දෙමාපියනි, දරුවාගේ විභාග ප්‍රතිඵලය දෙස උපේක්ෂාවෙන් බලන්න.

විභාගය කටු අත්තක් නොව මල් ඉත්තක් කර ගැනිමු.

විභාගයක් අවසන් වූ පමණින් අධ්‍යාපනය  නිම වන්නේ නැත. යම් විභාගයක් අවසානයේ විභාගය ජය ගත්තාද? නැද්ද? යන්න රඳා පවතින්නේ ඔබේ අපේක්ෂිත ප්‍රතිඵලය මත නොව “අපේක්ෂිත බලාපොරොත්තු” මතය. ඔබත් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහණ දි අපේක්ෂිත ප්‍රතිඵලය නොලද දරුවෙකු විය හැකිය. ලැබූ ප්‍රතිඵලය ගැන සමහර විට ඔබ සිටින්නේ කනස්නල්ලෙන්ද? ඔබට නොලැබුණේ ඔබ අපේක්ෂා කළ දේටත් දෙමව්පියන් හෝ නෑදෑ හිතමිතුරන් ඔබ වෙත තැබූ බලාපොරොත්තු විය හැකිය.

විශේෂඥ වෛද්‍ය යමුනා ගයානි     එල්ලාවල

අපේ දරුවන් මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ අභියෝගාත්මක කාලයක් ගත කරමිනි. ඔවුන්ට එක දිගට පාසැල් අධ්‍යාපනය ලබා ගැනීමේ වරම් අහිමි වුණි. අධ්‍යාපන රටාවේ සිදුවූ වෙනස්කම් සමග චර්යාමය වෙනස්කම්වලට මුහුණ දීමට ඔවුන්ට සිදු වුණි. වෙනදා මෙන් රණ්ඩු වෙවී, යාළු වෙවී පාසැල තුළ ගත කළ කාලයට කොවිඩ්- 19 ව්‍යාප්තිය හමුවේ තිත තැබීමට සිදුවිය.

මේ වෙනස්කම් දරුවන්ගේ  මානසික සෞඛ්‍යයට යම් බලපෑමක් ඇති කළ බව අප පිළිගත යුතුය. මාර්ගගත අධ්‍යාපන රටාව (online) අපේ දරුවන්ට එතරම් හුරු පුරුදු නොවූ යුගයක සිදුවූ මෙම වෙනස නිසා දරුවන්ට එයට හැඩ ගැසීමට යම් කාලයක් ගතවිණි. තවත් දරුවන්ට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් හරි හැටි නොලැබෙන්නට ඇත. මේ සියල්ල විභාගයට මුහුණ දෙන විට ඇතිවන සාමාන්‍ය ආතතිවලට තවත් ආතතීන් එක් කිරීමකි.

ඔබේ ප්‍රතිඵලය ඔබ අපේකෂා කළ ප්‍රතිඵලය නොවුණත් ඔබ අභියෝග ජයගත් දරුවෙකි. කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා වීමට නිසි සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් විභාගයට මුහුණ දුන් ඔබ ප්‍රතිඵලය කුමක් වුවත් එක්තරා විදිහක ජයග්‍රාහකයෙකි . ඒ නිසා ඔබට ලැබුණු ප්‍රතිඵලය උසස් පෙළ නම් වූ ඉදිරි කඩ ඉම කරා යාමට, ඔබ කැමති විෂය ධාරාව හැදෑරීමට සෑහේ නම්, ඔබ කළ යුත්තේ ලැබුණු ප්‍රතිඵලයත් සමග ඉදිරියට යාමය. නොලැබුණු දෙයක් ගැන ලතවෙවී සිටිනවාට වඩා ලැබුණු දෙයින් ජීවිතය ඉදිරියට ගෙන යාමට ඔබ අදිටන් කර ගත යුතුය.

ඔබේ ඉදිරි ගමනට ප්‍රතිඵලයේ තිබෙන ‘A’ අකුරු ගණන, ‘B’ අකුරු ගණන ආදිය බාධාවක් කර නොගන්න. ඔබ කළ යුත්තේ ශක්තිමත් සහ යහපත් මානසික මට්ටමකින් ඔබේ ඉදිරි ගමනට සූදානම් වීමයි. ඔබේ අරමුණ කරා ළඟා වීමට ලැබුණු ප්‍රතිඵලය සෑහේ නම්, එයින් තෘප්තිමත් වන්න.

එසේම යම් හෙයකින් ඔබේ අරමුණ කරා යාමට ඔබට ලැබුණු ප්‍රතිඵලය ප්‍රමාණවත් නොවන්නේ නම්, අතීතය ගැන පසු තැවී හිඳීම නොව නව ජවයකින් තම අරමුණ කරා යාමට වැඩ ඇරඹීමට එම කාලය යොදවන්න. ඒ සඳහා ඔබ පෙර අනුගමනය කළ උපාය මාර්ගවල ඇති අඩුපාඩු සකසා ගනිමින් ලබන වර සාර්ථකත්වය කරා ළඟා වීමට කටයුතු කිරීමට සිතට ගන්න. මේ සඳහා ඔබගේ ගුරු දෙගුරුන්ගේ සහ පාසැල් යහළුවන්ගේ සහයෝගය ද ලබා ගත හැකිය.

විභාගයත් සමග මෙන්ම විභාග ප්‍රතිඵලය සමග එන ආතතීන් සාමාන්‍ය දෙයකි. විභාගයට මුහුණ දෙන විට යම් තරමක ආතතියක් තිබීම අවශ්‍ය දෙයකි. එයින් දරුවාට පාඩම් කිරීමට, නව දැනුම සෙවීමට හා සාර්ථකව විභාගයට මුහුණ දීමට යම් උත්තේජනයක් සැපයේ.
එහෙත් සමහර දරුවන් විභාගය ළංවන විට හෝ විභාගය පවතින අවස්ථාවලදී වැඩිපුර ආතති, නොසන්සුන්කාරී තත්ත්වයන්ට පත් වේ. මෙවැනි තත්ත්වයන් ඇති වන්නේ ආතති දරා ගැනීමේ හැකියාවන් අඩු වීම හෝ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාවේ අඩුපාඩු නිසා ය. එම නිසා කුඩාකල සිටම මෙවැනි ආතති දරා ගැනීම සඳහා දරුවාගේ මානසික සෞඛ්‍යය  නඟා සිටුවිය යුතුය. ජීවන කුසලතා වැදගත් වන්නේ මෙහිදීය. නිර්මාණශීලී චින්තනය, විශ්ලේශනාත්මක චින්තනය,ඵලදායී සන්නිවේදන කුසලතා ආදිය දියුණු කිරීම මෙහිදී  වැදගත්වේ.

පොතපතේ රැඳීසිටින කාලයට අමතරව ක්‍රියාශීලී වීමට, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට සහ විනෝදාංශවල යෙදීමට යම් වේලාවක් වෙන් කර ගැනීම අත්‍යවශ්‍ය ය. දැන් ඔබ පාසැල් දිවියේ තවත් කඩ ඉමකට සූදානම් වන අවස්ථාවේදී මෙවර විභාගයට සූදානම් වීමේදී ඔබගෙන් සිදුවූ අතපසුවීම් මගහරවා ගැනීමට මෙන්ම දරා ගැනීමේ හැකියාවන් ද වැඩි දියුණු කර ගැනීමටත් සිතට ගත යුතුය.

දෙමව්පියනි, ඔබට සිතන්නට යමක්.

දෙමව්පියනි, ඔබ බොහෝ විට ඔබට ළඟා කර ගත නොහැකි වූ අපේක්ෂාවන් හෝ බලාපොරොත්තු ඔබේ දරුවාගෙන් ඉටු කර ගැනීමට යාම සුදුසු නැත. පෙනුමින් ඔබට සමාන වුණත් ඔබේ දරුවා යනු වෙනම පෞරුෂයකි.වෙනම පුද්ගලයෙකි. දරුවා තුළින් ඔබේ ළමා කාලය හෝ ඔබේ අපේක්ෂාවන් දැකීම අනුවණකමකි. ඒ නිසා ඔබේ දරුවා ලබා ගත් ප්‍රතිඵලය දෙස උපේක්ෂා සහගතව බැලීමට ඔබ පුරුදු විය යුතුය. මක්නිසාදයත්,එම ප්‍රතිඵලය ඔබට වෙනස් කළ නොහැකි බැවිනි.

අනවශ්‍ය ලෙස බලාපොරොත්තු තබා ගැනීමෙන් සිදු වන්නේ ඒවා බිඳ වැටුණු විට දරුවාටත් වඩා ඔබට එය දරා ගත නොහැකි වීමයි. ඔබේ බලාපොරොත්තු ඉටු කිරීමට දරුවාට ද නොහැකි වීම නිසා එම දරුවාගේ මානසික යහපැවැත්මට ද එය අහිතකර ලෙස බලපායි.
එම නිසා දෙමව්පියන් ලෙස අප බුද්ධිමත්ව දරුවාගේ ප්‍රතිඵලය දෙස බැලිය යුතුය.

විභාග ප්‍රතිඵල ලැයිස්තුවේ ඔබේ දරුවාගේ නම තිබෙන ස්ථානය ඔබට ඔබේ දරුවාටත් වඩා වැදගත්ද? මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලුම විෂයයන්ට විශිෂ්ඨ සාමාර්ථ නොලැබුණත් ඉදිරියේදී එන කඩඉම් විභාගයන් ජය ගැනීමට දරුවාට ශක්තියක් වීම ඔබේ දෙමාපියභාවය තුළ ගැබ් වූ එක වගකීමකි.

පහේ ශිෂ්‍යත්වය මෙන්ම  අනෙකුත් විභාගවලින් ද විශිෂ්ඨ සාමාර්ථ නොගත් විද්වතුන් පිළිබඳව ඔබ අසා ඇතුවා නොඅනුමානය. මේ මොහොතේ ඔබ කළයුතු බුද්ධිමත්ම දෙය නම් ලැබුණු ප්‍රතිඵලයත් සමග ඔබේ දරුවා ඉදිරියට ගෙන යාමය.
ඔබේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත් වූ ඔබේ දරුවා ඔබට හොරා කොතරම් හිතින් තැවෙනවා ඇත්ද? ඔබ තේරුම් ගත යුතු මූලික කරුණක් නම්, සෑම දරුවෙක්ම එකිනෙකාට වෙනස් බවයි. ඔවුන්ගේ හැකියාවන් ද විවිධය. ඉදිරිය සඳහා විෂයයන් තෝරාගැනීමේදී දරුවාගේ කැමැත්තට ප්‍රමුඛත්වය දෙන්න. ඔබේ කැමැත්ත ඉටු කර ගැනීමට යාම තුළින් ඔබත්, දරුවාත් බලාපොරොත්තු වන ප්‍රතිඵලය ගිලිහී යනු ඇත. එවැනි අවස්ථාවලට උදාහරණ ඕනෑ තරම් අප සමාජයෙන් සොයා ගත හැකිය.

ඔබේ දරුවා පිළිබඳ අධි තක්සේරුවෙන් මෙන්ම අවතක්සේරුවෙන් සිතීම ඔබ දෙදෙනාගේම යහපැවැත්මට බාධාවකි. ඒ නිසා ලැබුණු ප්‍රතිඵලයත් සමග ඉදිරියට යා හැකි නම්, එයින් සෑහීමකට පත් වී අනාගත මඟ නිවැරදිව හඳුනාගෙන ඒ ඔස්සේ පිය නැඟීමට ඉඩ සැළසීම තුළින් ඔබ දෙදෙනාම අපේක්ෂා කරන ජයග්‍රහණයට ඔබව ගෙන යනු ඇත.

විභාගය කටු අත්තක් නොව මල් ඉත්තක් බවට පත් කර ගැනීමට හැක්කේ ඔබටම බව දරුවන් මෙන්ම දෙමාපියන් ද අවබෝධ කර ගත යුතුය.

 

ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා ගයානි එල්ලාවල

මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය

සෞඛ්‍ය අමාත්‍යංශය

 

Editor Health and Life

Related post

3 Comments

  • It’s very important articles for parents and students too… thanks.

    • thank u so much

  • Very important articles.

Leave a Reply

Your email address will not be published.

Translate