කෝවිඩ් මාරයා සමගින් පොර බදින කැන්ගරු දේශය

කොවිඩ් 19 ගෝලීය වසංගතයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ලෝකයේ විවිධ රටවල වාසය කරන අපගේ හිතවතුන් විසින් සම්පාදිත ලිපි මාලාවේ දෙවන ලිපිය මෙයයි. ඕස්ට්‍රේලියාවේ අත්දැකීම් සම්බන්ධයෙන් මෙල්බර්න් නුවර වෙසෙන නීතීඥ තිලංග ෆොන්සේකා විසින් එම රාජ්‍යය කොවිඩ් 19 වසංගතයට මුහුණ දෙමින් සිටින ආකාරය පිළිබදව ලියූ ලිපියකි මේ.

රටක පවතින සමාජ, ආරථික හා දේශපාලනික වෙනස්කම් අනුව එම රටවල කටයුතු සිදුවන ආකාරයේ ද වෙනස්කම් පැවැතිය හැකිය. එහිදී දියුණු රාජ්‍යයන් මෙන්ම නොදියුණු රාජ්‍යයන් පළමු, දෙවන සහ තෙවන ලෝකයේ රටවල් ලෙස වර්ග කර ඇති නොයෙක් රාජ්‍යයන්ට එය නොවැළැක්විය හැකි තත්ත්වයකි. එසේ, කවර රාජ්‍යයක වුව ද කටයුතු සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙන්ම තොරතුරු බෙදා හදා ගැනීම මෙම ලිපි මාලාවේ අරමුණ වෙයි.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව බොහෝ දියුණු රාජ්‍යයන් විවිධ ක්‍රමෝපායයන් යටතේ මෙම වෛරසය මැඩලීමට ක්‍රියා කරන අතර එකී ක්‍රියාවලිය ඕස්ට්රේිලියාවට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ මන්ද යත් මෙම වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාන් මධ්‍යම හා මහා ප්‍රාන්ත රාජ්‍යයන් විසින් ගනු ලැබූ සුවිශේෂී හා කාර්යක්ෂම ක්‍රියාපටිපාටින් හේතුවෙනි.

අනුකම්පා විරහිත වේගයකින් පැතිරෙන ‘ඩෙල්ටා’ ප්‍රභේදය ඕස්ට්‍රේලියාව ආක්‍රමණය කරන්නට ප්‍රථම එම ක්‍රියාවලිය යටතේ පසුගිය මැයි මාසයට පෙර වික්ටෝරියානු හා තවත් ප්‍රාන්ත ගණනාවකම කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ගණන බිංදුවක අගයකින් මාස ගණනාවක් ම පවත්වා ගැනීම කැපී පෙනුණි.

මෙම ලිපිය සැකසෙන මොහොතේ වික්ටෝරියානු හා නිව් සවුත්වේල්ස ඇතුළු ප්‍රාන්ත කිහිපයක රෝගීන්ගේ සැලකිය යුතු අගයක් පෙන්නුම් කළද කෝවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ක්‍රියාත්මක කළ ක්‍රමවේදයේ කිසිදු අඩුවක් දක්නට නොලැබෙන බව පෙන්වා දිය හැකිය.

ප්‍රතිශක්ති එන්නත්කරණය සඳහා ප්‍රමුඛතාව ලබාදීම.

වත්මන් තත්වය යටතේ ඕස්ට්‍රේලියාව තුළ කෝවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා ඔවුනට මේ දක්වා ඇති හොඳම සහ ශක්තිමත්ම විසඳුම වශයෙන් එම වෛරසයට එරෙහිව මහජනයා ප්‍රතිශක්ති එන්නත්කරණය හඳුනා ගෙන තිබේ. මේ හේතුවෙන් නොවැම්බර් මස අවසන් වන විට මහජනතාවගෙන් අවම වශයෙන් 80% ක් හෝ ප්‍රතිශක්තිකර්ණය කිරීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම මගින් එළඹෙන නත්තල් සමයේදී වසා දමා ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා යළි විවෘත කිරීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක අමාත්‍ය ඩෑන් තේහාන් (Dan Tehan) ප්‍රකාශ කර තිබුණි.ඒ අනුව ඕස්ට්‍රේලියානුවන්ට රටින් පිටව ගොස් නැවත පැමිණිය හැකි අතර එලෙස පැමිණිමේදී අනිවාර්ය හෝටල් නිරෝධායනයකින් තොර ක්‍රමවේදයක් සකස් කරන බවද සඳහන් කළේ මෙම එන්නත්කරණය මත පූර්ණ විශවාසය තබමිනි.

එන්නත්කරණය නීතීයෙන් අනිවාර්ය නොවූවත් එන්නත ලබාගැනීම මහජනයා හට සාමාන්‍ය ජීවිතයට නැවතත් ඇතුළුවීමේදී අනිවාර්යය සාධකයක් බවට පත් කිරීමට බළධාරීන් කටයුතු කරමින් තිබේ. නිදසුනක් වශයෙන් ඕස්ට්‍රේලියානු බොහෝ විශ්ව විද්‍යාල තුළට සිසුන් ඇතුළත් කර ගැනීමේදී ඔවුන් අනිවාර්යයෙන් එන්නත්කරණයට ලක්ව සිටිය යුතු අතර වික්ටෝරියානු ප්‍රාන්තය තුළ එම නීතිය ගෙන ඒම සඳහා ප්‍රමුඛව කටයුතු කළේ මෙල්බර්න් විශ්ව විද්‍යාලය විසිනි. එසේම ජාත්‍යන්තර සිසුන් නැවතත් ගෙන්වා ගැනීමේදී ඕස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලන ආයතනය මගින් අනුමත එන්නත් වන ෆයිසර්, ඇස්ට්‍රෙසනිකා සහ මොඩර්නා (Pfizer, AstraZeneca , Moderna ) මාත්‍රා දෙකම ලබා ගත් සිසුන් පමණක් ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බව මුලින්ම ප්‍රකාශයට පත් කරනු ලැබුවේ නිව්සවුත්වේල්ස ප්‍රාන්තය විසිනි.

ඒ අනුව ඔක්තොබර් මස මුල සිට ජාත්‍යන්තර දේශසීමා හරහා විදේශ ගතවීමට අපේක්ෂා කරන ඕස්ට්‍රේලියානුවන් හට ඩිජිටල් එන්නත්කරණ (වැක්සිනේෂන්) ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබීමද කැපී පෙනෙයි.

සංචරණය සීමා කිරීම සහ දෛනිකව කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව ඉහළදැමීම

මේ වන විට කෝවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ඇති සායනික නොවන ප්‍රාථමික විකල්පය ලෙස මහජනයාගේ සංචරණය සීමා කිරීම වශයෙන් ලොව බොහෝ රාජ්‍යයන් විසින් හඳුනා ගෙන තිබුණද එය නිවැරදිව ක්‍රියාත්මක කරන රාජ්‍යයන් අතලොස්ස අතුරින් ඕස්ට්‍රේලියාවට හිමිවන්නේ ප්‍රමුඛතාවකි. ඕස්ට්‍රේලියාවේ  ඇති ප්‍රාන්ත රාජ්‍යයන් අතර සුළු වෙනස්කම් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී දක්නට ලැබුණද එය සමස්තයක් ලෙස අතිශය සාර්ථක ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වනු දක්නට ලැබේ.

සිඩ්නි නගරයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙමින්

මෙම ප්‍රතිපත්තිය තුළ ප්‍රාන්තයක එක් කෝවිඩ් 19 ආසාදිතයෙක් මතුවන මොහොතේ පටන් බලධාරීන් ප්‍රාන්ත සීමා වසා දැමීම සඳහා අවධානය යොමු කොට දෛනිකව සිදු කෙරෙන කෝවිඩ් වෛරසය සෙවීමේ රසායනාගාර පර්යේෂණ සංඛ්‍යාව විශාල වශයෙන් සිදු කිරීම සඳහා මහත් පිරිවැයක් දරනු කැපී පෙනෙයි. මූලික වශයෙන්ම හදිසි කෝවිඩ් පොකුරක් සොයා ගත් මුල් වකවානුව තුළ එකී ප්‍රාන්තය තුළ ක්ෂණික සංචරණ සීමා (snap lockdown) පැනවෙන අතර එම පොකුර දිගින් දිගටම වර්ධනය වේ නම් එම සීමා ප්‍රාන්තය පුරා විහිදෙන සේ ක්‍රියාත්මක කරමින් උපරිම වශයෙන් ඇඳිරිනීති තත්වයක් යටතට ප්‍රාන්තය පත් කිරීමට බලධාරීන් කිසිවිටෙකත් පසුබට නොවේ.

එසේම සංචරන සීමා නීති කඩ කරන්නන්ට එරෙහිව මූල්‍යමය දඩ පැනවීමටද ප්‍රාන්ත රජයන් විසින් කටයුතු කර තිබේ.

සංචරණ සීමා කාලය තුළ නිවසේ රැඳී සිටීමට දිරි දීමනා

සංචරණ සීමා පනවා ඇති කාලසීමාවන්හී දී ඕස්ට්‍රේලියානු රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දෙන අතර යම් පුද්ගලයකු හට ස්වයං නිරෝධායනය වීමට සිදු වුවහොත් එම කාලසීමාව තුළ ඔහුගේ සේවා ස්ථානය මගින් ඔහු වෙත අසනීප නිවාඩු ලබා දීමට අපොහොසත් නම්, බොහෝ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් එම පුද්ගලයා නිවසේ රැදී සිටීම දිරිගන්වමින් මූල්‍යාධාර සැපයීම සිදුවේ. නිදසුනක් වශයෙන් මේ වන විට lockdown නීති පනවා තිබෙන වික්ටෝරියා සහ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තවල මෙන්ම ඕස්ට්‍රේලියානු අග නගරයෙහි (ACT ) රැකියා හෝ සේවා පැය අහිමි වූ පුද්ගලයින්ට සතිපතා COVID-19 ආපදා ගෙවීමක් ලබාදෙයි.

නවීන තාක්ෂණය භාවිත කිරීම.

ඕස්ට්‍රේලියානු රජය මගින් කෝවිඩ් මර්දනය සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීම උදෙසා වැඩි පිරිවැයක් දරා තිබේ. සරල නිදසුනක් වශයෙන් ඕස්ට්‍රේලියාව තුළ මහජනයාගේ සංචරණය වාර්තා කිරීම සඳහා ඩිජිටල් ඇප් නිර්මාණය කොට ඇති අතර ඒවා මගින් අදාළ පුද්ගලයා ප්‍රසිද්ධ ස්ථාන, කඩ, සාප්පු සංකීර්ණ හා පොදු ප්‍රවාහනයේදී ද තම අතෙහි ඇති ස්මාර්ට් ජංගම දුරකථනයෙන් අදාළ ස්ථානයේ කිව් ආර් කේතය ස්කෑන් කිරීම මගින් වාර්තා වීම සිදු වේ. මෙම තාක්ෂණය මගින් කෝවිඩ් රෝගියෙකු යම් ප්‍රසිද්ධ ස්ථානයක සැරිසරා ඇත්නම් එම මොහොතේ අදාළ ස්ථානය ඇසුරු කළ පුද්ගලයින් ඉතා කෙටි කලකදී බළධාරීන්ට හඳුනා ගැනීම පහසු වේ.

එන්නත්කරණ ගමන් බලපත්‍රය

මහජන සෞඛ්‍යය

සංචරණ සීමා පවතින කාලය අතරතුර මහජනයාගේ මානසික සෞඛ්‍යය පිළිබදව විශේෂ අවධානයක් යොමු කොට ඇති ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය, ඒ සඳහා විශේෂ වැඩසටහන් ද දියත් කොට තිබේ. ඒ අතර සෞඛ්‍යය සේවා සපයන රජයේ මෙන්ම පෞද්ගලික ආයතන වෙත විවිධ සහන සපයා තිබීම පෙන්වා දිය හැකිය. නිදසුනක් වශයෙන් රෝගීන් පරීක්ෂාව දුරකථන මාර්ගයෙන් හෝ වීඩියෝ මාර්ගයෙන් සිදුකරන සෞඛ්‍යය සේවාවන් හට විශේෂිත කේත ක්‍රමයක් යටතේ ගෙවීම් ලබාගැනීමේ පහසුව සපයා තිබීම විශේෂිත වේ. එසේම රෝගීන් හට සිය රෝග තත්වයන් සාකච්ඡා කිරීම සඳහා නොමිලේ දුරකථන මාර්ග විවෘත කිරීමට ද බළධාරීන් කටයුතු යොදා තිබේ.

Rapid antigen පරීක්ෂණ නිවසේදීම

එසේම මේ මොහොත දක්වා කෝවිඩ් වෛරස පරීක්ෂාව සඳහා පුද්ගලයකු රසායනාගාර පහසුකම් සහිත සායනික මධ්ක‍යස්රාථානයක් කරා යා යුතු අතර දිනකට පරීක්ෂණ සඳහා සාමාන්‍යයෙන් රෝගීන් 50000 කට අධික සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් අදාළ මධ්‍යස්ථාන අසල අධික තදබදයක් පවතී. එම තත්වය සමනය කිරීම සඳහා මෙම වසරේ නොවැම්බර් මාසයේ සිට තමන්ට නිවසේදීම රැපිඩ් ඇන්ටිජන් (Rapid antigen) පරීක්ෂාව කර ගැනීම සඳහා මධ්‍යම රජය විසින් අවසර දීමට සූදානමින් සිටියි. මෙම නව පරීක්ෂණය තීරණාත්මක ඉදිරි පියවරක් බව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් (Greg Hunt) ප්‍රකාශ කර ඇත. Rapid antigen පරීක්ෂණයකින් කොවිඩ් වෛරසය ආසාදිත බව තහවුරු වූ අයෙකු පසුව වෛද්‍ය සායනයකදී දෙවන කොවිඩ් පරීක්ෂණයකට භාජනය කෙරේ.

නීතීඥ තිලංග ෆොන්සේකා
මෙල්බර්න් නුවර සිට

 

 

Editor Health and Life

Related post

2 Comments

  • Thanks for information

  • From Nalin S Rodrigo. on කෝවිඩ් මාරයා සමගින් පොර බදින කැන්ගරු දේශය
    Thanks for information

Leave a Reply

Your email address will not be published.

Translate