දුම ශරීර ගත වී රුධිරය කැටි ගැසීම නිසා සිදුවන හානිය ගැන ඔබ දන්නවාද?

විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන

අපේ රටේ සිදුවන මරණවලින් සියයට 83 ක් ම සිදු වන්නේ බෝනොවන රෝග වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාග (ආඝාතය) පිළිකා නිසා බව රහසක් නොවේ. ඊට අදාළ වන අවදානම් සාධක වන්නේ, වෙනස් වන සමාජයත් සමග සීග්‍රයෙන් වෙනසකට භාජනය වී ඇති අපේ අහිතකර ආහාර රටාව යි. ව්‍යායාම අඩුකම, මත්පැන් සහ දුම්පානය මෙන්ම වායු දූෂණයයි.

වායු දූෂණය ගැන කතා කරද්දී අපට ගෘහස්ත වාත දූෂණය වන ආකාරය මෙන්ම පරිසරයේ සිදුවන වාහනවලින් පිටවන දුම, කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන දුමත් වැදගත් වෙනවා. මේ අයුරින් දූෂණය වූ වාහනය පෙනහළු පිළිකා, ඇදුම හා ස්වසන රෝග ඇති වීමට මුල් වන බව කවුරුත් දන්නා කරුණක්. එහෙත් විවිධාකාරයෙන් දූෂිත වූ වාතය, නොමේරූ දරු උපත් ඇති කරන්නට, අධික රුධිර පීඩනය, අංශභාගය වැනි රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව රෝග ඇති කර අකාලයේ මිය යන්නටත්, ඩිමෙන්ෂියා ඇති කරන්නටත් හේතු වේ.

නිවෙස තුළ නිසි වාතාශ්‍රය නොමැති නම්, නිතර දුමෙන් (ආහාර පිසින විට, නිවසේ සිටින්නන්, දුම් පානය කරන්නේ නම් පිටවන දුම) පිරී පවතී නම්, ගර්භනී සමයේ මුල් අවධියේ සිටම මවු කුස තුළ වැඩෙන කළලයට බලපෑම් ඇති වේ. අඩු උපත් බරක් සහිතව දරුවා මෙලොවට බිහි වෙයි. එවන් දරුවෙකු මෙන්ම නිසි උපත් බරක් ඇති දරුවෙකු වුව ද ළමා අවධියේදී නිවසේ මෙන්ම මග තොටදී ද නිතර දුම ආග්‍රහණය කළහොත් ශරීර වර්ධනය බාල වීමට, පෙනහළු වර්ධනය හීන වීමට, ඇදුම වැනි රෝග තත්ත්වවලට ගොදුරු වීමට මෙන්ම රුධිරවාහිනී ඝන වීමට ද ලක් වෙයි.

හෘදයාබාධ, පෙනහළු රෝග, අංශභාගය, දියවැඩියාව යන රෝගවල ගොදුරක් වීම වැළැක්විය නොහැකිය. ක්‍රම ක්‍රමයෙන් ජීවිතයට ඇතුළු වන මෙම අහිතකර සාධකය වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරයි. එමෙන්ම අඩු වයසින්ම බෝනොවන රෝගවලට ගොදුරු කරවයි. විශේෂයෙන් ම මරණ අවදානම ඇතිකරන හතරවන ප්‍රධාන හේතුව වන්නේ වාත දූෂණයයි.

ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව වායු දූෂණය නිසා වසරකට පුද්ගලයින් ලක්ෂ 70 ක් මිය යන අතර ඉන් සියයට 50 ක් මිය යන්නේ හෘදයාබාධ හා ආඝාතය හේතුවෙනි. හෘද රෝග නිසා සිදුවන මරණවලින් සියයට 25 කටත් ආඝාතය නිසා සිදුවන මරණවලින් සියයට 24 කටත් හේතු වන්නේ වායු දූෂණය බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

 හෘදයාබාධ හා ආඝාතය වැනි රෝගයන්ට වායු දූෂණය මුල් වන්නේ කෙසේද?

දූෂණය වූ වාතයේ විවිධ දූවිලි අංශු, වායු වර්ග, කුඩා රසායනික අංශු මෙන්ම ක්ෂුද්‍ර ජීවී කොටස් ද අන්තර්ගත වෙනවා. මේ බොහෝ දේ ඇසට නොපෙනෙන තරම් සියුම් අංශු වේ. අප හුස්ම ගැනීමේදී වාතය සමග මේවා ද අපේ පෙනහළු තුළට ඇතුළු වේ. පෙනහළු තුළ ඇති ඉතා සියුම් ගර්තිකා තුළ ඇති පටල හරහා එම අංශු, රුධිරවාහිනී වලට එකතු වේ. එවිට එම අංශු රුධිරවාහිනී වල අභ්‍යන්තරව පිහිටා ඇති සියුම් පටලය පසාරු කර ගෙන රුධිරවාහිනී බිත්තියට ඇතුළු වෙයි. කාලයක් පුරා මෙම ක්‍රියාවලිය සිදු වුවහොත් රුධිරවාහිනී ඝන වීමට, පටු වීමට මෙහිදී සිදු වන ක්‍රියාවලිය හේතු වෙයි.

ඒ නිසා අධික පීඩනයක් යටතේ රුධිරය පොම්ප කිරීමේ තත්ත්වයකට හෘදය හා රුධිර සංසරණ පද්ධතිය ක්‍රියා කරයි. එවිට අධික රුධිර පීඩනය ඇති වේ. එමෙන්ම දුමෙහි ඇති විවිධ අංශු නිසා රුධිරය උකු විමට හා කැටි ඇති වීමට සුදුසු පසුබිමක් සකස් වේ. උදාහරණයක් ලෙස නිතර දුම් බොන්නන්ගේ සිගරැට් දුමෙහි ඇති නිකොටින් රසායනිකය නිසා රුධිරය උකුවීම පෙන්වා දිය හැකිය. එවිට එම කැටිත්තේ හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිය හිර වුවහොත් හෘදයාබාධයක් ඇති වීමටත් මොළයට රුධිරය සපයන රුධිරවාහිනියක් සිර වුවහොත් ආඝාතය හෙවත් අංශභාගය ඇති කිරීමට ත් හේතු වෙයි. එපමණක් නොව, හෘදයේ විද්‍යුත් ක්‍රි යාකාරීත්වය මගින් සිදු වන හෘදය ස්පන්දනය වීමේ ක්‍රියාවලියට ද බාධා ඇති කරයි.

විවිධාකාර අයුරින් දුමට ගොදුරු වන අප ඉන් වැළකී සිටින්නේ කෙසේද?

නිවසේදී

• මුළුතැන්ගෙයි ආහාර පිළියෙළ කිරීමේදී හොඳින් ජනේල කවුළු විවෘත කරන්න.
• විවිධ තෙල් වර්ග රත් කිරීමේදී නිකුත් වන දුම්වලින් හැකිතාක් ඈත් වන්න.
• ගර්භනී මවක් නම්, මේ දුම් ආග්‍රහණයෙන් සම්පූර්ණයෙන් ඈත් වන්න.
• නිවසේදී වැසුණු පරිසරයක් තුළ දුම් පානය කිරීමෙන් වළකින්න.

එසේ පවසන්නේ විවෘත පරිසරයක දුම් පානය කරන්න කියා නොවේ.දුම්පානය යන පුරුද්දට කිසි විටෙක යොමු නොවන්න යන්නයි.ඔබ යම් විටෙක නිවස තුළ දුම් පානය කරන්නේ නම්, ඔබට පමණක් නොව, දරුවන්ට, නිවසේ සිටින අයට, ගර්භනී බිරිඳට, ඉපදෙන්නට සිටින දරුවාට ඔබ කරන්නේ විශාල වරදක්.

රැකියා ස්ථානයේදී

නිතර දුමට ගොදුරු වනවා නම් ඊට අදාළ ආරක්ෂක මෙවලම් පළදින්න.

මගතොටේදී

නාසය සහ මුඛය ආවරණය වන පරිදි මුඛ ආවරණ පළඳින්න.
එසේ වුවහොත් වසංගතයක් ලෙස පැතිර යමින් පවතින බොනොවන රෝගවලින් වැළකී සිටීමට ඔබට හැකි වේවි. ඔබ වටා සිටින්නන්ට හැකි වේවි.

එමෙන්ම කොරෝනා වෛරසයට ගොදුරු වූවන් ඉන් පහසුවෙන් සුවය ලබන්නටත් රෝගයට ගොදුරු නොවී සිටීමට තරම් ප්‍රතිශක්තියක් ගොඩ නගා ගැනීමටත් හැකි වේවි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන
බෝනොවන රෝග ඒකකය
සෞඛ්‍යය අමාත්‍යංශය

Editor Health and Life

Related post

2 Comments

  • Really useful article..

  • මෙම ලිපිය ඉතාම වැදගත් කරුනු කීපය මතු කරනු පෙනේ.දුම්බීම ආදිය ඉතා වැදගත් කරුනු අතරට ලංකාවේ නොසලකා හැර ඇති වාහන හරහා නිපදවෙන විශාල ශබ්ද සහ දුම් ගැන එතරම් සැලකිල්ලක් දක්වනු නොලැබෙන බව පෙනීයයි.රසායිනිකව වාහන දුම් පිලිකකාරක පටන් සියලුම බෝනොවන රෝග වලට හේතුවන රසායන කාරක පිරී ඇති අතර අප රටේ වාහන 100% කිසිදු ආරක්ශක ක්‍රමයක් නැතිව භාවිතා කරන අතර සමහර රටවල තහනම් ඇන්ජින් මෙහි කිසිදු විචාරයක් නැතිව පාවිච්චි කරයි.ප්‍රතිපල හැටියට සෑම දිනකම අපේ රෝහල් පෙර අසා නැති රෝග සෑදුනු රෝගීන් ගෙන් පිරී යන අතර channel center වල ඉඩනැත.වෛද්‍යවරුන් මේ ගැන එතරම් බැරෑරුම් ලෙස නොබලා නිශ්ශබ්ද වී ඉන්නේ සැමදා රෑ සල්ලි මල්ලක් ගෙදර අරන් යන්න ලැබෙන නිසායි. තවද මේ රෝගින්ට විශාල වශයෙන් ඖෂධ පෙති කරල් නියම කරන නිසා ඖෂධ ජාවාරමට ද කිව නොහැකි තරම් මුදල් ලැබේ.අපේ රටට මෙම විනාශය වලක්වාවගැනීමට හෝ සාකච්ඡා කිරිමට තරම් වැදගත් බවක් දකින්නට අපේ බුද්ධිය වැඩී නැති සෙයක් පෙනී යයි.

Leave a Reply

Your email address will not be published.

Translate