කොවිඩ් ආසාදිත කුඩා දරුවන්ට සමෙහි රෝග ඇතිවීමේ අවදානමක්

කොවිඩ් 19 ආසාදිත දරුවන් තුළ සමෙහි රෝග ඇති වීමේ ප්‍රවනතාවක් පෙන්වුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා සඳහන් කළේ ය.

කොවිඩ් රෝගය වැළඳීම නිසා දරුවන්ගේ ශරීරයේ  පද්ධති ගණනාවකට හානි සිදුවන බැවින් යම් යම් පද්ධතිවල ප්‍රදාහයන් ඇති විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී  අද (24) පැවැති මාධ්‍ය හමුවකදී ජානක අකරවිට මහතා පැවැසීය.

විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට

මෙම තත්ත්වය නිසා දරුවන්ගේ සමෙහි බිබිලි, රතුවීමේ ස්වභාවයක්, කසන ස්වභාවයක්, සමෙහි මතුපිට ස්ථරය ගැලවී යාමක් සිදුවන අතර මේ තත්ත්වය වයස අවුරුදු 20 ට අඩු අය අතර සුලබව දක්නට ලැබෙන බවත් කීය. මේ අතර හිසකෙස් ගැලවී යාමට ද පටන් ගන්නා බව හෙතෙම සඳහන් කළේ ය.

සමෙහි රෝග පවතින අයට කොවිඩ් 19 රෝගය සඳහා ලබා දෙන ඇතැම් ඖෂධ නිසා යම් කිසි අසාත්මිකතා ඇති වීමට ඉඩ තිබෙන බවත්  කුරුලෑ වර්ධනය වීමක් ද සිදුවිය හැකි බව ත් විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා ප්‍රකාශ කළේ ය.

මෙහිදී පිරිසිදු මුව ආවරණයක් භාවිත කිරීම වැදගත් බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා රෙදි වලින් සකස් කරන ලද මුව ආවරණ පැළඳීමෙන් මෙම තත්ත්වය යම් කිසි පාලනයක් කළ හැකි බවද  පැවැසීය.

හුමාලය ඇල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා,  සෑම විටම අධික උෂ්ණත්වයකින් හුමාලය ඇල්ලීම නොකරන්නැයි ද ඉල්ලීමක් කළේ ය. අධික උෂ්ණත්වයකින් හුමාලය ඇල්ලීමෙන්  සමෙහි මතුපිට ස්ථරය පිළිස්සීමනේ සමෙහි රෝග ඇති වීමට ඉඩ ඇති බව ද  සඳහන් කළේ ය.

එමෙන්ම කොවිඩ් 19 මර්දන මූලික සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් වන දෑත් සේදීමට සබන් හෝ සේදුම් දියර භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙසද දැනුම් දුන්නේ ය. ඕනෑවට වඩා එම සේදුම් වර්ග භාවිත කිරීමෙන් සම වියළී, සමෙහි රෝග ඇති විය හැකි බව ද සඳහන් කළේ ය. එම නිසා හැකි සෑම අවස්ථාවකදීම මොයිස්චර්රයිසර් ක්‍රීම් වර්ගයක් භාවිත කිරීමෙන් මේ තත්ත්වය පාලනය කළ හැකි බව ද විශේෂඥ ජානක අකරවිට මහතා වැඩිදුරටත් පැවැසීය.

Editor Health and Life

Related post

2 Comments

  • Thanks for information… good luck.

    • welcome and thank u

Leave a Reply

Your email address will not be published.

Translate