ඩෙංගු වසංගත තත්ත්වයකට පත්වීමේ අවදානමක්

වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගය සීග්‍රයෙන් පැතිර යන බවත් එය පාලනය නොකළහොත් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව ත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා අවධාරණය කළේ ය.

ජාතික ඩෙංගු මර්දන ඒකකය වෛද්‍ය පරීක්ෂණ ආයතනය සමග ජනවාරි මාසයේ සිට කරන ලද සමීක්ෂණයක් මගින් ඩෙංගු වෛරස් කාණ්ඩ 04 ම දිවයින පුරා සංසරණය වන බව නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (10) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා අනාවරණය කළේ ය.

ඩෙංගු රෝගීන් රෝහල්ගත වීම ප්‍රමාද වීම නිසා බරපතල සංකූලතා ඇතිවීමට ඉඩ තිබෙන බව සඳහන් කළ වෛද්‍ය කොඩිතුවක්කු මහතා දින දෙකක් පුරා උණ පවතින්නේ නම්, නොපමාව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවන ලෙස අවධාරණය කළේ ය.

කොවිඩ් 19 ආසාදිත රොගීන් රෝහලවල ප්‍රතිකාර ගැනීම නිසා ඩෙංගු රෝගීන් රෝහල්ගත වීම  ප්‍රමාද වීමට හේතු වී ඇති බවත් කොවිඩ් රොගීන් සහ වෙනත් රොගීන් වෙන් වෙන් වශයෙන් තැබීමේ උපක්‍රම රෝහල් තුළ අනුගමනය කරන නිසා ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ද වෛද්‍යවරයා ඉල්ලීමක් කළේ ය.

එමෙන්ම ඩෙංගු රෝගීන් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ ලබා නොගත යුතු බව ත් උණ රෝගය පාලනය කිරීම සඳහා පැරසිටමෝල් හැර වේදනා නාශක ඖෂධ මෙන්ම ස්ටීරොයිඩ ගණයේ ඖෂධ භාවිත කිරීම ඩෙංගු රෝගයේ බරපතල සංකූලතාවලට ලක් වීමට ඉඩ තිබෙන බව  සඳහන් කළේ ය. මෙම ඖෂධ භාවිත කිරීමෙන් අභ්‍යන්තර රුධිරවහනයන් පවා ඇති වීමට ඉඩ පවතින බව ද වෛද්‍යවරයා අනාවරණය කළේ ය.

ඩෙංගු රෝගයේ අවදානම් කලාපවල සිටින ජනතාව වඩා සැලකිලිමත් විය යුතු බව ත් හැකි සෑම විටද මදුරුවන් දෂ්ඨනය වළක්වන මදුරු විකර්ශන ආලේපන භාවිත කිරීමෙන් එය වළක්වා ගත හැකි බවත් වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවැසීය.

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate