කොවිඩ් ආසාදිත දරුවන් රොහල් ගත වීමේ සුළු වැඩි වීමක්

            විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා

කොවිඩ් 19 ආසාදිත දරුවන් රෝහල්ගත කිරීම පසුගිය සති දෙක තුන තුළ අඩු වීමක් පෙන්වුම් කළ ද එය මේ වන විට සුළු වැඩිවීමක් පෙන්වුම් කරන බව ළමා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අවධාරණය කළේ ය.

කොවිඩ් 19 වසංගතය පැතිරීම යළි හිස එසැවීමේ සාධක මතු වෙමින් පවතින අතර එය ඉදිරි සති කිහිපයේදී වැඩි වුවහොත් නැවත පෙර පැවැති තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බව අද (07) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අනතුරු ඇඟවීය.

මේ හේතුව මත දරුවන් පාසැල් යැවීම සම්බන්ධයෙන් දෙමාපියන් තුළ සැකයක් මතු වී තිබෙන බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා, වසර දෙකකට ආසන්න කාලයක් දරුවන්ට පාසැල් අධ්‍යාපනය අහිමි වීම පමණක් නොව කායික, මානසික හා සමාජයීය වර්ධනය ද අඩාල වූ බව සඳහන් කළේ ය. එහි බලපෑම අද  පමණක් නොව ඉදිරි දශක ගණනක් යනතුරු පවතිනු ඇතැයි ද සඳහන් කළ‍ේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා මෙසේ ද පැවැසීය.

“මෙම වෛරසය වැඩිහිටියෙකුගෙන් වැඩිහිටියෙකුට පැතිරීමට පවතින හැකියාවට සාපේක්ෂව දරුවෙකුගෙන් දරුවෙකුට පැතිරීමට පවතින හැකියාව ඉතා සීමිතයි. පාසැලේ එක් දරුවෙකුට වෛරසය ආසාදනය වූ පමණින් මුළු පන්තියටම බෝවෙන්නේ නෑ. ආසාදිත දරුවා ළඟම සිටි එක් අයෙකුට දෙන්නෙකුට ඇරුණම මුළු පන්තියටම බෝ වෙයි කියලා දෙමාපියන් බිය වෙන්න ඕනේ නෑ. දරුවන් පාසැල් යාම ඉතාම අත්‍යාවශ්‍යයි. නියමිත පරිදි මුඛ ආවරණ පැළඳ සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව දරුවන් පාසැලට එවීමෙන් වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකියි.

නිධන් ගත රෝග, දීර්ඝ කාලයක් පුරා පවතින රෝග තත්ත්වයන් තිබෙන දරුවන් වැඩි වශයෙන් ප්‍රවේසම් කර ගත යුතුයි. ඒ ඔවුනගේ ප්‍රතිශක්තිය දුර්වල වීමේ හැකියාව වැඩි නිසා. ඒ නිසා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් පාසැල් යැවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය නිසා අනවශ්‍ය බියක් ඇති කර නොගෙන දරුවන් පාසැලට යවන ලෙසයි. ”

 

 

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate