දරුවන් ප්‍රවේසම් කර ගත යුතු ඔන්ලයින් ක්‍රීඩා රැල්ල (online games)

මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

දරු පරපුර යනු රටක ජනසමාජයක අනාගතයේ තීරණාත්මක සාධකයකි. ඒ දරු පරපුරෙහි උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම දෙමාපියන්ට පමණක් නොව මුළු සමාජයටම පැවැරෙන වගකීමකි. නමුත් මේ වන විට එම සමාජ වගකීම ඉටු වන්නේ ද යන්න පිළිබඳ බරපතල ගැටලුවක් බවට පත්ව ඇත. තම පටු වාණිජ පරමාර්ථ වෙනුවෙන් දරුවන් බිලිගන්නා දරුණු කාලවකවානුවකට අපි මුහුණ දෙමින් සිටින්නෙමු.

කොවඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල් අධ්‍යාපනයෙන් දුරස්ව දරුවන් නිවසට කොටු වීමත්, අන්තර්ජාලය ඇසුරට ළමුන් වැඩි වශයෙන් යොමු වීමත් හේතුවෙන් ඉතා විශාල වශයෙන් ළමුන් දුරකතන ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටියි. ඒ ඇබ්බැහි වීම දරුවන් නිවෙස් තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමත්, අවසානයේ සියදිවි නසා ගැනීමේ තත්ත්වය දක්වා මේ වන විට වර්ධනය වී ඇත. ළමුන්ගේ මෙම තත්ත්වය පිළිබඳව කතා කළ යුතුම මාතෘකාවකි. ඒ නිසා අපි ඒ පිළිබඳව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා සම්බන්ධ කර ගත්තෙමු.

අපේ රටේ පමණක් නෙවෙයි, ලෝකය පුරාම දරුවෝ මේ වන විට අන්තර්ජාලය තුළ ක්‍රීඩාවලට (video Games) ඇබ්බැහි වී තිබෙනවා. මෙය දෙමව්පියන්ට පවා පාලනය කර ගත නොහැකි තත්ත්වයක් බවට පත් වෙලා. දරුවන්ගේ මෙම ඇබ්බැහි වීම පාලනය කර ගත නොහැකිව මනෝ වෛද්‍ය සායනවලට රැගෙන එන දරුවන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වී තිබෙනවා

මේක මානසික රෝගයක්ද?

අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වීම මානසික රෝගයක් ලෙස මේ වන විට ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් පිළිගෙන තියෙනවා. මේක රෝගයක් වෙන්නේ ඇත්තටම යම්කිසි පුද්ගලයකු ක්‍රීඩා කිරීම පාලනය කර ගන්න බැරි උනහම. මේක කොහොමද නවත්වන්නේ? කොහොමද පාලනය කර ගන්නේ? කියලා හිතුවත් ඒක කරන්න බෑ. වීඩියෝ ක්‍රීඩාව (video Games) රෝගයක් නෙවෙයි හැසිරීමක්. නමුත් මේකට ප්‍රමුඛස්ථානව දීම, පාඩම් වැඩකටයුතු, නිවසේ හෝ රැකියාවේ වැඩකටයුතුවලට වඩා මෙයට ප්‍රමුඛස්ථානය දෙනවා නම් ඒකත් මේකෙ නිර්ණායකයක්. හානිය දැන දැන දිගටම කරනවා නම්, එහි සමාජ හා අධ්‍යාපන හානියක් සිදුවේ නම් එම රෝගී තත්ත්වය හදුනාගැනීමේ නිර්ණායක ලෙස හඳුන්වන්න පුලුවන්.

මේ ඔන්ලයින් ක්‍රීඩාවලට බිලියන ගණනක වෙළඳපොලක් තියෙනවා. මේ වෙළඳපොළ ගිය වසරෙ ගත්තම බිලයන 137 ක් වෙනවා.මේක ලෝක ව් එකක්. මේකට ඇබ්බැහි වීම පිළිබද මනෝ විද්යාීත්මක හේතු පවතිනවා. මේ ක්රීනඩා හදලා තියෙන්නේ මනෝ විද්යාමඥයෝ. මේවා හදලා තියෙන්නේ මේකට ඇබ්බැහි වෙන බොහෝම ආකර්ශනීය විදිහට. ඒ වගේම මේකෙන් ලැබෙන දේවල්වලින් තෑගි (Rewards) එන විදිහට. ඒක මානසික Rewards වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක මට්ටමකින් (Laval) තවත් මට්ටමකට යනකොට සතුටක් ඇති වෙනවා. ඒක හරියට මත්ද්‍රව්‍යයලට ඇබ්බැහි වුණා වගේ.

මොලේ තියෙනවා ත්‍යාග පරිපථයක්. ඒක උද්ධීපනය වෙලා උදාසීන කරන හෝමෝන් එක ඇවිත් ඒකෙන් මොළයට උද්දීපනයක් ලැබෙනවා. ඒක හදලා තියෙන විදිහට කෙළවරක් නෑ .නමුත් ඒක කරන කෙනාට හිතෙනවා, තව ටිකකින් මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. නමුත් ජයග්‍රහණය ලබන්න බෑ. අවුරුදු ගාණක් යනවා ඒ ජයග්‍රහණය ලබා ගන්න. ඒ වගේම මේවා බහු ක්‍රීඩකයෝ ඉන්න ක්‍රීඩාවක්. ඒ කියන්නේ ගොඩක් දෙනෙකුට එකතු වෙලා මේ ක්‍රීඩාව කරන්න පුළුවන්.

සැබෑ ජීවිතයේදි යම් යම් බලාපොරොත්තු ඉෂ්ඨ කර ගන්න බැරි පිරිසක් ඉන්නවා. වාහනයක් ගන්න, ගෙයක් හදා ගන්න, මානව සම්බන්ධතා ගොඩනගා ගන්න බැරි අය ඉන්නවා. ඒ අයට මේ ක්‍රීඩා හරහා ඒක හදා ගන්න පුළුවන්. තරු අරගෙන , ලකුණු අරගෙන අන්තර් ජාලය තුළ චරිතයක් හදා ගන්නවා. ඒ දේවල් ලැබෙනකොට ඔවුන්ට සතුටක් ලැබෙනවා. ගොඩක් ක්‍රීඩකයෝ  අන්තර් ජාලය තුළ ඉන්න කොට ඒ අය සමග කතා කරනවා. සම්බන්ධතා හදා ගන්නවා.

තව දෙයක් තමයි, මේ දරුවන්ට විනෝද වෙන්න වෙන ක්‍රමයක් නෑ. කොවිඩ් නිසා පාසැල් නෑ. ටියුෂන් නෑ. අම්මා තාත්තා විවිධ හේතු නිසා දරුවන්ගෙන් ඈත් වෙලා. මේ හේතු නිසා මේ චරිත තුළින් යාළුවො ගොඩනැගෙන කොට ඒ අයගේ තනිකම පාළුව මැකෙනවා. නමුත් මේක සැබෑ ජීවිතය නෙවෙයි, මායාවක් විතරයි කියලා තේරුම් ගන්න ඔවුන්ට හැකියාවක් නෑ. මේ ළගදි අපි ළගට දරුවෙක් අරන් ආවා. කතා කරලා බලනකොට තාත්තාගේ බැංකු කාඩ්වල සල්ලි අඩුවෙනවලු . බලනකොට දරුවා තාත්තාගේ බැංකු කාඩ් එක හොරකම් කරලා ඒකේ සල්ලි යොදවනවා මේ ක්‍රීඩාවලට. මේක භයානකම තත්ත්වය තමයි, ළමයි දන්නේ නෑ තමන් ඇබ්බැහි වෙලා කියලා. ඔවුන් හිතන්නේ, අම්මයි තාත්තයි මට ගේම් එකක් ගහලා සිංදුවක් අහලා ඉන්න දෙන්නේ නෑ. අම්මා තාත්තා ඒ අයට ආදරේ නෑ, කියලා.දරුවෝ දන්නේ නෑ, ඔවුන් එයට ඇබ්බැහි වෙලා කියලා.

මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. අපේ රටේ දරුවෝ විතරක් නෙවෙයි. ඩිජිටල් උපකරණයක් තියෙන ඕනෑම දරුවෙකු මෙයට ඇබ්බැහි වෙන්න පුළුවන්. වයස සීමාව අවුරුදු 8 සිට තරුණ වයස දක්වා අය තමයි, මේකට වැඩිපුරම ඇබ්බැහි වෙලා තියෙන්නේ. මේ ක්‍රීඩාවලින් ලංකාවේ ළමුන් ඇබ්බැහි වෙලා තියෙන්නේ ක්‍රීඩා 5 -6 කට තමයි. මීට වඩා අහිංසක ක්‍රීඩා අන්තර්ජාලය තුළ තියෙනවා. ඒවා සීමාසහිතව කළාට වරදක් නෑ. ඇබ්බැහි වෙලා තියෙනවා නම් සියලුම ක්‍රීඩාවලින් අයින් වෙන්න ඕනේ. භයානක ක්‍රීඩා තියෙනවා, ඇබ්බැහි වීමේ ප්‍රවණතාව වැඩි.

මෙයින් සිදුවන බලපෑම කුමක්ද?

වීඩියෝ ක්‍රීඩාවලින් දිගුකාලීන හා කොටිකාලීන බලපෑම් තිබෙනවා. කෙටි කාලීනව ගත්තොත් ඒ ළමයාට තරහා යනවා වැඩියි. පොඩි ප්‍රශ්නයත් කෑ ගහලා – දඟලලා තමයි විසදන්න හදන්නේ. මේ බොහෝ ක්‍රීඩා තියෙන්නේ මිනිස්සු මරන්න. මිනිස්සු මරලා තමයි ඉදිරියට යන්න පුළුවන්. වෙඩිතියලා, ගහලා, කුඩු කරලා, විනාශ කරලා. ඒ තුළින් ප්‍රචණ්ඩත්වයට හුරු වෙනවා. ඒ මගින් සාමාන්‍ය සමාජයෙත් ඒ විදිහට ඉන්න උත්සාහ කරනවා. හැමතිස්සෙම උත්සාහ කරන්නේ අනෙකා පරාජය කරලා ඉදිරියට යන්න.අනිත් අය සම්බන්ධයෙන් කරුණාවක් නෑ. දයාවක් නෑ. ආදරයක් නෑ. සමාජ සම්බන්ධතා අඩු වෙනවා.අනිත් පැත්තෙන් මේ ක්‍රීඩා දිගින් දිගටම කරන කොට ‘විෂාධිය’ වගේ තත්ත්වයකට එන්න පුළුවන්.

ක්‍රීඩාවලින් ලොකු සතුටක් ඇති වෙනවා. තියෙන දුක අඩුවෙනවා. මානසික තත්ත්වය හොඳ වෙනවා. එතකොට සාමාන්‍ය සමාජයේ දේවල් එපා වෙනවා. ටීවී බලන්න, යාළුවෝ සමග සෙල්ලම් කරන්න, ගෙදර අය සමග එකට ඉන්න, අධ්‍යාපනය පවා එපා වෙනවා. සාමාන්‍ය සමාජයට ගියාම ඔරොත්තු දෙන්නේ නෑ. හරි පීඩනයක්. මෙය දිගින් දිගටම පැවතුණහොත් දීර්ගකාලීන විෂාධි තත්ත්වයකට පවා ලක් වෙන්න ඉඩ තිබෙනවා.

දේ ඉදන් හවස් වෙනකම් දුරකතනයේ ඉන්න නිසා දෙමාපියන්ට ඕන වෙනවා මේකෙන් ඈත් කරන්න. අම්මා තාත්තා දරුවට කෑ ගහනවා. බනිනවා. හරි ගියේ නැත්නම් ඔවුන් දරුවන්ගෙන් දුරකතනය ගන්නවා. එතකොට දරුවා හිතනවා අම්මා මට ආදරේ නෑ. මේ අය මගේ සතුටට බාධා කරනවා. මේගොල්ලො මගේ සතුරෝ. ඒත් එක්කම මේ ළමයි හුදෙකලා වෙනවා. සතුට නෑ. සිතුවිලි ගලාගෙන එන්නේ නෑ. වෙන දෙයක් කරන්න හිතෙන්නේ නෑ. එතකොට මේ අය ප්‍රචණ්ඩ වෙනවා. ජංගම දුරකතනය ඉල්ලලා රණ්ඩු කරනවා. හැපෙනවා. බඩු පොළොවේ ගහන්න පුළුවන්. අම්මට තාත්තාට ගහන්න පුළුවන්.  ඒ වගේ අවස්ථාවේදි තමන්ට ඕන දේ කර ගන්න අත – පය කපා ගන්න පුළුවන්.හදිසි වෙලා ජීවිතය නැති කර ගන්න පුළුවන්.සමහර විට ජීවිතය නැති කර ගන්න දරුවන්ගේ පෞරුෂත්ව ආබාධත් තියෙන්න පුළුවන්. හැම දෙනාම ජීවිතය නැති කර ගන්නේ නෑ. ඒ වගේ වෙලාවට ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතන්න පුළුවන්. සමහර විට ආවේගය පාලනය කර ගන්න බැරිවුණාමත් ජීවිතය නැති කර ගන්න පෙළඹෙන්න පුළුවන්.මේ තත්ත්වයට පත් වුන රෝගීන් අපි ළගට එනවා. අපි ඔවුන්ට කියන්නේ මෙහෙම හැසිරෙන්න දෙන්න.බඩු පොළවේ ගහන්න දෙන්න.ඒකේ සීමාවක් තියෙයි. දරුවාගේ ආතතිය දුරු වෙයි.

ඇබ්බැහි වීමේ අවදානම තිබෙන අය ඉන්නවා. ඒ තමයි කලින් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා හිටපු අය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අය, ලිංගිකත්වයට ඇබ්බැහි වුණ අය. මේ දේවල්මිවලට මීට කලින් ඇබිබැහි වෙලා තිබෙනවා නම් මේ ක්‍රීඩාවලට යන්නම එපා. යම් කිසි කෙනෙක් තමන්ගේ සීමාව දැනගෙන ඊට ඇබ්බැහි වෙලා නැත්නම්, ඇබිබැහිවීමේ අවදානම අඩු ක්‍රීඩාවක් කළාට කමක් නෑ. ඒක ඇබ්බැහි වීමේ රෝග ගණයට අයත් වෙන්නේ නෑ. ඒ වගේම සමාජමය වශයෙන් වරදක් ලෙස හදුන්වන්නේ නෑ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන දෙයක්.

ඇබ්බැහි වීමේ ලක්ෂණ මොනවාද?

පොදු ලක්ෂණ කිහිපයක් තිබෙනවා. නිතර නිතර තරහා යනවා නම්, ක්‍රීඩාව නැති වුණාම තරහා යනවා නම්, දුරකතනයේ බැටරි බැස්සම තරහා යනවා නම්, වෙනත් දෙයක් කරන්න හිතක් නැත්නම්, එහෙනම් ඇබ්බැහි වෙලා. ක්‍රීඩාව නොකර ඉන්නකොට ඒක ගැනම මතක් වෙනවද? ඒකේ ඉන්න චරිත ගැන, මනසට සිතුවිලි එනවද? කියලා බලන්න පුළුවන්. තමන් ම හිතලා නතර කරන්න ගිහින් ඒක කරන්න බැරි වෙලා තියෙනවද? මේ වගේ ලක්ෂණවලින් හිතා ගන්න පුළුවන් ඇබ්බැහි වෙලාද කියලා.

ඊටපස්සේ අපි බලන්නේ පැය කීයක් විතර ඔවුන් ගේම්වල ඉන්නවද කියලා. ගේම්වලට ඇත්තටම ඇබ්බැහි වෙලා නම්, අපි බලනවා මේක සම්පූර්ණයෙන් නවත්වන්න ඕනේද ? නැත්නම් පාලනය කරන්න පුළුවන් ද ? කියලා. හොදටම ඇබ්බැහි වෙලා නම් සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕන. එහෙම නැත්නම් පාලනය කර ගන්න ඕන. එතකොට අපි මුලින්ම කරන්නේ සීමාසහිත කරන එක. යම්කිසි කාලයක් දිනකට ලබා දෙනවා. නමුත් සමහර වෙලාවට ඒ උපක්‍රම අසාර්ථක වෙනවා.

දරුවන් මෙයින් මුදා ගන්නේ කොහොමද?

මේ දරුවා මේ වගේ ඇබ්බැහිවීමකට ලක්වුනේ ඇයි කියලා හොයලා බලන්න ඕනේ. මේකට හේතුව දෙමව්පියො දරුවන්ගෙන් ඈත් වීම නිසා වෙන් පුළුවන්. දරුවන්ගේ දීර්ගකාලීනව පවතින තනිකම, පාළුව, විෂාධි තතත්වය වෙන්න පුළුවන්. ඔවුන් දුරකතනයෙන් තමයි තමන්ගේ ජීවිතේ අඩුපාඩුව හදා ගන්නේ. තවත් සමහර වෙලාවට තමන් සහැල්ලු වෙන්නත් මේ ක්‍රීඩාවලට යන්න පුළුවන්. උදේ ඉදන් හවස් වෙනකම් වැඩ කරලා හවසට ගිහින් මේ වගේ ක්‍රීඩාවක නිරත වෙන්න පුළුවන් පොඩි සැහැල්ලු වීමකට. සැහැල්ලුවට අපි මේක හොද නෑ කියනවා නම්, වෙනයම් දෙයක් හදුන්වා දෙන්න ඕන. පොත පත කියවන්න, චිත්‍රපටි බලන්න, යාළුවො එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේ ම දරුවන්ට නිර්මාණශීලී දේවල් කරන්න හුරු කරන්න ඕන.නිර්මාණශීත්වය අඩු දරුවො මේ ක්‍රීඩාවලට පෙළඹෙනවා.

මේ ගේම්ස් හරහා නිර්මාණශීලිත්වයට නැඹුරු වෙනවා. නිවාස ගොඩ නගනවා.ජනපද ගොඩනගනවා. නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. හැබැයි ඒ මේ ඩිවයිස් එක ඇතුලේ විතරයි. අවදානය තියා ගැනීම වැඩි වෙනවා , ක්ෂණික තීරණ ගන්න හුරු වෙනවා වගේ හොඳ පැත්තකුත් මේ තුළ තිබෙන බව පර්යෙෂණවලින් සොයාගෙන තිබෙනවා.

මේ දෙවල්වලින් හරි ගියේ නැත්නම් මනෝ වෛද්‍යවරයෙකුගේ සහය ගත යුතුයි. ගොඩක් ම ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක් ජානමය වශයෙනුත් තියෙනවා නම්, ඇතැම් අවස්ථාවලදි ඖෂධ වර්ග භාවිත කරන්න පුළුවන්. දරුවෙකු කලින් ඉඳන් විෂාධිය වගේ රෝග තත්ත්වයක් තිබීම නිසා නම්, මේ ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා තියෙන්නේ ඒ අවස්ථාවෙදිත් ඖෂධ වර්ග ලබා දෙනවා.

Feature image by – english.newstracklive.com

Editor Health and Life

Related post

1 Comment

  • Valuable information’s.

Leave a Reply

Your email address will not be published.

Translate