කොවිඩ් 19 වසංගතය පරදන ප්‍රංශයේ කතාව

කොරෝනා හෙවත් කොවිඩ් 19 රෝගය මේ වන විට මුළුමහත් ලෝකයටම ප්‍රබල බලපෑමක් එල්ල කර ඇති අතර ඉන් යුරෝපයට ඇති කළ හානිය සුළුපටු නොවේ. සමස්ත යුරෝපය තුළ ප්‍රබලයෙකු වන ප්‍රංශය  ද මේ අභියෝගය ට මුහුණ දීමට රෝග ව්‍යප්තිය චීනයෙන් ඇරඹෙන වකවානුවේදී ම වහ වහා සූදානම් වනු දක්නට ලැබිණි. ප්‍රංශයේ පළමු කොවිඩ් 19 රෝගියා 2019 වසරේ දෙසැම්බර් 27 වනදා වාර්තා වී තිබූ අතර පුදුමයට කාරණය වූයේ, ඔහු තදාසන්න කාලසීමාව තුළ කිසිදු විදේශ රටක සංචාරය කර නොතිබීමයි. කෙසේ හෝ එතැන් සිට මේ දක්වා කාලය තුළ 71 ලක්ෂයකට ආසන්න රෝගීන් ගණන ක් වාර්තා වූ අතර එක් ලක්ෂ දාහත් දහස ඉක්මවූ මරණ සංඛ්‍යාවක් ප්‍රංශයෙන් වාර්තා විය. වසංගතය ආරම්භ වී ගෙවුණු කාලය තුළ 2020 අප්‍රේල්  මාසයේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වීම කැපී පෙනේ.

                  එන්නත්කරණ මධ්‍යස්ථානයක්

ඒ අනුව වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වූ 2020 අප්‍රේල්  15 වනදා මරණ 1437 සිදු වී තිබිණි. එසේම වැඩිම දෛනික කොවිඩ් ආසාධිතයන් වාර්තා වූ දිනය වන්නේ 2020 නොවැම්බර් මස 7 වැනිදාය. එය 83324 කි. අද වන විට ප්‍රංශයේ දෛනික කොරෝනා රෝගීන් වාර්තා වීම පන්දහසක හෝ ඊට අඩු මට්ටමක පවතී. තවමත් 50 කට ආසන්න දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා වේ.
කෙසේ වෙතත් දැන් කොවිඩ්-19 වසංගතය ප්‍රංශය තුළ මන්දගාමී වෙමින් පවතින බවක් දැකිය හැකිය. රෝහල් සහ දැඩි සත්කාර ඒකකවල තිබූ තදබදය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. සතිපතා නව රෝහල් ගත කිරීමේ අනුපාතය සහ ව්‍යාකූල තත්වයන්ට පත්ව රෝගීන් අලුතින් ඇතුළත් කර ගැනීමේ අනුපාතය අඩු වෙමින් හෝ ස්ථාවර වෙමින් පවතින අතර, දැන් පවතින පසුබිම ඉතා හොඳ ප්‍රවණතාවක් බව සෞඛ්‍යය බලධාරීහු පසුගිය දා නිවේදනය කළහ.

සැබවින්ම මේ වනවිට ප්‍රංශයේ දෛනික කටයුතු සෑහෙන ප්‍රමාණයකට සාමාන්‍යකරණය වී ඇත. එළිමහන් ප්‍රදේශවල මුඛ ආවරණ නොමැතිව ගමන් කිරීමට ද ජනතාවට අවසර හිමිව ඇත. නමුත් බස්, දුම්රිය, වෙළදසැල් තුළ දී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
ප්‍රංශයේ කොවිඩ් රෝග පාලනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේදී අනවශ්‍ය ලෙස සංඛ්‍යා ලේඛන ගෙනහැර දැක්වීම ඵලදායී නොවේ. මන්ද ශ්‍රී ලංකාව වැනි රටවල් ආදර්ශය ට ගැනීමට උත්සාහ කළ යුත්තේ මෙවන් ව්‍යසනයකදී අනුගමනය කරන ක්‍රමවේදයන් ය.

Lockdown හෙවත් සංචරණය සීමා කිරීම

                     ඩිජිටල් සහතිකය

සංචරණ සීමා පැනවීම ආරම්භයේ සිටම අත්‍යාවශ්‍ය සේවා කිසි ලෙසකින් බිඳවැටීම ට ඔවුහු ඉඩක් නොතැබූහ. පොදු ප්‍රවාහන සේවා යම් තරමකින් ක්‍රියාත්මක වූ අතර තම අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ජනතාව ට නිශ්චිත සීමාවන් තුළ ගමනාගමනය ට අවසර හිමිවිය. එහිදී අදාළ අවශ්‍යතාව පැහැදිලි ව සටහන් කල පත්‍රිකාව පුරවා තමන් සන්තකයේ තබා ගැනීම අනිවාර්ය විය. එය ඔන්ලයින් ක්‍රමයට පුරවා තම ජංගම දුරකථනයට බාගත (download) කර තබා ගත හැකිය. පදිංචි ස්ථානය, පිට වූ වේලාව, අවශ්‍යතාව මේ ආදී කරුණු ඊට සම්පාදනය කෙරින. යම් හෙයකින් පොලිස් නිලධාරීන් එය ඉල්ලා සිටින විට ඉදිරිපත් කළ යුතුය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් හෝ අවශ්‍යතාව සෑහීමකට පත් නොවන කාරණයක් නම් යුරෝ 135 ක( ආසන්න වශයෙන් රු: 31000) දඩ මුදලක් ගෙවිය යුතුය.මේ හේතුවෙන් සංචරණය සීමා කළ සෑම අවස්ථාවකදීම ජනතාව අනවශ්‍ය ලෙස ගමන් බිමන් සඳහා යොමු වීම බොහෝ සෙයින් පාලනය කෙරිණි.

රෝගීන් හඳුනා ගැනීම, රෝහල් ගත කිරීම සහ නිරෝධායනය

රෝගීන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් පරික්ෂණ ෆාමසි, රෝහල් හෝ වෛද්‍ය මධ්‍යස්ථානවලදී සිදු කර ගත හැකිය. ඇන්ටිජන් පරික්ෂණයකින් Positive ලෙස හඳුනා ගතහොත් වහාම PCR පරීක්ෂණයට යොමු විය යුතුය. ඒ සඳහා සාම්පල ලබා ගත් පසු පැය 12 ක් (ඊට වඩා අඩු විය හැකිය)වැනි කාලයක් තුළ එම ප්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ තමන්ට ලබාගත හැකි අතර එතැන් සිට සිය නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීමට හා නිරෝධනය වීමට යොමු විය හැකිය.

පොසිටිව් පුද්ගලයන් හා අනෙකුත් සාමාජිකයන් ට නිවසේ නිරෝධායනය වීමට ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවේ නම් පමණක් අදාල පුද්ගලයින් සුදුසු ස්ථානයක පහසුකම් සැපයීම ට බලධාරීන් මැදිහත් වෙයි. පුද්ගලයෙකු කොවිඩ් පොසිටිව් වූ පමණින් කිසිදු රෝහලකට ඔවුන් ඇතුළත් කර ගනු නොලැබේ. හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වුවහොත් පමණක් ගිලන් රථයක් ගෙන්වාගෙන රෝහල්ගත විය හැකිය. තම තමන්ගේ ස්ථානවලට වී ප්‍රතිකාර ලබන හෝ නිරෝධනය වන පුද්ගලයන්ට දින දෙක තුනකට වරක් කතා කොට ඔවුන්ගේ තත්වය පසුවිපරම් කිරීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක වේ.

එන්නත්කරණය

ප්‍රංශයේ මේ වන විට කොරෝනා මීලඟ රැල්ලක් පිළිබඳ අවධානම බොහෝ දුරට කළමණාකරණය කර ඇති බව සෞඛ්‍යය බලධාරීහු අවධාරණය කරති. එලෙස යම් ස්ථාවර මට්ටමකට පැමිණීමට හැකිව ඇත්තේ, සැබවින්ම එන්නත්කරණ ක්‍රියාවලියේ තිබූ විධිමත් බව නිසාමය. එන්නත්කරණ වැඩසටහන් ඉකුත් වසරේ දෙසැම්බර් 27 වනදා සිට ආරම්භ කෙරිණි. වැඩිහිටි නිවාස, සෞඛ්‍යය කාර්යමණ්ඩල ආදී ප්‍රමුඛතා අනුපිළිවෙළ අනුව එය සාර්ථකව ඉදිරියට පැමිණියේය. එම සැලැස්ම අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා එන්නත් කිරීම ජූනි මස 15 වනදා ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුණද, වැඩ සටහනේ විධිමත් බව නිසාම මැයි මස 31 වනදා සිටම (දින 15 කට පෙර) එය ආරම්භ කිරීමට හැකිවිය.

ඒ අනුව රෝගය හේතුවෙන් දැඩි අවධානමට ලක් වූ ප්‍රබල රටවල් අතර ඉදිරියෙන් සිටීමට ප්‍රංශය සමත්ව ඇත. ඒ මුළු ජනගහනයෙන් 67% ක් ඉක්මවා එන්නත් මාත්‍රා දෙකම ලබා දීමෙනි. ඇමරිකාවේ පවා එම අනුපාතය 57% කි. සමස්ථයෙන් 76% කට වැඩි පිරිසක් එන්නත එකක් හෝ ලබා ඇති බව ප්‍රංශ සෞඛ්‍යය ය විශ්ලේෂණ වාර්තා තහවුරු කරයි.

මෙහිදී මා විශේෂයෙන් පෙන්වා දෙන කාරණය නම්, ජනතාවට තමන් කැමති එන්නත තෝරා ගැනීම ට ලබා දී ඇති විවෘත අවස්ථාව යි.
එන්නත ලබා ගැනීම සඳහා අන්තර් ජාලය ඔස්සේ හෝ දුරකථන ඇමතුමක් මගින් වේලාව වෙන් කර ගන්නා විට තමන් ලබා ගැනීම ට අපේක්ෂා කරන එන්නත තමන්ටම තෝරා ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා කිසිදු කොන්දේසියක් නැත. තමන්ට ආසන්න එන්නත්කරණ මධ්‍යස්ථානයේ නොමැති නම් වෙනත් මධ්‍යස්ථානයකදී හෝ තමන්ගේ එන්නත ලබා ගැනීම සඳහා නිදහස පවතී. තමන් පදිංචි ප්‍රදේශය වෙනස් නිසා මෙහිදී ලබා දිය නොහැකි යැයි කිසිවෙකු ප්‍රකාශ නොකරයි.

වයස අවුරුදු 12 ඉක්මවූ දරුවන් ද තනිව ම පැමිණ තම එන්නත ලබා ගැනීම ප්‍රංශයේ සුලබ දසුනකි. දේශපාලකයන් තුන්ඩු දීම, සෞඛ්‍යය කාර්යමණ්ඩල තම පවුලේ සාමාජිකයන් ට හොර පාරෙන් එන්නත විදීම, පෝලිම්වල ගුටි ඇණ ගැනීම හෝ පැය ගණනක් බලා සිට එන්නත නොමැතිව හැරී යාමක් මෙහි කිසි විටෙක දක්නට නොලැබේ.

රට විවෘත කිරීම

දැන් ක්‍රමයෙන් සියලුම පොදු ස්ථාන විවෘත කර ඇත. කෙසේ වෙතත් ඇතුළු කර ගන්නා ප්‍රමාණය පිළිබඳ කොන්දේසි ක්‍රියාත්මක වේ.
මෙහිදී එන්නත් ලබා ගෙන ඇති බවට සනාථ කෙරෙන සහතික පත්‍රය ඉල්ලා සිටියහොත් එය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය. එම සහතිකයේ ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙහි තබා ගත හැකි අතර ආරක්ෂක නිලධාරීන් එහි ඇති QR code එක ස්කෑන් කර පුද්ගලයින් ඇතුළත් කර ගැනීම සිදුවේ.

 

දිල්ශාන් කීර්තිසර

ප්‍රංශයේ සිට

 

dilshankeerthisara@gmail.com

 

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate