දරුවන්ට වසර දෙකක් පාසැල් අධ්‍යාපනය අහිමි වීමේ විපාකය දශක ගණනක් යනතෙක් පවතීවි.

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස

සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු යම් කිසි මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අතර කොවිඩ් 19 වසංගතයත් සමග පාසැල් අධ්‍යාපනයෙන් දුරස්වීම නිසා එය සියයට 20 කින් පමණ වර්ධනය වී ඇති බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සඳහන් කළේ ය.

දරුවන්ට වසර දෙකක් පමණ පාසැල් අධ්‍යාපනය අහිමි වීම හේතුවෙන් මනෝ සමාජයීය පරිසරයෙන් දුරස්වීමේ ප්‍රතිඵලය දශක ගණනක් යනතෙක් එහි බලපෑම පැවැතිය හැකි බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී මීට සුළු මොහොතකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී  විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.

පාසැලේ අධ්‍යාපන කටයුතුවලින් බැහැරව ක්‍රීඩා කරන අවස්ථාවේදී, ආහාර ගන්නා අවස්ථාවේදී මෙන්ම බාහිර ක්‍රියාකාරකම් කරන අවස්ථාවේදී එකිනෙකාට උදව් කර ගැනීම, එකිනෙකාගේ හදවත තෙරුම් ගැනීමට හැකි වන අතර මෙම මනෝ සමාජයීය පරිසරය වසර දෙකක් පුරා අහිමි වීමෙන් දරුවන්ගේ පෞරුෂත්ව වැඩීමේ ලක්ෂණ අහිමි වන බව ද  හෙතෙම සඳහන් කළේ ය.

එම දරුවන් වැඩිහිටියන් බවට පත් වූ අවස්ථාවේදී ඉක්මනින් කේන්ති යාම, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම, සහකම්පනය නැති, නපුරු, අනෙකාට ගරු නොකරන ආවේගශීලි පුද්ගලයින් බවට පත් වන බවත් දරුවන්ගේ පෞරුෂත්වය වැඩීම සඳහා අවශ්‍ය පරිසරය පාසැල තුළින් දරුවන්ට හිමි වන බවත් මියුරු චන්ද්‍රදාස මහතා පැවැසීය.

මෙම තත්ත්වය ළදරු පාසැල් වයසේ සිටින දරුවන්ට බෙහෙවින් බලපාන බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා , අවුරුදු 3 -5 වයසේ දරුවන්ට පාසැල් සඳහා සූදානම් කිරීම පෙර පාසැල් මගින් සිදු වන බවත් එහිදී අකුරු ඉලක්කම් ඉගෙන ගැනීමට වඩා හැඩතල, වර්ණ හා සමාජයීය රිද්මය හඳුනා ගැනීමට දරුවන්ට අවස්ථාව හිමි වන බව ත් සඳහන් කළේ ය.

පාට කූර අතින් ඇල්ලීම, ක්ලේ වැනි ද්‍රව්‍යවලින් නිර්මාණ කිරීම මගින් දරුවාගේ දළ චාලක හැකියාව වර්ධනය වන අතර එයින් මොළය උද්දීපනය වන බව ද පැවැසීය.

එම නිසා විභාග මූලික අධ්‍යාපනයකට වඩා කුසලතා මූලික අධ්‍යාපනයක් ලබා දීම තුළින් අනාගතයේ පෞරුෂත්වයෙන් ඉහළ ජනසමාජයක් බිහි කිරීමට හැකියාව ලැබෙන බව ද විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate