දරුවාට අවශ්‍ය තරමට කිරි ලැබෙන්න නම් මව සතුටින් සිටිය යුතුයි.

මව්කිරිවල ගුණ මුල සිට දැන ගනිමු – 01 කොටස

දෙමාපියන්ට දරුවන් තරම් වටිනා සම්පතක් මේ මිහිපිට නැත. දසමසක් කුස දරා මෙලොව එළිය දකින ආදරණීය කිරිකැටියා ඉපදුනු ගමන් කෑ ගසා හඬන්නේ කිරි ඉල්ලාය. හුරු පුරුදු අයෙකු ලෙස පියයුරෙන් කිරි උරා බොන්නේ ය. මව සහ කිරිකැටියා අතර සම්බන්ධතාව ඇති වන්නේ එතැන් සිටය.

       නිලුක්ෂි තිලක්සිරි

සෑම මවකගේ මෙන්ම පියෙකුගේ ප්‍රාර්ථනය වන්නේ, තම දරුවන් නිරෝගී බුද්ධිමත් දරුවන් ලෙස හැදී වැඩීමය. එම නිසා දෙමාපියන් තම කුසට ආහාර නොගෙන තම දරුවන්ගේ ආහාර – පාන හා ෂණය ගැන සිතති. ඔවුන්ගේ අනාගතය ගැන සිහින දකිති.සෑම බලාපොරොත්තුවක්ම ඇති වන්නේ, දරුවා මෙලොව එළිය දුටුව පසුවය. මේ සියලු ප්‍රාර්ථනාවන් සඵල කර ගැනීමට මුලින්ම කළ යුතු දෙයක් ඇත්තේ ය. එනම්, දරුවා උපන් දවසේ සිට මාස හයක් දක්වා මව්කිරි පමණක් ලබා දීම ය.

මව්කිරි ලබා දීම දරුවාගේ වර්ධනය සඳහා වැදගත් සාධකයකි.දරුවෙකු පය බිම තබා ඇවිදින්නට මාස 12 ක්    පමණ ගතවේ. එතෙක් දරුවාගේ මොළය වර්ධනය, හෘදය වස්තුව, ඇස්, කන්, නාස ආදිය වර්ධනය වීම සිදුවෙයි. මේ සඳහා අවශ්‍ය සියළු පෝෂ්‍ය පදාර්ථ මව්කිරි තුළ අඩංගු වෙයි.

මව්කිරි පියයුරෙන් ලබා දුන්න ද මව්කිරි නිපදවෙන්නේ මනසිනි. එම නිසා කිරි දෙන සමයේදී මව නිරවුල් මනසකින් සහ ප්‍රීතිමත් ව කාලය ගත කිරීම මවට මෙන්ම දරුවාට ද ඉතා යහපත් ය. මව්කිරි නිපද වීමේ සිට දරුවාට මව්කිරි ලබා දීම දක්වා දීර්ග ක්‍රියාවලියක් පවතී. මේ පිළිබඳව සෑම මවක් ම දැනුවත් විය යුතුය. මව දැනුවත් වී සිටීමෙන් මව්කිරි ලබා දීමේදී ඇති වන ගැටළු රාශියකට විසඳුම් ලබා ගත හැකිය.
එම ගැටළු අතර පියයුරුවල ප්‍රමාණය හා හැඩය පිළිබඳව සමාජයේ විවිධ මත පවතින්නේ ය. පියයුරට හැඩයක් ලැබෙන්නේ, මේද හා පටක මගිනි. කිරි ස්‍රාවය කරන ගර්ත සහ ප්‍රනාල වටා සහායක පටක සහ මේද ඇත්තේ ය. ඕනෑම විශාල හෝ කුඩා ප්‍රමාණයේ පියයුරක කිරි නිපදවන ග්‍රන්ථි ප්‍රමාණය බොහෝ විට එක සමාන ය. ඒ නිසා ඕනෑම පියයුරක, ප්‍රමාණවත් ලෙස මව්කිරි නිපදවෙයි. දරුවා කිරි උරා බීම, නැවත කිරි නිපදවීමේ උත්තේජනයක් වෙයි. එයට ප්‍රතිචාර වශයෙන් මොළයේ පිටියුටරි ග්‍රන්ථිය ප්‍රොලැක්ටින හෝමෝනය ස්‍රාවය කරයි. රුධිරය හරහා පියයුරු සමග යා වන ප්‍රොලැක්ටින් මගින් කිරි ස්‍රාවය කරන ග්‍රන්ථි හරහා කිරි නිපදවයි.

දරුවා එක් කිරි වේලක් උරා බිව් පසු ඊළග කිරි වේල නිපදවීමට මිනිත්තු 30 ක් පමණ ගත වෙයි. මෙය චක්‍රයක් ලෙස කිරි නිපදවීමේ ක්‍රියාවලිය දවස පුරා සිදු වෙයි. ප්‍රොලැක්ටින් නිපදවන කිරි දරුවා උරා බොන තෙක් පියයුරේ ඇති තනමඩල නොහොත් ඇරයොලා කොටසේ ඇති ගර්ත හා කුඩා නාල තුළ රඳවා තබා ගනී. මෙසේ තැන්පත් කර සිටින කිරි, දරුවා උරා බොන විට සංවේදී ආවේග තනපුඩවේ සිට මොළය දක්වා ගමන් කරයි. එයට ප්‍රතිචාරයක් ලෙස මොළයේ පිහිටි පිටියුටරි ග්‍රන්ථය ඔක්සිටෝසින් හෝමෝනය ස්‍රාවය කරයි. එමගින් කිරි තැන්පත් වී ගර්ත වටා තිබෙන පේශී සංකෝචනය වී කිරි පිටතට ගලයි.

ප්‍රොලැක්ටින් නම් හෝමෝනය කිරි දීමෙන් පසු හා කිරි දෙන විට ස්‍රාවය වන දෙයකි. මේ මගින් මව්කිරි නිපදවෙන අතර නිපද වූ මව්කිරි තනමඩලේ ගර්තවල පිරී පවති. දරුවාට කිරි උරා බීමට පහසු වීම සඳහා පිටතට ගලා ඒම ඒ මගින් සිදු වෙයි. මෙම ක්‍රියාවලිය ඔක්සිටෝසින් මගින් සිදු වෙයි. මේ අනුව ඔක්සිටෝසින් ප්‍රතීකය නිවැරදිව ක්‍රියා නොකිරීම දරුවාට කිරි උරා බීම අපහසු කරවයි. එවිට තමාට කිරි නැති බව මවට හැඟෙනු ඇත. නමුත් සිදු වී ඇත්තේ ප්‍රොලැක්ටින් මගින් නිපදවෙන කිරි ගර්ත හා ක්ෂීර නාල තුළ රැඳී තිබුණත් ඔක්සිටෝසින් ප්‍රතීකය මගින් එම කිරි පිරුනු ගර්ත වටා ඇති මාංශපේෂී සංකෝචනය වී කිරි ගලා ඒමට අපහසු කරවයි. මේ නිසා එහි ඇති කිරි පිටතට වෑස්සීම සිදු

 

නොවෙයි. එම නිසා ඔක්සිටෝසින් ස්‍රාවය උත්තේජනය කර ගැනීමට මව්වරු දැන සිටිය යුතු ය.

මවගේ සිතුවිලි සහ හැඟීම් මෙම ඔක්සිටෝසින් ස්‍රාවය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි. මෙහිදී මවත් තම දරුවා කෙරෙහි සෙනෙහෙවන්ත සිතුවිලි ඇති ර ගත යුතුය. තම දරුවා මව්කිරෙන් පෝෂණය විය යුතු බැවින් කිරි ප්‍රමාණවත්  ව නිපදවිය හැකි බව මව විශ්වාසයෙන් සිතිය යුතු ය. දරුවා ආදරෙන් ස්පර්ශ කිරීම, සිප ගැනීම, නිතර දරුවාගේ ඇස් මායිමේ සිටීම ඉතා වැදගත් ය. එමෙන්ම දරුවා හඬන ශබ්දයෙන් ද කිරි ගලා එයි. ඔක්සිටෝසින් ප්‍රතීකය උත්තේජනය වීම නිසා කිරි උරා බීම පහසු කරවයි.

මව වේදනාවෙන් පසු වීම, කනස්සල්ලෙන් සිටීම, මව්කිරි මදි යැයි සිතීම වැනි සෘණාත්මක සිතුවිලි නිසා ඔක්සිටෝසින් ප්‍රතීකය නිසි පරිදි ක්‍රියාත්මක වීම නවතී. එහිදී කිරි ගලා ඒම වළක්වයි. මෙම තත්ත්වය තාවකාලික අතර මනස ධනාත්මක සිතුවිලිවලින් සකස් කර ගැනීමෙන් පසු නැවත යථා තත්ත්වයට පත් කළ හැකිය.

ප්‍රොලැක්ටින් ඊළග කිරි වේල නිපදවා එම කිරි ගර්ත හා ක්ෂීර නාලවල රඳවා තබා ගනී. රාත්‍රී කාලයේදී දරුවාට හොඳින් කිරි දීම නිසා ප්‍රොලැක්ටින් ස්‍රාවය හොඳින් දියුණු වෙයි. දරුවා කෙරෙහි දක්වන සෙනෙහස, ආදරය මවගේ විවේකය, නින්ද, ආත්ම විශ්වාසය මත ඔක්සිටෝසින් ස්‍රාවය වී ගර්තවල රැඳුනු කිරි පහසුවෙන් දරුවාට උරා බීමට සලස්වයි.

ඔක්සිටෝසින් ප්‍රතීකය ක්‍රියාත්මක වන බව හඳුනා ගැනීමේ ලක්ෂණ අපි ලබන සතියේ සාකච්ඡා කරමු.

නිලුක්ෂි තිලක්සිරි
පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනී
මනෝ විද්‍යා උපදේශක
අනුරාධපුර ශික්ෂණ රෝහල

 

.

 

 

Editor Health and Life

Related post

1 Comment

  • Great information..

Leave a Reply

Your email address will not be published.

Translate