දෑත් සේදීමේදී මේ ගැනත් දැන ගන්න.

විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට

අපි යම් කිසි කටයුත්තකට නිවසින් බැහැරට යන විට ඇඳුම් ආයිත්තම් පළඳිනවා. අපි හරි ආසයි ලස්සනට ඇඳ – පැළඳ ගෙන ගමනක් යන්න. නමුත් කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපිට අලුත් පැළඳීමකට හුරු වෙන්න සිදු වී තිබෙනවා.ඒ තමයි මුඛ ආවරණය. මෙය විලාසිතාවක් නොවුණත් එය මේ වන විට අපේ ජීවිතවලට නැතිවම බැරි පළඳනාවක් වෙලා.

ඒ වගේම තමයි, කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නිතර දෑත් සේදීමටත්, හුමාලය ඇල්ලීමටත් අපි හුරු වී සිටිනවා. මේ දේවල් නිවරදිව කරන ආකාරය පිළිබඳව විමසා බැලීම ඉතා වැදගත්.

 

මුඛ ආවරණ පැළඳීමේදී

මුඛ ආවරණ පැළඳීමේදී සමහර අයට යම් යම් අසාත්මිකතා ඇති වී තිබෙනවා. ඒ දිගු වේලාවක් මුඛ ආවරණ පැළඳීම නිසා සමෙහි යම් යම් රෝග තත්ත්වයන් ඇති වෙනවා. සමහර අයට මේ මුඛ ආවරණ පැළඳීම නිසා කුරුළෑ ඇති වෙන්න පුළවන්. සමහර අයට සමෙහි වෙනත් අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මුඛ ආවරණ පැළඳීම මගින් සමෙහි සමහර දිලීර වර්ග ඇති වීමටත් ඉඩ තිබෙනවා. විශේෂයෙන් ම ‘අළුහම්’ වැනි තත්ත්වයන්. එවැනි අවස්ථාවලදී රෙදිවලින් සැකසූ මුඛ ආවරණ පැළඳීමෙන් මේ තත්ත්වය පාලනය කර ගත හැකියි. මුඛ ආවරණය නොපළඳින අවස්ථාවේදී මුව හොඳින් පිරිසිදු කළ යුතුයි. ඒ  වගේම සැම විටම පිරිසිදු මුඛ ආවරණයක් පැළඳීම අනිවාර්යයෙන් ම කළ යුතුයි.

හුමාලය ඇල්ලීමේදී

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග අපි හුමාලය ඇල්ලීමට හුරු වී තිබෙනවා. මෙය ඉතාම පරිස්සමින් කළ යුතුයි. අධික උෂ්ණත්වයෙන් යුතුව හුමාලය ඇල්ලීම නොකළ යුතුයි. ඒ වගේ ම වැඩි උෂ්ණත්වයකින් හුමාලය ඇල්ලීම අවශ්‍යත්  නෑ. හුමාලය ඇල්ලිය යුත්තේ සමට ඔරොත්තු දෙන තරමටයි. සමට ඔරොත්තු නොදෙන තරමට උෂ්ණත්වය වැඩි වුණොත් සම මතුපිට පිළිස්සෙන්න පුළුවන්.

දෑත් සේදීමේදී

තව දෙයක් තමයි, අපි මේ වන විට වැඩිපුර වාර ගණනක් දෑත් සෝදන්න පුරුදු වී තිබෙනවා. එය හොඳයි. නමුත් අත් සේදීම නිසා සමහරුන්ට ප්‍රදාහය වැනි තත්ත්වයන් ඇති වෙන්න පටන් අරන් තිබෙනවා. සබන් ගා දෑත් සේදීමේදී අසාත්මිකතා ඇති වෙනවා නම්, ග්ලිසරීන් අඩංගු ඇල්කොහොල්  ද්‍රාවණ භාවිත කිරීමෙන් මෙම තත්ත්වය වළක්වා ගත හැකියි. එවැනි අසාත්මිකතා පවතින අය දෑත් ආවරණ පැළදීමෙන් නිතර දෑත් සේදීම අවශ්‍ය නෑ.

සමහරු දෑත් සෝදන විට අත් තදින් අතුල්ලනවා. මෙය කිසිසේත් නොකළ යුතුයි. දෑත් පිරිසිදුව තබා ගන්න ඇතිල්ලීම අවශ්‍ය නෑ. තත්පර 20 ක් අත සේදීම ප්‍රමාණවත්. නිතර සබන් යොදා දෑත් සේදීමෙන් සම වියලෙනවා. එය අවම කර ගැනීමට ප්‍රමිතියෙන් යුතු මොයිස්චර්රයිසර් ක්‍රීම් එකක් භාවිත කළ හැකියි.

මෙවැනි අසාත්මිකතා ඇති වී වර්ධනය වුවහොත් අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. කිසිලෙසකින් මුඛ ආවරණ පැළඳීම හෝ දෑත් සේදීම නතර නොකළ යුතුයි.

 

ජානක අකරවිට මහතා

චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate