටිය යුතු ද රෝහල් ගත විය යුතු ද යන මූලික ගැටලු සඳහා මිනිත්තු දෙකක් වැනි ඉතා කෙටි කාලයක දී නිවැරදි මාර්ගෝපදේශ ලබා දීම මෙම යෙදවුම (APP) මගින් සිදු කෙරෙනවා. කොවිඩ් වෛරසය ආසාදිතයාගේ රෝගී තත්ත්වයන්ට අනුකූල වන ආකාරයෙන් විශේෂඥ වෛද්‍යවරු විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමිනුයි යෙදවුම (APP) ඔස්සේ මෙම උපදෙස් ලබා දෙන්නේ. ඒ ඒ ආසාදිතයාගේ රෝගී තත්ත්වයන්ට උචිත ආකාරයෙන් විශේෂඥ වෛද්‍යවරුන්  විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ පරිගණක මගින් රෝගීන්ට ලබා දීම මෙම යෙදවුම මගින් සිදු කරනවා. සිංහල, දෙමල, ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම මෙම යෙදවුම(APP) ක්‍රියාත්මක වීම ද විශේෂත්වයක්.

රට පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාත්මකය ඉහළ යමින් පවතින මොහොතක සෞඛ්‍ය කාර්යාංශ වඩාත් කාර්යබහුල වීම නිසා තොරතුරු සන්නිවේදනය මාර්ගවල පැනනැඟී ඇති බාධකවලට විකල්පයක් වශයෙන් මෙම නව යෙදවුම (APP) හඳුන්වා දෙන්න පුළුුවන්. මෙම යෙදවුම (APP) භාවිතයට ආසාදිතයින් යොමු කිරීම මගින් අනවශ්‍ය ලෙස කොවිඩ් වෛරස් ආසාදිතයින්ගෙන් රෝහල් පිරීයාමේ ගැටලුවට විසඳුමක් ලබා දීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම කොවිඩ් වෛරසය ආසාදිතයෙකු ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් සැපයීම මෙම යෙදවුම මගින් සිදු කරනවා.

භාවිත කරන්නේ කෙසේද ?

මෙම යෙදවුම භාවිත කිරීමට මුදල් වැයවෙන්නේ නෑ. මෙම යෙදවුම පරිගණකයක්, ටැබ් එකක් වගේ වෙබ් බේස් එකක් පවතින ඕනෑම උපාංගයක් මගින් ද භාවිත කරන්න පුළුවන්. ස්මාර්ට් ජංගම දුරකතනයට බාගත (Download) කළ හැකි යෙදවුමක් ලෙස ද මෙය ඉදිරියේ දී නිර්මාණය කරනවා.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලය(Sri Lanka college of Pediatricians ) ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදය විද්‍යාලය (Sri Lanka college of Obstetricians and Gynecologists) යන විශේෂඥ වෛද්‍ය විද්‍යාලවලට විශේෂඥ සංගම්වල අදහස්, මතවාද සහ මාර්ගෝපදේශයන් ද මෙම යෙදවුම  සකස් කිරීමේ දී භාවිතයට ගත්තා.

ඒ වගේම Primary Care Physicians of Sri Lanka යන සංගමයේ ද සහාය ඇතිව මේ සියලු වෘත්තීයවේදීන් ඉදිරිපත් කළ නවතම කෝවිඩ් 19 මාර්ගෝපදේශ අනුව තමයි මේ යෙදවුම  නිර්මාණය කළේ. මෙම යෙදවුම  හා සම්බන්ධ දත්ත පද්ධතිය කෙතරම් නිවැරදි ද කෙතරම් විද්‍යාත්මක ද යන්න මේ මගින් පැහැදිලි වෙනවා.

  ප්‍රයෝජනය කුමක්ද ?

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගම් පවසන පරිදි වයස අවුරුදු දෙකට අඩු ඕනෑම ළදරුවෙක්ට කෝවිඩ් වෛරසය ආසාදනය වුණොත් ඒ ළමයා අනිවාර්යෙන්ම රෝහල්ගත කළ යුතුයි. නිවසේ රදවා තබා ගන්න බෑ. ඒ වගේම තමයි ගර්භිණී කාලය සති 24ට අඩුව පවතින සමයේ දී කොවිඩ් වෛරසය ආසාදිත වූ ගර්භිණී මවකට විශේෂිත රෝග ලක්ෂණයක් නැත්නම් ඇයට ගෙදර ඉන්න පුළුවන්. නමුත් හුස්ම ගැනීමේ අපහසුතාවක්, මුත්‍රා යාමේ අඩුකමක් හෝ කකුල් ඉදමීම වගේ ලක්ෂණ තිබුණොත් වහාම රෝහල්ගත විය යුතුයි. ඒ වගේම සති 24 වැඩි ගර්භිණී කාලයක් සහිත මවකට කොවිඩ් වෛරසය ආසාදිත වූ පසු ඇයට කිසිම කොවිඩ් රෝග ලක්ෂණයක් නොමැති වුණත් ඇය අනිවාර්යයෙන්ම රෝහල් ගත විය යුතුයි. මේ ආකාරයට සෞඛ්‍ය අමාත්‍යංශය  හා විශේෂඥ වෛද්‍ය සංගම්වල මතයන්ට අනුව මෙම යෙදවුම සඳහා මාර්ගෝපදේශ ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම මෙම යෙදවුමේ  මාර්ගෝපදේශයන් විශේෂඥ වෛද්‍ය සංගම් මගින් ලබා දෙන මාර්ගෝපදේශ අනුව නැවත නැවත යාවත්කාලීන කරන්න පුළුවන් විදියට තමයි නිර්මාණය කරල තියෙන්නේ.

 

මෙම ස්වයං ඇගයුම් යෙදවුම (Automated Self Assessment Application) භාවිත කිරීමේ දී මම මුලින් සඳහන් කළා වගේ කොවිඩ් වෛරසය ආසාදිතයාගේ  ජංගම දූරකථන අංකය, ජාතික හඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ඔහුට යෙදවුම  සඳහා ප්‍රෙව්ශ වෙන්න පුළුවන්. කුඩා දරුවෙක් නම් යෙදවුමට  ප්‍රවේශ වන භාරකරුවා දරුවා තම පවුලේ කීවෙනි දරුවාද යන්න සඳහන් කරන්න අවශ්‍යයි. ඊළඟට ආසාදිතයාට තමන්ගේ කෝවිඩ් රෝගී තත්ත්වයේ ස්වභාවය ලකුණු කරන්න පුළුවන්. එම රෝග ලක්ෂ‍ණ අනුව ආසාදිතයා වෙත සැපයෙන මාර්ගෝපදේශ මගින් නිර්දේශ තුනක් ඉදිරිපත් කෙරෙනවා.

රෝගී තත්වය ගැන නිර්දේශ තුනක්

01) කොවිඩ් 19 පොසිටිව් වී ඇත. ඔබ වහාම රෝහල්ගත වන්න.

මෙහි දී රෝහල් ගත වීම සඳහා අවශ්‍ය වන සුවසැරිය ගිලන් රථ සේවා සම්බන්ධ කරගනීමට දුරකථන අංක ද ඇතුළත් කරලා තියෙනවා.

02) ඔබ මේ තත්ත්වය යටතේ වෛද්‍යවරයෙක්ට කතා කරන්න.

මෙහිදී ඊට අවශ්‍ය වන සෞඛ්‍ය අමාත්‍යංශයේ   අනුමැතිය ලබාදුන් වෛද්‍යවරු දෙදෙනකුගේ දුරකථන අංක ඇතුළත් කරලා තියෙනවා.

03) දැනට ඔබට නිවසේ සිටිය හැකියි.

මෙහි දී ද ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතු ආකාරය, ආහාරපාන ලබා ගත යුතු ආකාරය ආදිය සියලු උපදෙස් අඩංගු කරලා තියෙනවා. ඒ වගේම තමයි දෛනිකව මෙම යෙදවුම හරහා ඔබගේ රෝග ලක්ෂණ වෙනස් වීම අනුව අදාළ අවස්ථාවේ කළ යුතු දේ සම්බන්ධව හොඳම මාර්ගෝපදේශයක් ලැබෙනවා.

උදාහරණයක් විදිහට යම් ආසාදිතයෙක් තමන් වයස අවුරුදු 55 ක් පමණ වන අධික රුධිර පීඩනය ඇති, දුම්පානය කරන්නෙක් බවට මෙම යෙදවුම  තුළට තොරතුරු ඇතුළත් කළොත් ඔහුට “ නිවසේ රැඳී සිටිය හැකියි ”යන නිර්දේශය මුලින්ම ලැබෙන්න පුළුවන්. නමුත් දිනක් ගත වීමෙන් පසුව හුස්ම ගැනීමේ අපහසුතා, පපුවේ අමාරුව ආදී රෝග ලක්ෂණ ඇති බවට තොරතුරු මෙම යෙදවුමට  ඇතුළත් කළොත් “ඔබ වහාම රෝහලකට ඇතුල් වන්න” යන නිර්දේශය ලැබෙනවා. ඒ මෙම යෙදවුමේ  ප්‍රායෝගික භාවිතය හා එහි ස්වභාවයයි. විශේෂම කාරණය තමයි සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මේ යෙදවුම  භාවිතා කළ හැකි වීම. මේ විශේෂිත හේතු සාධක නිසා කොවිඩ් වෛරසය ආසාදිත වූවන් වෛද්‍ය විධ්‍යාත්මක  තොරතුරු නිවැරදිව ලබා ගැනීම පිණිස CoviTriageSL යෙදවුම  භාවිත කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

සංවාද සටහන –

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය, කැලණිය විශ්වවිද්‍යාලය

 

 

Editor Health and Life

Related post

2 Comments

  • Great and most valuable information…. thanks

    • most welcome

Leave a Reply

Your email address will not be published.

Translate