දරුවන්ට නිවැරදිව පණු බෙහෙත් දෙමු.

බිළිදෙකු මෙළොව එළිය දුටු තැන සිට මවකට පැවරෙන වගකීම අතිමහත්. දරුවාගේ සෞඛ්‍ය ය හා පෝෂණය ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. විශේෂයෙන් දුව පැන ඇවිදින කාලය තුළ බාහිර පරිසරයේ අපද්‍රව්‍ය මුඛය හරහා සිරුරට ඇතුළු විමේ ඉඩකඩ වැඩියි. ඒ නිසාම වයස අවුරුද්දකට වැඩි දරුවකුට පණු බෙහෙත් නිර්දේශය බටහිර වෛද්‍ය ක්‍රමයේත්  ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් සිදුවෙනවා. එය දරුවකුගේ නිරෝගී සෞඛ්‍යමත් ජිවිතයට හොඳ අත්වැලක් වනු ඇත.

ශ්‍යාමලී පතිරගේ මහත්මිය

නමුත් දරුවන්ට පණු බෙහෙත් දීමේ නියමිත ක්‍රම පවතිනවා. එම නිස නිවැරදි ක්‍රමය පිළිබද දැන ගැනීමට අපි මාතෘ හා ළමා සෞඛ්‍ය  ජනමාධ්‍ය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය සම්බන්ධ කර ගත්තා.

දරුවාට පණු රෝගයක් ඇති බව අඟවන ලක්ෂණ

කෑම අරුචිය, මලානික බව, කෙට්ටු වීම, දරුවා නොසන්සුන් වීම, පසුපස පෙදෙස රාත්‍රී කාලයේදී කැසීම හෝ එවැනි ඉරියව් පෙන්වුම් කරයි. එමෙන්ම, ඔක්කාරය, පාචනය, උදරාබාධ, විටමින් ඌනතා, නිරක්තිය, මුහුණේ සුදු පැහැති පුල්ලි මතුවීම, ඇගේ පලු දැමීම, නිතර පවතින කැස්ස, මුත්‍රා දැවිල්ල, නිතර මුත්‍රා යාම, මළපහ සමඟ ලේ පිටවීම , දත්මිටි කෑමේ තත්ත්ව නින්ද නොයාම කලාතුරකින් සිදුවන පණුවන් වමනය දීර්ඝකාලීනව පණු රෝගය ඇත්නම් හුණු හා පස් වැනි දැ කෑම.

කිරි පණු රෝගය

පණු රෝග කියන්නේ ඉතා පහසුවෙන් බෝවිය හැකි රෝගයක්. විශේෂයෙන් කුඩා දරුවන් අතර බහුලවම හමුවන පණු රෝගයක් වන්නේ කිරි පණු රෝගයයි. මේ කිරි පණු බිත්තර සුළඟින් පවා ව්‍යප්ත විය හැකියි. ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, තුවා හා  ඇඳුම්වල තැවරීම තුළ දරුවාට පහසුවෙන් මේ පණු රෝගය බෝවීමට පුළුවන්. මේ නිසා පණු බෙහෙත් ලබා ගැනීමේ දී පහත ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතුමයි. එසේ නැතහොත් නැවත නැවත ආසාධනය වීම සිදුවේ. පවුලේ සාමාජිකයන් සෑම දෙනාම එකම දිනයක දී පණු බෙහෙත් ලබා ගැනීම වැදගත් වේ. පණු බෙහෙත් ගත් පසු ඇද ඇතිරිලි, තුවා, යට ඇඳුම් වැනි දේවල් හොඳින් සෝදා පිරිසිදු කළ යුතුය. පුළුවන් නම් නටන උණු ජලයේ තම්බා සෝදා ගැනීම වගේම තද හිරු එළියේ වේලා ගැනීම වැදගත්.

දරුවකුට පණු බෙහෙත් ලබා දිය යුතු වයස් කාණ්ඩය සාමාන්‍යෙයන් දරුවකු අමතර ආහාර – පාන ගැනීම පටන්ගත් දා සිට ඕනෑම අවස්ථාවක පණු රෝගයක් ඇතිවීමට  හැකියාව තියනවා. නියමිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම් දරුවාට වයස මාස 28 ක් පමණ වනතෙක් පණු බෙහෙත් ලබාදීම අවශ්‍ය වෙන්නැහැ. නමුත් කුඩා දරුවන් නිතර බිම අතපත ගෑම හා අත කටේ දමා ගැනීම  කරනවා. ඒ තුළින් පණු ආසාධන ඇතිවීමට ඉඩකඩ වැඩියි. මේ නිසා රෝග ලක්ෂණ යම් මට්ටමක හෝ පළ කරන්නේ නම් පණු බෙහෙත් ලබාදීම සුදුසුයි. එසේම පණු බෙහෙත්වල අතුරු ආබාධ නොමැති තරම්ය.

පණු බෙහෙත් පෙති හෝ සිරප් වශයෙන් ලබා ගන්න පුළුවන්. වයස අවුරුදු 02  සිට  අවුරුදු 09ට වැඩි දරුවකුට තේ හැඳි 02 ක් බර අනුව ලබා දිය යුතුයි.

මාස 06 න් 06 ට හෝ නියමිත කාල පරතරයක් අතර පණු බෙහෙත් ලබාදීම වැදගත් ද ?

එසේ කාල පරතරයක් තබා පණු බෙහෙත් දීම අවශ්‍ය  නැහැ. රෝග ලක්ෂණ පහළ වුවහොත් පමණක් ලබාදීම ප්‍රමාණවත්. නමුත් මාස 06 කට වරක් ලබා දීම ගැටලුවක් ද නැහැ.

පණු ප්‍රතිකාර ලබා ගත් විට ස්නානය සුදුසු ද ?

මෙය මිථ්‍ය මතයක්.. පණු ප්‍රතිකාර ගත් විට අනිවාර්යයෙන්ම ස්නානය හෝ සිරුර සේදීම වැනි දේ කළ යුතුයි. විශේෂයෙන්මෙම අවස්ථාවේදී ඉතාමත් පිරිසිදුව සිටිම වැදගත්.

පණු ප්‍රතිකාර ගත් විට තෙල්, ඇඹුල් ආහාර – පාන සුදුසු ද ?

මෙහි විද්‍යාත්මක සත්‍යතාවක් නැහැ. බොහෝ කලකට පෙර භාවිත කළ සමහර පණු බෙහෙත් වලට තෙල් , ඇඹුල් ආහාර  – පාන ලබා ගැනිමේ ගැටලු ඇති වුව ද නවීන ඖෂධ වලට එවැනි ගැටලු ඇති වන්නේ නෑ.

පණු රෝගය නිට්ටාවට සුව කළ හැකි ද ?

දරුවන් පරිසරය සමඟ සිටින විට පණු රෝග පහසුවෙන් වැළදෙනවා. මේ නිසා සම්පුර්ණ සුව කිරීම හෝ වඳ කිරීම කරන්න බැහැ. නිසි ප්‍ර තිකාර හා යහපත් නිවැරදි සෞඛ්‍ය වත්පිළිවෙත් අනුගමනය වැදගත්.

පණු රෝග වලින් දරුවා වළක්වා ගැනීමට හොඳ සෞඛ්‍ය පුරුදු කුඩා කාලයේ සිටම හුරු කළ යුතුය.මවක් වු ඔබ ආහාර පාන පිළියෙල

කිරීමට පෙර ආහාර ගැනීමට පෙර සබන් ගා අත සෝදා ගැනීම කළ යුතුයි. දරුවා සෙල්ලම් කරද්දී අත් කටේ දමා නොගැනීම වගේම මුහුණ අත පත නොගෑමට උපදෙස් දිය යුතුයි.වැසිකිලි නිසි අයුරින් භාවිතයට හුරු කරවීම වගේම අත් පා සබන් යොදා සේදීමට හුරු කළ යුතුයි.
අත් හා පාදවල නිය කෙටි වන සේ කපා පිරිසිදුව තබාගැන, පෞද්ගලික පවිත්‍රතාව රැක ගැනීම පුරුදු පුහුණු කළ යුතුයි.

පණු රෝග යනු දරුවන්ට ඉතාමත් සුලබව වැළදෙන රෝගයක් වුව ද සුළු කොට තැකීම නොකළ යුතුය. ඒ තුළින් දරුවාට ඉතා අපහසුතා වලට වගේම පෝෂණිය අඩු ලුහුඩුතා ඇති කිරීමටත් හේතුවීමට පුළුවන්.

ඒ නිසාම ඔබේ පුංචි දරු සිඟිත්තාට නිරෝගී සෞඛ්‍යමත් දිවිපෙවෙතක් ළඟා කරදීම ඔබ සතු වගකීමකි.

සාකච්ඡා කළේ – කේෂානි සෙනවිරත්න

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate