දරුවන්ගේ ජීවිත ගලවාගන්නට විශ්මිත ශල්‍යකර්ම කළ බෙන් කාර්සන්

වෛද්‍ය බෙන් කාසන්

බෙන් කාර්සන් ලොව ප්‍රකට ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකි. ලෝකයේ අතිදක්ෂ ස්නායු ශ්‍යෙ වෛද්‍යවරුන්  කොතෙක් සිටියත්, බෙන් කාර්සන් තරම් ඔවුන් ප්‍රකට වූයේ නැත. අනෙක් බොහෝ ස්නායු ශල්‍ය වෛද්‍යවරු හමුවේ බෙන් කාර්සන් විශ්මකර්ම ශල්‍යකර්ම කරන්නෙක් විය. ඔහු ලොව පුරා ප්‍රකට වූයේ ඒ නිසාය.

කුඩා වියේදී ම පියා ඔවුන්ගේ පවුල අතහැර ගියේය. ඔහුගේ මව, සොන්යා කාර්සන්, බෙන් සහ ඔහුගේ සොහොයුරා සමග ඔහු ලොව තනි විය. බෙන්ගේ ඉගෙනීමේ හැකියාව පැවතියේ ද ඉතා දුර්වල මට්ටමකය. ඔහු කිසිදු විෂයයකට ලකුණක් ගන්නට සමත් වූයේ නැත. ඒ නිසාම ඔහු පාසලේ දී අවමන් වින්දේ ය. ඔහු කළු ජාතික දරුවකු වූ නිසාම මුහුණ පෑ අසාධාරණයන් එමට ය. නමුත් ඔහු අධිෂ්ඨානය අතහැර දැමුවේ නැත. ඔහු පසුපස යෝධ සෙවණැල්ලක් සේ ඔහුගේ මව සිටියාය. ඇගේ උනන්දුව නිසාම බෙන් කෙමෙන් අධ්‍යාපනයෙන් හිනිපෙත්තටම ගමන් කළේය. අවසානයේ ස්නායු  ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ඔහු ඉතා අඩු වයසක දී ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ජෝන්ස් හොප්කින්ස් රෝහලේ ළමා ස්නායු රෝග අංශයේ අධ්‍යක්ෂවරයා බවට පත් විය.

බෙන් කාසන් සිය පළමු ශල්‍යකර්මය සිදුකළේ නේවාසික වෛද්‍යවරයෙකු ලෙස සිටිද්දීය. දිනක් බේස්බෝල් පිත්තකින් හිසට දරුණු පහරක් වැදුණු පුද්ගලයකු ඔහු සේවය කරමින් සිටි රෝහලට රැගෙන එනු ලැබිණි. ඔහුගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු එදින සමුළුවකට සහභාගීවන්නට ගොස් සිටි අතර මෙවැනි රෝගියකුට ප්‍රතිකාර කරන්නට තරම් සුදුසුකම් ලත් කිසිවෙකු එහි සිටියේ නැත. බෙන් කාසන් මෙතෙක් ශල්‍යකර්ම සිදු කොට නැතත්, එය කරන ආකාරය හොඳින් දැක තිබුණි. හිසට වැදුණු දරුණු පහර නිසා මොළය දැඩිව හානියට පත්ව තිබුණු අතර, හානි වී තිබුණු මොළයේ කොටස් ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතු විය. එසේ නොකොට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් පැමිණෙන තුරු සිටියහොත් රෝගියා නිසැකවම මරණයට පත්වන බව වෛද්‍ය කාසන් දැන සිටියේය. කිසිදා නොකරන ලද ශල්‍යකර්මයක් සිදුකොට යම් වැරදීමක් සිදුවුවහොත් ඔහුගේ මුළු වෛද්‍ය වෘත්තියම අතහැර දමන්නට සිදුවන බව ද ඔහු දැන සිටියේය. නමුත් අවසානයේ ඔහු එම ශල්‍යකර්මය කෙසේ හෝ කරන්නට අධිෂ්ඨාන කර ගත්තේය.

රෝගියාගේ හිස්කබල විවෘත කොට බැලූ විට දුටුවේ ඔහුගේ ලලාට සහ කාලික ඛණ්ඩිකා දැඩිව හානියට පත්ව තිබූ බව ය. වෛද්‍ය කාසන් ඉතා සීරුවෙන් එම කොටස් කපා ඉවත් කළේ ය. මොළයෙන් මේ ඛණ්ඩිකා ඉවත් කිරීම මගින් ඔහුට නීරෝගී ජීවිතයක් ගත කරන්නට ඇති ඉඩකඩ ඇහිරෙන්නේ නැත. සැත්කමෙන් පසු වෛද්‍ය කාසන් සිටියේ මහත් දෙගිඩියාවකිනි. රෝගියාට යම් සංකූලතාවක් ඇතිවුවහොත්, සිදුවන්නේ විනාශයකි. නමුත් ඔහුගේ වාසනාවට එවැන්නක් සිදු වූයේ නැත. ස්ථානෝචිත ප්‍රඥාවෙන් වෛද්‍ය කාසන් සිදුකළ එම ක්‍රියාව රෝහල් ප්‍රධානියාගේ ද පැසසුමට ලක් විය.

වෛද්‍ය බෙන් කාසන් සිය ජීවිතයේ මුහුණ දුන් තවත් විශේෂිතම අවස්ථාවක් වූයේ දරුණු ලෙස අපස්මාරය වැළඳුණු මරන්ඩා නම් දැරිය හමුවීම ය. ඇය කෙතරම් දරුණු ලෙස අපස්මාර රෝගයෙන් පීඩා වින්දාදැයි කිවහොත්, ඇයට එයින් ගැළවීමක් ලැබුණේ නින්දට වැටුණු මොහොතක පමණි. දරුණු අපස්මාර තත්ත්වයට ඇති එකම විසඳුම වන්නේ මොළයෙන් අර්ධයක් ඉවත්කිරීමේ ශල්‍ය කර්මය (hemispherectomy) සිදුකිරීමය. අපස්මාර රෝගී තත්ත්වය ඇතිවන්නේ මොළයේ එක් අර්ධයක් සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය තත්ත්වයට පත්වීම නිසා ය. මෙය ඉතා අවදානම් ශල්‍යකර්මයකි. මෙය වෛද්‍ය විද්‍යා ඉතිහාසය පුරා අත්හදා බලන ලද්දක් වූ අතර ඒ සෑම අවස්ථාවකම පාහේ සිදුවූයේ රෝගීන් මරණයට පත්වීමය. මරන්ඩා දුටු විගස මේ ශල්‍යකර්මය ඇයට ඇති එකම විසඳුම ලෙස කල්පනා කළත් මෙයට පෙර එය සිදුකොට ඇති වූ අවදානම් තත්ත්වයන් මෙනෙහි වීමෙන් එය කරන්නට බියක් දැක්වූයේය . අනෙක වෛද්‍ය කාසන්ගේ සමකාලීන කිසිවෙකු ඒ වනවිට මේ ශල්‍යකර්මයට අතගසා තිබුණේ ද නැත. කෙසේ නමුත් අවසානයේ ඔහු මෙය කරන්නට කැමැත්ත පළකළේය. ඇගේ දෙමාපියන් ද මෙයට කැමැත්ත පළ කළේ  ශල්‍යකර්මය සිදුකළත් නැතත් ඇයට වැඩි කාලයක් ජීවත්වන්නට වරම් නොමැති බව දැන සිටි නිසාවෙනි. ශල්‍යකර්මය සාර්ථක වුවහොත් ඇයට අඩුම තරමේ යම් අතුරු ආබාධ සහිතව හෝ ජීවත්වන්නට වරම් ලැබෙන බව ඔවුහු තේරුම් ගත්හ.

ඒ වන විට මරන්ඩා සිව් හැවිරිදි වියෙහි පසුවූවාය. අපගේ මොළය අර්ධ දෙකකින් සමන්විත වන අතර ඇගේ මොළයේ ගැටලුව පැවතියේ වම් අර්ධයේ ය. සිරුරේ දකුණු පැත්ත, කථනය, භාෂාත්මක හැකියා සියල්ල පාලනය වනුයේ මොළයේ ඒ අර්ධයෙනි. එම අර්ධය ඉවත්කිරීම නිසා සිරුරේ දකුණු පැත්ත, කථනය හා භාෂාව අහිමි වන්නට ඇති ඉඩකඩ ඉතා ඉහළය. ඇගේ මොළයේ වම් අර්ධය දැඩිව ඉදිමී තිබුණු අතර වෛද්‍ය කාසන් එය ඉවත් කළේය. මේ ශල්‍යකර්මය තුළ මරන්ඩාට රුධිරය පයින්ට් අටක් පමණ අහිමි විය. ඒ ප්‍රමාණය මෙන් දෙගුණයක රුධිරය ලබාදෙන්නට බෙන් කාසන් ඇතුළු පිරිස කටයුතු කළ හ. ශල්‍යකර්මය සාර්ථකව අවසන් කළ බව වෛද්‍ය කාසන් දැනසිටිය ද එහි ප්‍රතිඵල කුමක් වේදැයි ඔහු තුළ පැවතියේ දෙගිඩියාවකි. මරන්ඩාට සිහිය ලැබිණි. “අම්මටයි තාත්තටයි මම ආදරෙයි” ඇය සිහිය පැමිණි සැනෙන් පැවසුවාය. ඇයගේ සිරුරේ වම් පැත්තේ අත් පා චලනය කළාය. වෛද්‍ය කාසන්ට ද ඒ පිළිබඳ ඇතිවූයේ විස්මයකි. අවසානයේ වෛද්‍ය කාසන් මොළයේ අර්ධයක් ඉවත්කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව අවසන් කොට තිබිණි. ඇයගේ අපස්මාර රෝගය ද සුව වී තිබිණි.

එතැන් පටන් වෛද්‍ය කාසන් මොළයෙන් අර්ධයක් ඉවත්කිරීමේ ශල්‍යකර්ම 30 ක් පමණ සිදුකළ අතර ඒ අතරින් සිදුවූයේ එක් මරණයක් පමණි. ඔහුගේ දෑතට එවැනි සියුම් ශල්‍යකර්ම කිරීමේ දායාදය ලැබුණේ දෙවියන්ගෙන් බව බෙන් කාර්සන් තරයේම විශ්වාස කළේය. ඒ අනුව දෙවියන්ගෙන් දායාදයක් ලෙස ලැබුණු දෑතින් ඔහු ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැතිව සිටි දරුවන්ට ඔහු ජීවත්වීම සඳහා දෙවැනි වරමක් උදා කොට දුන්නේ ය.

ෂුෂුම්නා ශීර්ෂකයේ ඇති පිළිකා ගෙඩි ඉවත් කරන්නට සාමාන්‍යයෙන් ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ඉදිරිපත්වන්නේ නැත. ඒ එය අතිශය අවදානම් වන බැවිනි. නමුත් වෛද්‍ය කාසන් එවැනි ශල්‍යකර්මයක්  ද සාර්ථකව සිදු කළේය. ඒ ක්රෙග් නම් රෝගියෙකුට ය. ඔහු ද ශල්‍යකර්මයක් කළ ද නොකළ ද මිය යන තත්වයක සිටි බැවින් මේ ශල්‍යකර්මය කරන්නැයි ඔහුගේ පවුලේ පිරිස ඉල්ලා සිටියහ. අවසානයේ එය ද සාර්ථක විය.

ඔහුගේ ශල්‍යකර්ම ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් වූයේ හිසෙන් බද්ධ වූ දරුවන් දෙදෙනෙකු සාර්ථකව වෙන්කිරීමය. සාමාන්‍යයෙන් එවැනි ශල්‍යකර්මයකදී එක දරුවකු නිසැකවම මරණයට පත් වෙයි. නමුත් බෙන් සහ ඔහුගේ කණ්ඩායම දරුවන් දෙදෙනාගේම ජීවිත රැකගනිමින් ශල්‍යකර්මය කරන්නට සමත් විය. මේ ශල්‍යකර්මය සැලසුම් කරන්නටම මාස පහක් ගත විය. ඔහු සිය කණ්ඩායම සමග එක්ව එය කරන ආකාරය පුහුණු වූයේ ය. පැය විසිහතරක කාලයක් පුරා පැවති මේ සංකීර්ණ, සියුම් සහ විස්මයජනක වූ ශල්‍යකර්මය පෙර නොවූ විරූ ජයග්‍රහණයකි. හිසට පිටුපසින් බද්ධ වී සිටි  නිවුන්නු වෙන්කිරීමේ ප්‍රථම සාර්ථක ශල්‍යකර්මය තුළ දැක් වූ දායකත්වය මත වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ජනාදරයට පත් විය.

වෛද්‍ය බෙන් කාසන් නිරන්තයෙන්ම විශ්වාස කළේ මිනිසුන් සුවපත් කිරීම සඳහා ඔහුට ලැබුණු දෑත් දෙවියන්ගේ දායාදයක් ලෙසිනි. ඔහු මිනිසුන් වෙනුවෙන් එය උපරිම වශයෙන් යොදා ගත්තේ ය. ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ඔහු ජනාදරයට පත් වූයේ ඒ නිසා ය.

නිරංජන් චාමින්ද කරුණාතිලකගේ “ විශ්මිත දොස්තර ” කෘතිය ඇසුරිනි

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate