ගෝලීය වසංගත මානසිකත්වයට අභියෝග කරන ‘මැණිකේ’ – යොහානි

මනස පුබුදුවාලීමට සංගීතයට ශක්තියක් තිබේද?

විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ

වසර දෙකකට ආසන්න කාලයක් මුළු ලොවම, කෝවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දීමට සිදු වීම නිසා, අප කාටත් මානසිකව පීඩනයක් සහ ව්‍යාකූලත්වයක් ඇති වී තිබේ. නමුත් ශ්‍රී ලාංකීය තරුණියක් වන යොහානි ඇගේ නැවුම් සංගීත ආරය ‘මැණිකේ මගේ හිතේ’

ගීතයට මුසු කරන්නේ ඇගේ මිහිරි කටහඩ සහ මෙම ගීතය ලෝක ප්‍රසිද්ධ කරමින් ය. මෙතරම් පීඩනයකින් සිටි අප හට එම තත්ත්වය අමතක කරවීමට යොහානිගේ ගීතයට හැකි වුයේ කෙසේද? මුළු ලොවම මෙවැනි වසංගතයකින් කැළැඹී සිටිනා මොහොතක, යොහානිගේ ගීතය අප සැමගේ සිත්වලට ‘කතරට දිය දහරක්’වීමට ගියේ ක්ෂණයක් වීම, පුදුමයක් හෝ අරුමයක්දැයි බොහෝ දෙනා සිතනු නොඅනුමානය.

නමුත් මෙයින් පෙනී යන්නේ සංගීතයට, නව නිර්මානාත්මක කලාවට ඕනෑම පීඩනයකට ලක්වූ සිතකට ප්‍රවේශ වී එම සිතුවිලි සහ හැඟීම් ධනාත්මකව හැසිරවීමට ඇති ශක්තියයි. සංගීතය විශ්ව භාෂාවක් මෙන්ම මානව හිතවාදී, මානසික සුවය ගෙන දෙන මගඟු මෙවලමක් බව වසංගතය අතරේ යොහානි මනාව ගෙනහැර දැක්වීය. මේ දිනවල නන් දෙසින් නිතර ඇසෙන යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’, ‘ශිද්දත්’ ගීතය සහ ‘පෙනෙනා නිසා’ ගීත අපට නොදැනීම අප සැමගේ සිත් වල කෝවිඩ් මගින් ඇති කරනු ලැබූ සෝචනීය රික්තය පුරවමින් තිබීම වාසනාවකි.

ඇතැම් විටෙක අප ආශා කරන නාදයක්, සින්දුවක් ඇසෙන විට හඬ නගා එම පද ගායනයට, හුරුලම් බෑමට හෝ තාලයට අඩිය තබමින් නැටීමට අප පෙළඹේ. ඒ අප කා තුළත් සංගීතයට ස්වභාවික නැඹුරුවක් තිබෙන නිසා සහ එක් එක් පුද්ගලයාගේ රස විඳීන ආකාරය විවිධ නිසාය. එමෙන්ම සංගීත රාවය කන වැකෙත්ම අපගේ මොලය සක්‍රීය වීම නිසාය. එයින් අපගේ සිතට මෙන්ම ගතට ගෙන දෙන ප්‍රමෝදය සහ සැහැල්ලුව ඉතා විශේෂිත මෙන්ම අද්විතීය වේ.

සංගීතයට සවන් දීම, ගීත රචනය, ගීත ගායනය, සංගීත රාවයට තාලය ඇල්ලීම සහ වාදනය මානසික මෙන්ම ශාරීරික සුවතාව ද වැඩි දියුණු කරන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් ද තහවුරු වී තිබේ. සංගීතය මගින් හැඟීම් සහ දැනීම් සඳහා විශේෂිත වූ අප මොලයේ එයට අදාළ ප්‍රදේශ තුනක් උද්දීපනය වන බව ‘ජෝන් හොප්කින්’ විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පෙන්වා දී තිබේ. ඔවුහු තවදුරටත් පවසන්නේ, අපට අපගේ මොලය ව්‍යායාම කිරීමට අවශ්‍ය නම් සංගීතයට සවන් දෙන මෙන්ය. එනම් සංගීතය මගින් අප මොලය උද්දීපනය කරන අතරම මුළු ශරීරයේම ධනාත්මක වෙනස්කම් ඇති කරවන හෙයිනි.

සංගීතය, සිතට සතුටක් සහ තෘප්තිමත්බාවයක් ගෙන දෙන අතර, සිත සන්සුන් කිරීම, ශරීරය උද්යෝගීමත් කිරීම සහ වේදනා නාශකයක් ලෙස ක්‍රියාකරන බවද අනාවරණය වී ඇත. ඒ හැරුණු විට, මානසික පීඩනය පාලනය කිරීමට එය මනෝ චිකිත්සාවක් ලෙස ද භාවිත කළ හැකි අතර, මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ මෙවලමක්ද වේ. අප එදිනෙදා ජීවිතයේ විවිධ ක්‍රියාවන්ට සංගීතය මුසු කර ගැනීමේ වාසි තවදුරටත් පහත ආකාරයෙන් සවිස්තරාත්මකව දැක්විය හැකිය.

විවිධ ක්‍රියාවන්ට සංගීතය මුසු කර ගැනීමේ වාසි

  • බුද්ධිය මෙහෙයවා කරනු ලබන ක්‍රියාවන් වලදී මෘදු සංගීතයට සවන් දීමෙන්, සංජානනීය හැකියාවන් සහ මතක ශක්තිය තියුණු වීම.
  • මානසික පීඩනය අඩු කිරීමට සහ එයට ධනාත්මකව මුහුණ දීමට ද සංගීතයට සවන් දුන් පුද්ගයින්ගේ හැකියාව වැඩි බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. ඇතැමුන් මෙම සැහැල්ලුව මෘදු සංගීතයට සවන් දීමේ දී ලබා ගනී. තවත් කෙනෙකු එය කුරුල්ලන්ගේ මිහිරි නාදයෙන් හෝ මුහුදු රළ බිඳෙන හඬෙන් හෝ වැසි බින්දු වැටෙනා හඬෙන් අත් විදී. ‍

  • එමෙන්ම මානසික ගැටළුවලට මුහුණ දෙන පුද්ගලයෙකුට ඉන් පහසුවෙන් නැවත යතා තත්ත්වයට පත් වීමට ද, සංගීතය ඉවහල් වන බව ඔප්පු වී තිබේ. විශේෂයෙන් විශාදයෙන් සහ හැඟීම් ආශ්‍රිත මානසික ගැටළුවලින් මිදීමට මෙය වැදගත් වන බව නිරීක්ෂණය කර තිබේ. සම්භාව්‍ය හෝ මෘදු සංගීතය හෝ ස්වාභාවික පාරිසරික ගීතමය නාද මගින් ධනාත්මක හැඟීම් ගෙනෙන බවත් තහවුරු වී ඇත.
  • සංගීතයට සවන් දෙන හෝ, ගීත ගායනා කරනු ලබන, දීර්ඝ කාලීන ස්නායුගත හා හන්දි ආශ්‍රිත රෝගාබාධ ඇති, වේදනාවෙන් පෙලෙන රෝගීන් හට එම වේදනාව සමනය කර ගැනීමට සංගීතය ඉවහල් වේ. එනම් සංගීතයට වේදනා නාශක ගුණයක් තිබෙන බවය. විරහ වේදනාවෙන් පෙලෙන පුද්ගලයෙකුට විරහ ගීතයක් ශ්‍රවනයේදී, තම පෞද්ගලික විරහ හැඟීම්වල සංවේදීතාව කෙමෙන් යටපත් කර ගැනීමට හැකියාව ලැබේ.

 

 

  •  එමෙන්ම නිදා ගැනීමේ අපහසුතා ඇති පුද්ගලයින්ට සැහැල්ලු සංගීතයට සවන් දීම මගින් සුවබර නින්දක් ලැබිය හැකිය. නොනිදා විසිරෙන සිතුවිලි, එක් තැන් කිරීමට සංගීතය ඉවහල් වෙන නිසා, නින්ද නොයෑමේ ගැටළු තිබෙන පුද්ගලයින් හට මෘදු සංගීතයට හෝ ගීතයකට සවන් දීමට හුරු වීමෙන්, නින්දේ පුරුද්දද ඇති කර ගත හැකිය.
  • උද්යෝගී බව හීන පුද්ගලයින්ගේ එම තත්ත්වය මග හැර සිතේ උනන්දුව සහ ධෛර්යය වැඩි වීමට සංගීතය ඉවහල් වීම හේතුවෙන්, ජයග්‍රහණ ලැබීම හා කාර්යක්ෂමතාව වැඩි වීම නිරීක්ෂණය කර තිබේ. විශේෂයෙන් ව්‍යායාම කිරීමට පෙළඹවීමට මෙන්ම අඛණ්ඩව කිරීමට ද සංගීතය රුකුලක් කර ගත හැකිය. ව්‍යායාමයේදී ගතට ලැබෙන සුවතාව තීව්‍ර කිරීමට සංගීතයට සවන් දෙමින් ව්‍යායාම කිරීම වඩාත් සුදුසු වේ. මෙහිදී ගීත රාවය සහ රිද්මය හේතුවෙන් ගතට දැනෙන විඩාවද සමනය වීම සිදුවේ.
  • අපගේ රස වින්දනයම ඇති අනෙකුත් එවැනි පුද්ගලයින් ඇසුරු කරන විටදී, ඔවුන් සමග සුහද සම්බන්දතාවන් ඇති කර ගැනීමට ද තෝතැන්නක් සංගීතය මගින් සැලසේ. එනම් සමාජයීය සුවතාව ද සංගීතය, ගීත සහ නාද මගින් අප හට ලඟා කර දේ.

සම්භාව්‍ය හෝ මෘදු සංගීතය පමණක් ඉහත තත්ත්වයන් ඇති කරනවා ඇතැයි අපට නිගමනයකට පැමිණිය නොහැකිය. ඒ මක් නිසාදයත්, අප එකිනෙකා හැදෙන වැඩෙන පරිසරය සහ අත්දැකීම් මත ගොඩ නැගුනු අපේ රසවින්දනය විවිධ හෙයිනි. ‘පොප්’ හෝ ‘රොක්’ හෝ වෙනත් කුමන හෝ සංගීතයක් අපගේ මන පිනවයි නම්, හෝ හැඟීම් දනවයි නම් එයයි අපේ සංගීතය. එය ඇසුරු කරමින් මානසික සුවය ලඟා කර ගැනීමට අප හුරු වුවහොත්, ඕනෑම අසීරු කාලයකදී අපගේ තනිය මකා ගැනීමටත්, දුක් කම්කටොලු දරා ගැනීමටත් සංගීතය අපට යහළුවෙකු වනු නිසැකය. එනම් සංගීතය යනු විශ්ව භාෂාවක් පමණක්ම නොව විශ්වය පුරා සතුට පතුරවන ශක්තියකි.

 

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා වික්‍රමසිංහ,

වතු හා නාගරික සෞඛ්‍යය අංශය, සෞඛ්‍යය අමාත්‍යංශය

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate