කොවිඩ් ආසාදිතයින් ඖෂධ ගත යුත්තේ මෙහෙමයි.

වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනෙකුට ඖෂධ භාවිතය සම්බන්ධයෙන් ගැටලු රාශියක් මතු වී තිබේ. එම ගැටලු දෙආකාරයකින් බලපෑමක් එල්ල කරයි. එනම්, කොවිඩ් 19 වසංගතය සදහා භාවිත කළ හැකි ඖෂධ මොනවාද? සහ කොවිඩ් 19 වසංගතය හමුවේ ඔබට ඇති අනෙකුත් රෝග සදහා ඖෂධ ලබා ගත යුත්තේ කෙසේ ද? යන්න යි.

විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති

මෙම කාරණා දෙක සම්බන්ධයෙන් ඉතාමත් නිවැරදි පැහැදිලි කිරීමක් අවශ්‍යය. අපි ඒ පිළිබද සාකච්ඡා කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ  ඖෂධ විද්‍යාව පිළිබද මහාචාර්ය, කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු.

දැනට ලැබී ඇති දත්ත අනුව කොවිඩ් 19 රෝගය මර්දනය කිරීම සදහා භාවිත කළ හැකි ඖෂධ වර්ග රාශියක් පිළිබදව පර්යේෂණ කරමින් පවතී. නමුත් කොවිඩ් 19 වෛරසය මර්දනය සදහා මෙතෙක් ඖෂධයක් සොයා ගෙන නැත. කොවිඩ් 19 වෛරසය වැළැක්වීම සදහා ඉතා කාර්යක්ෂම හා සුරක්ෂිත එන්නත් වර්ග කිහිපයක් ලෝකයේ සහ අප රට තුළ භාවිත කරයි. එයින් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම මෙන්ම කොවිඩ් 19 වෛරසය මගින් ඇතිවන සංකූලතාවලින් මරණයට පත්වීම අවම කර ගැනීම සදහා මෙතෙක් සොයා ගෙන ඇති සාර්ථකම ක්‍රමවේදය මෙම එන්නත්කරණයයි. එම එන්නත්වලින් ඔබට ලබා ගත හැකි කුමන හෝ එන්නත් වර්ගයක් මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතා වැදගත් වේ. මෙම එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්ත ද ඔබ සම්පූර්ණයෙන් සුරක්ෂිත නොවන බව මතක තබා ගත යුතුය. එම නිසා අනෙකුත් සෞඛ්‍යාරක්ෂ ක්‍රමවේද අනුගමනය කිරීමට අමතක නොකළ යුතුය.

ප්‍රතිශක්තිය වර්ධනයට

බටහිර වෛද්‍ය විද්‍යාවට  අනුව සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී ලබා දෙන ඖෂධ කිහිපයක් පවතී. පවතින දත්තවලට අනුව රෝගීන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයට උපකාරී වේයැයි අනුමාන කරන ඖෂධ ලෙස විටමින් ඩී, විටමින් සී හා Zinc වැනි මූල ද්‍රව්‍යවලින් ප්‍රතිශක්තිකරණය වැඩි වෙතැයි අනුමාන කළ හැකිය.
විටමින් ගත යුතු නියම මාත්‍රාවන්ගෙන් ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇති නොවන අතරම මේවා සාමාන්‍ය පුද්ගලයින් ද ඖෂධහලකින් ලබා ගෙන භාවිත කිරීම ගැටුළුවක් ඇති නොවේ. මේ දිනවල සමාජ මාධ්‍ය හරහා මිළ අධික ඖෂධ වර්ග කිහිපයක් කොවිඩ් රෝගය සදහා සුදුසු බවට ප්‍රචාරය වෙමින් පවතී. එවැනි ව්‍යාජ ප්‍රචාරයන්ට හසු නොවන්න.

කොව්ඩ් 19 රෝගයේ මතුවන රෝග ලක්ෂණයක් වන උණ අඩු කිරීමට මෙන්ම වේදනා නාශකයක් ලෙස පැරසිටමෝල් නියම කළ හැකිය. වැදගත්ම කාරණය එය නියමිත මාත්‍රාෙවන් ගැනීමය. වැඩිහිටියන් සදහා පැරසිටමෝල් පෙති දෙක බැගින් දිනකට තුන් වරක් ලබා ගත යුතුය. පැය හයකට පෙර නැවත ගැනීමෙන් වළකින්න.

දරුවන්ට ඖෂධ දීමේදී

දරුවන්ට පැරසිටමෝල් දීමේදී දරුවාගේ බර කිලෝග්රෑමයකට මිලිග්රෑම් 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් එනම්, දරුවාගේ බර කිලෝග්රෑම් 10 ක් නම්, පැරසිටමෝල් මිලිග්රෑම් 100 ත් 150 ත් අතර ලබා දීම සුදුසුය. දරුවන් සදහා පැරසිටමෝල් සිරප් වශයෙන් පවතින අතර කිලෝ ග්රෑම් 10 ක් පමණ බර දරුවෙකුට තේ හැදි 1ක  (125mg) වරකට ප්‍රමාණවත්ය. උණ අඩු කිරීමට හෝ ඇග – පත වේදනාවට පැරසිටමෝල්වලට අමතරව කිසිදු ඖෂධයක් නොගත යුතුය.

හිතුමතේ ගන්න එපා.

ඉබ්යුප්රෝගෆන් (Ibuprofen) , ඩයික්ලොෆෙනැක්, (Diclofenac) මෙෆනමික් ඇසිඩ් (Mefenemic Acid) වැනි ඖෂධ නිසා ආමාශයේ ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් හා රුධිරවහනයක් ඇති වීමට ඉඩ කඩ පවතී. එම නිසා එම ඖෂධ ගැනීම නොකළ යුතුය. කොවිඩ් ආසාධනය වූ විට නාසයෙන් සොටු දියර ගැලීම, උගුර කැසීම වැනි රෝග ලක්ෂණ සදහා ඇන්ටිහිස්ටමින් (Antihistamin) වර්ගයේ ඖෂධ ලොරැසිඩීන් (Loracidine) ,ෆ්ලෙක්සෝපෙනඩීන් Fexoseadine ,ක්ලෝකෙනරමින් (Clochenaramine) වැනි ඖෂධ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ඇතිව ගත හැකිය.

කොවිඩ් 19 රෝගියේදී නියුමෝනියා තත්ත්වයක් ඇති වූ විට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ලැබේ. මෙසේ ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්නේ පෙනහළුවලට දෙවනුව ඇති වන බැක්ටීරියා ආසාදනය පාලනය කිරීමටයි. ඇසිත්‍රොමයිසින් (Azithromycin) ඖෂධය කොවිඩ් 19 රෝගය මර්දනය කිරීමට උපකාරී වන බවට මතයක් පැවැතුණි. නමුත් එය කොවිඩ් 19 සදහා භාවිත කරන ඖෂධයක් නොවේ. එය දෙවනුව බැක්ටීරියා ආසාදිත නියුමෝනියා තත්ත්වයට පැමිණි අවස්ථාවකදී පමණක් භාවිත කරන ප්‍රතිජීවක ඖෂධයකි. අනවශ්‍ය පරදි කොවිඩ් 19 රෝගයේ මුල් අවධියේදී ප්‍රතිජීවක ඖෂධ දීම අනුමත කළ නොහැකියි. එමගින් ප්‍රතිජීවක ඖෂධවල ප්‍රතිරෝධයක් ඇති විය හැකියි. එයින් විශාල ගැටුළු ඇති වන්නට ද පුළුවන. ප්‍රතිජීවක ඖෂධ දිය යුත්තේ ,බැක්ටීරියා මගින් ඇතිවන නියුමෝනියා තත්ත්වයකදී පමණි. නිවසේදී අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් වළකින්න. එමගින් නොයෙක් අතුරු ආබාධ ද ඇතිවිය හැකිය.

ප්‍රතිශක්තිය හීන වන ඖෂධ

ඩෙක්සොමෙතසෝන් (Dexamethasone) වැනි ස්ටී‍රොයිඩ (Steroid) කාණ්ඩයේ ඖෂධ කොවිඩ් නියුමෝනියාව සමග ඇතිවන ඉතා විශාල ලෙස ස්‍රාවය වන සයිටොකයින නැමැති අනුක ද්‍රව්‍ය පාලනය සදහා භාවිත කළ හැකි බව දැනට සොයා ගෙන ඇත. මෙය කිසිම විටෙකදී නිවසේදී භාවිත නොකළ යුතුය. එයින් ශරීයේ ප්‍රතිශක්තිය හීන විය හැකිය. එම නිසා රෝගය වැළදුණු මුල් කාලයේදී ස්ටීරොයිඩ වැනි ඖෂධ ලබා ගැනීමෙන් කොවිඩ් රෝගී තත්ත්වය උත්සන්න විය හැකිය. ප්රෙඩ්නිසිලෝන් (Prednisolone) වැනි ඖෂධ ද ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ද අනවශ්‍ය ලෙස භාවිත නොකළ යුතුය. කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පත් වී ඇත්නම් පමණක් නොව වෙනත් රෝගවලදීද මෙම ඖෂධය ගත යුත්තේ වෛද්‍ය නිර්දේශ මත පමණි.

රුධිර කැටි ගැසීම අවම කිරීමට රෝහල්වලදී ඉනොක්සිෆරීන් (Enoxaparin) වැනි ඖෂධ ලබා දෙයි. එය එන්නතක් වශයෙන් ලබා දෙන අතර නිවෙස්වල ප්‍රතිකාර ලබන්නන්ට එය දිය නොහැකියි. රුධිර කැටි ගැසීම අඩු කිරීම සදහා හෘද රෝගීන්ට ලබා දෙන ඇස්ප්‍රීන් ඖෂධය ලබා දිය යුතුතේ හෘද රෝග තිබෙන රෝගීන්ට පමණි. ඇස්ප්‍රීන් අනුමත නොකරන හෘද රෝගීන්ද සිටියි. කොවිඩ් ආසාදිත වූ පසුව ඇස්ප්‍රීන් අනුමත නොකළ රෝගීන් ද මෙය ලබා ගන්නා බවට වාර්තා පළවී ඇත. මෙය කිසිසේත්ම නොකළ යුතුය.

නිධන් ගත රෝගි‍යෙක් නම්,

ඉහතින් සදහන් කළ ඖෂධවලට අමතරව කොවිඩ් රෝගියෙකුට පවතින නිධන්ගත රෝග සදහා ලබා දෙන ඖෂධ පිළබදව ද සැලකිලිමත් විය යුතුය. දියවැඩියාව , අධික රුධිර පීඩනය, හෘද වැනි රෝග සදහා ඖෂධ ලබා ගන්නේ නම්, එම ඖෂධ නොකඩවා ගත යුතුය. මෙම රෝග උත්සන්න වුවහොත් රෝහල් ගතවීමට සිදුවේ. මේ දිනවල රෝහල්වල කොවිඩ් 19 රෝගීන් අධික බැවින් රෝහල්ගත වීමේදී අවදානමක් ඇති වේ. නිධන් ගත රෝග පවතී නම්, කොවිඩ් 19 ආසාදනය වීමෙන් සංකූලතා ඇති විය හැකියි. රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම, හෘද රෝග පාලනය කර ගැනීමට නියම කර ඇති ඖෂධ නියමිත පරිදි භාවිත කිරීමෙන් කොවිඩ් 19 සංකූලතාවලින් ආරක්ෂා වීමට එය වැදගත් වේවි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ නිසි ලෙස දැනුවත් වී ඖෂධ භාවිත කරමු. එමගින් අසීරු අවස්ථා රැසක් මග හරවා ගත හැකිය.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate