
පාසැල් ආරම්භ කිරීමෙන් පසු දරුවන් අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් අනවශ්‍ය ලෙස දරුවන් පරිසරයට නිරාවරණය නොකරන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළා ය.
වැඩිහිටියන් පූර්ණ එන්නත්කරණයකට ලක්වී සිටිය ද දරුවන් එන්නත්කරණය නොවීම නිසා දරුවන්ට රෝගය වැළඳීමේ අවදානමක් පවතින බැවින් අත්‍යාවශ්‍ය කාරණයකට හැර දරුවන් නිවසින් බැහැරට නොයවන ලෙස සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (05) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
සැම විටම දරුවන්ට නිවසේදී පිළියෙළ කර ගත් ආහාර වේලක් ලබා දෙන ලෙස අවධාරණය කළ විශේෂඥ වෛද්‍යවරිය දරුවන්ට පිටතින් ආහාර දීම කිසිවිටෙකත් අනුමත නොකරන බව ද පැවැසුවාය.
පාසැලට ඇතුළු වීමේදී දෑත් සෝදා පන්ති කාමරය වෙත යන ලෙස නිතර දරුවන්ට උපදෙස් දෙන ලෙසත් නිතර ගැවසෙන විශ්වාසවන්ත යහළුවන් සමග පමණක් සෙල්ලම් කිරීමට දරුවන්ට උපදෙස් දෙන ලෙසත් ඇය අවධාරණය කළාය.
එමෙන්ම ගර්භනී මවුවරුන් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස වාර්තා වීමේ ප්‍රවණතාවක් පසුගිය දින කිහිපයේ දක්නට ලැබුණු බව ද ඇය අනාවරණය කළා ය. 65 – 75 ක් අතර පැවැති කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරු සංඛ්‍යාව ඊයේ (04) පෙරේදා (03) වන විට 100 දක්වා වර්ධනය වී ඇති බව ද පැවැසුවාය.
එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී පැහැදිලි කළ විශේෂඥ වෛද්‍යවරිය, ගර්භනී මවුවරුන්ගෙන් සියයට 95 ක් මේ වන විට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන තිබෙන බවද චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කීවාය.
වයස අවුරුදු 18 – 19 වයස් කාණ්ඩයේ පාසැල් දරුවන් එන්නත්කරණය ද ඉතා සාර්ථකව සිදු වන බව කී ඇය නිරෝගී දරුවන්ට එක් මාත්‍රාවක් ද යම් යම් රෝග තත්ත්වයන් ඇති දරුවන්ට එන්නත් මාත්‍රා දෙකම ලබා දෙන බව ද සඳහන් කළාය.