දෙමාපියනි, අන්තර්ජාලය භාවිතයේ දී දරුවා තුළ ස්වයං විනයක් ගොඩනැඟීමට උත්සාහ කරන්න

ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා ගයානි එල්ලාවල

මල් කියන්නේ කාට කාට – ළමයින්ටයි පාට පාට ………..

මලක් කියූ පමණින් අපට නිතැතින්ම සිහියට නැඟෙන්නේ මෘදු, මොළොක් හා පිවිතුරු දෙයකි. ළමයින් ද ඒ වගේ ය. අප ළමයින් මල්වලට සමාන කරන්නේ ඒ නිසාය.ළමයිනුත් මල් මෙන්ම විවිධ වර්ණයන්ගෙන් යුක්තය. ඔවුන්ට මෙසේ වෙනස් පාට ලැබෙනුයේ ඔවුන්ගේ සිතුම් – පැතුම් හා හැසිරීම් එකිනෙකාට වෙනස්   බැවිනි.

ඉතින් මෙවැනි නෙක පාටින් යුතු ළමයින් කොරෝනා වසංගතයට ද මුහුණ දෙන්නේ විවිධ ආකාරයටයි. එසේම ප්‍රතිචාර දක්වන්නේ ද වෙනස් ක්‍රමවලට ය. වයසින් අඩු වැඩි වූවත් අප කවුරුත් මනුෂ්‍යයින් ය. එනිසා දරුවන්ට පමණක් කොවිඩ්-19 රෝගය හා බැඳුණු මානසික බලපෑම්වලින් මිදීමට හැකියාවක් නැත.

මෙම අභියෝගාත්මක කාලය ළමයින්ට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල කළේ ය. පෙර පාසැල් හා පාසැල් පද්ධතිය වැසීයාම තුළින් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවල විශාල වෙනසක් ඇති විණි. යහළුවන් සමග එකට ගත කළ කාලය මෙන්ම එළිමහනේ කෙලිදෙළෙන් ගත කළ කාලය ද අහිමි වී ගියේ ය. ඒ නිසා ශාරීරික ක්‍රියාකාරකම්වලට ද යම් තරමක බාධාවක් ඇතිවිණි.එමෙන්මමෙම වසංගතය සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ හා වැඩිහිටියන්ගේ නොසන්සුන්කාරී හැසිරීම් ද ළමා මනසට බලපෑම් ඇති කරන බව අපි තේරුම් ගත යුතුය.
දරුවන් දැන හෝ නොදැන කොරෝනා වසංගතය පිළිබඳව විද්‍යුත් මාධ්‍ය  සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වන වාර්තා සහ රූපරාමුවලට නිරාවරණය වීම ද ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි.

මෙවැනි නොසන්සුන්කාරී වාතාවරණයක කුඩා ළමයින් දෙමවුපියන්ගේ  යන්ගේ   ඇඟේ එල්ලී ම හා දෙමව්පියන්ට වෙනදාට වඩා කරදර කිරීම සාමාන්‍ය දෙයකි. එහෙත්, පහත දැක්වෙන හැසිරීමේ වෙනස්කම් දරුවන් තුළ  දක්නට ලැබේදැයි දෙමව්පියන් වෙනදාට වඩා කල්පනාවෙන්   සොයා බැලිය යුතුය.

• ආවේගශීලී බව (නිතර තරහා යාම)
• අඬන සුළු බව
• අධික බියක් දැක්වීම
• පැත්තකට වී සිටීම
• අධ්‍යාපන වැඩවලට හෝ විනෝදාංශවලට වෙනදා තිබූ උනන්දුව අඩු වීම
• නිදා ගැනීමේ රටාව වෙනස් වීම (නින්ද නොයාම හෝ වැඩිපුර නිදා ගැනීම)
• නොයෙකුත් කායික රෝග ලක්ෂණ පෙන්වීම
උදාහරණ: හිසරදය, බඩේ වේදනාව
• ජංගම දුරකතන, පරිගණක වැනි විද්‍යුත් උපාංගවල ඇලී ගැලී සිටීම

 

දරුවන් මෙසේ විවිධ සංඥාවලින් දක්වන ඔවුන්ගේ සිතෙහි ඇති ආතතිය, නොසන්සුන්තාව හා බිය පිට කිරීමට ඉඩ සලසන සුරක්ෂිත හා සුවදායක වටපිටාවක් තිබීම ඉතා වැදගත්වේ.

ඒ නිසා ඔබේ දරුවාගේ කනස්සලු බවට හෝ නොසන්සුන්කාරී බවට හේතු වන දේට හොඳින්, අවධානයෙන් සවන් දෙන්න. දරුවාට උදව්වක් වන ආකාරයේ ප්‍රතිචාර දක්වන්න. ඔවුන් කියන දේ තේරුම් ගත් බව ඔවුන්ට අඟවන්න.මෙවැනි දුෂ්කර කාලවලදී දරුවන්ට වැඩිපුර අවධානය මෙන්ම ආදරයත් අවශ්‍යයි. වෙනදාට වඩා නිවසේ පරිසරය ආදරය පිරුණු, රැකවරණය පිරුණු තැනක් බවට පත් කිරීමට ඔබ වගබලා ගත යුතුයි.

දෙමව්පියනි, ඔබේ දරුවාට දැනෙන්න ආදරය දක්වන්න. දරුවාට නොදැනෙන ඔබේ හිතේ පමණක් තිබෙන ආදරයෙන් පලක් නැත. තම දෙමව්පියන්ට, වැඩිහිටියන්ට තමා ‘වැදගත් කෙනෙක්’ යන හැඟීම දරුවාට දැනෙනවා නම්, ඊට වඩා අස්වැසිල්ලක් දරුවාට තවත් නැති බව අප සිතට ගත යුතුය.

වෙනදාට වඩා වැඩිපුර කාලයක් දරුවන් වෙනුවෙන් යොදවන්න. ඔවුන් සමග කතා බහ කිරීම, ක්‍රීඩා කිරීම, අධ්‍යාපන කටයුතු කිරීම ආදිය ඔබට කළ හැකි ය. දිනපතා ක්‍රියාකාරකම් හැකි තරම් නොවෙනස්ව තබා ගන්නට දරුවාවඋනන්දු කරවන්න. බොහෝ රෑ වන තුරු නින්දට නොයාම සේම ප්‍රමාද  වී උදේට අවදි වීම ද දරුවාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකිය.

දරුවන් බොහෝ විට වැඩිහිටියන්ගේ හැඟීම් සහ හැසිරීම් අනුකරණය කරන බව අප හොඳින් මතක තබා ගත යුතුය. එනිසා මෙහිදී වැඩිහිටියන් සන්සුන්ව දරුවන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දී ඔවුන්ට කාරුණිකව කතා කිරීම මගින් ඔවුන්ගේ ළපටි සිත් ශක්තිමත් කළ යුතුය. සන්සුන්ව හා වගකීම් සහගත ලෙස හැසිරීමෙන් ඔබේ දරුවාට ආදර්ශමත් චරිතයක් විය යුතුය.

දරුවන් යනු කුතුහලයෙන් පිරුණු නිමැවුමකි. මෙවැනි නොසන්සුන්කාරී අවස්ථාවලදී වැඩිහිටියන් කතාකරන දේ සහ හැසිරෙන ආකාරය පිළිබඳව දරුවෝ හොඳ අවධානයෙන් සිටිති. එනිසා කොවිඩ්-19 රෝගය පිළිබඳ වූ තොරතුරුවලින් ළමා මනසේ ඇතිවන අපහසුතා අවම කිරීමට වැඩිහිටියන්ට ඇත්තේ ඉමහත් වගකීමකි. මාධ්‍ය තුළින් ප්‍රචාරය වන හිතට කැළඹීමක් ඇති කරවන තොරතුරු දරුවන් සමඟ එකට හිඳ ඇසීම හා නැරඹීම සීමා කළ යුතු ය. කටකතා හෝ තහවුරු කර නොගත් තොරතුරු දරුවන් ඉදිරියේ කතා කිරීමෙන් වැළකීමට ද සිතට ගත යුතු ය.දරුවන්ට ඇසෙන දකින දේ සහ සත්‍යය දේ අතර වෙනස තෝරා ගන්නට අපහසුය. ඒ නිසා ඔවුන්ගේ වයසට ගැළපෙන තොරතුරු පමණක් ඔවුන්ගේ රැකවරණය සහතික කරන ආකාරයට ලබා දීම ඉතා වටී.

මාර්ගගත අධ්‍යාපනයට යොමු වීම නිසා පසුගිය කාලයේ දරුවන් විද්‍යුත් මෙවලම්වලට නිරාවරණය වීම වැළැක්වීමට අපට නොහැකි විය. එහෙත් දැනටත්අධ්‍යාපන කටයුතුවලට ඒවායින් උදවු ලබා ගන්නා කාලයෙන් බැහැරව එවැනි මාධ්‍ය භාවිතය සීමා කළ හැකිය. අන්තර්ජාල ක්‍රීඩා හා අනවශ්‍ය යෙදුම්වලට (Apps) සීමා සකස් කිරීම, දරුවාට වෙනමම මාර්ගගත ගිණුමක් සාදාදීම, තිර කාලයට (screen time) සීමා සකස් කිරීම වැනි දේ මෙහිදී වැදගත් ය.

අන්තර්ජාලයේ ඇති හරි වැරදි දේ පිළිබඳව දරුවාට අවබෝධයක් ලබා දීම හරහා දරුවා තුළ ස්වයං විනයක් ගොඩනැඟිය හැකි නම් එය  මුළු ජීවිත කාලය පුරාම පවත්වා ගැනීමට දරුවා හුරුවනු ඇත. දරුවා ඉදිරියේ විද්‍යුත් උපාංග නිතර භාවිතය හැකිතාක් අඩු කර දරුවාට ආදර්ශයක් වන්න. ‘අවවාදයට වඩා ආදර්ශය උතුම් ය’ යන කියමන සිහියට ගන්න. දරුවාගේ විනය පිළිබඳ සැලකිලිමත් වන දෙමව්පියකු වීම අත්‍යාවශ්‍ය ය. ඔබ මෙතෙක් අනුගමනය කළේ දරුවා ඇති දැඩි කිරීම පිළිබඳ ලිහිල් ක්‍රමවේදයක් නම්, වඩාත් වගකීම් සහගත ක්‍රමවේදයන්ට අනුගත වන්න. අධ්‍යාපනයෙන් බැහැර කාලය දරුවා ආස කරන වෙනත් කටයුතුවල යෙදීමට දරුවා යොමු කරවන්න. චිත්‍ර ඇඳීම, සින්දු කීම, නැටීම, ගෙවත්තේ ක්‍රීඩා කිරීම වැනි දෙයින් දරුවා මානසිකව මෙන්ම කායිකව ද නිරෝගීව වැඩේ.

මෙලෙස කොරෝනා වසංගතය හමුවේ ළපටි සිත් මල් මැලවෙන්නට නොදී රැක ගැනීමෙන් යහපත් මානසික සෞඛ්‍යයකින් පිරි අනාගත පරපුරක් බිහි කිරීමට ඔබටත් මටත් දායක විය හැකිය.

 

ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා ගයානි එල්ලාවල

මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂ කාර්යාලය,

සෞඛ්‍යය අමාත්‍යංශය

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate