ඩෙල්ටා ප්‍රභේදයේ අතුරුඵලයක් ලෙස රෝග ලක්ෂණ නොපෙන්වා හෘදයාබාධ ඇති විය හැකියි

ඩෙල්ටා ප්‍රභේදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස රෝග ලක්ෂණ නොපෙන්වා හෘදයාබාධ ඇති වන බව හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සදහන් කළේ ය.

විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ

එවන් ප්‍රවණතාවක් පවතින කොවිඩ් ආසාධිත රෝගීන් විසිදෙනෙකුට පමණ පසුගිය සතියේදී ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් කළ බව වෛද්‍යවරයා පැවැසීය.

කොවිඩ් 19 පළමු සහ දෙවන රැළි දෙකේදී හෘදයාබාධයන්ට ලක් වූ රෝගීන්ගේ එවන් රෝග ලක්ෂණ දක්නට නොලැබුණු බව ත් දෙවන රැල්ලේ දී මතුවූ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙය දක්නට ලැබෙන බවත් ගෝඨාභය රණසිංහ මහතා කීය.

හෘදයාබාධයට ලක්ව රෝහල් ගතවූ බොහෝ රෝගීන් අඩු වයස් කාණ්ඩවලට අයත් වන අතර ඔවුන් හෘදයාබාධයට තුඩු දෙන අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝග තත්ත්වයකට ගොදුරු නොවී හෘදයාබාධයට ලක් වූවන් බව ද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වයක් පවතින මේ අවස්ථාවේ ඔබට හෘදයාබාධයක රෝග ලක්ෂණ මතු වුවහොත්?

■ විනාඩි 10 – 20 ක් පවතින දැඩි පපුවේ කැක්කුම,
■ පපුවේ හිරවෙන ගතිය,
■ පපුවේ බර ගතියක් දැනීම,
■ පපුවේ දැඩි අපහසු තත්ත්වය

හෘදයාබාධයක රෝග ලක්ෂණ විය හැකිය.

ඔබට මෙම රෝග ලක්ෂණ ඇති වුවහොත් ,

■ වහාම ඇස්ප්‍රීන් (Aspirin) පෙත්තක් හපා කන්න
■ වහාම ළගම ඇති රෝහල වෙත යන්න.

ඔබට උණ, උගුරේ අපහසුතා ඇත්නම්, අනිවාර්යයෙන්ම ඒ බව වෛද්‍යවරයා දැනුවත් කරන්න.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයකි.)

Related post

Leave a Reply

Your email address will not be published.

Translate