නැවත පාසැල් වසයි ද?

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

මේ මොහොතේ ජනතාව වගකීමකින් තොරව හැසිරුණහොත් නැවත වරක් පාසැල් පමණක් නොව රටම වැසීමේ තත්ත්වයකට පත් විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු ඇඟවීය.

කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී තිබුණු අතර  සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග පසුගිය දින කිහිපයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පුද්ගලයින් 600 ඉක්ම වූ බවත් මෙය වර්ධනය වුවහොත් නැවත භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති බවත් හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ ය.

මෙය පාලනය කිරීමට නොහැකි වුවහොත් නැවත රට වසා දැමීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට සෞඛ්‍යය අංශයට සිදු වනු ඇතැයි ද හේමන්ත හේරත් මහතා පැවැසීය.

දරුවන් පාසැල් යැවීම සමාජයීය, ආර්ථික සාධකවලට සමානම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, නැවත පාසැල් වසා දැමීමට සිදු වුවහොත් එය දරවන්ගේ මානසික සෞඛ්‍යයට බරපතල හානියක් සිදු වනු ඇති බව අද (08) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ය.

රටක පැවැත්මට ආරථික හා සමාජයීය ක්‍රියාවලිය අත්‍යාවශ්‍ය බව පිළිගන්නා අතර මෙවන් තත්ත්වයක් යටතේ එය කළ යුත්තේ සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බව පැවැසීය. එසේ නොවුණහොත් නැවත වරක් ආපසු හැරී බැලිය නොහැකි අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වනු ඇති බව ද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ ද පැවැසීය.

“ රෝගීන්ගේ වාර්තා වීම තවදුරටත් වැඩි වුණොත් රට වසා දැමීමට සිදු වේවි. එසේ වුවහොත් නැවත අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමටත් සිදුවේවි. දරුවන් පාසැල් යන්න පටන් ගත්තා විතරයි. මේ තත්ත්වය තවත් උග්‍ර වුණොත් පාසැල් වසා දමන්න ඉඩ තිබෙනවා. අනෙකුත් ආරථික, සමාජයීය කටයුතුවලට සීමා දාන්න සිදුවෙයි. මෙහිදී කළ හැකි හොඳම දේ තමයි, තමන්ගේ වගකීම තේරුම් ගැනීම. රෝගය පැතිරීම පාලනය කළ නොහැකි වීම හොඳ ලකුණක් නෙවෙයි. මේ දිනවල කඨින පිංකම් වැනි ආගමික පිංකම් පැවැත්වෙනවා. එහිදී ඒකරාශීවීම් අවම කර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඒ කටයුතු සිදු විය යුතුයි.

ඒ වගේම තමයි විනෝද ගමන් බිමන් යාම. අපි මේ සීමා දාන්නේ ඒවා කරන්න එපා කියලා නෙවෙයි. කාලයක් පුරා ගෙවල්වලට කොටු වී සිටි අපේ අය යම්කිසි වෙනසකට විනෝද ගමනක් ගියාට කමක් නෑ. හැබැයි ජනතාව ඒකරාශී වන තැන්වලට යන්න එපා. අපිට නිදහසේ ඉන්න ඕන තරම් තැන් මේ රටේ තිබෙනවා.

ඒ වගේම තමයි, ඡායාරූප ගැනීමේදී මුඛ ආවරණ ඉවත් කරනවා. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒක කරන්න එපා කියලා. කෑමට, බීමට හැර වෙන කිසිම හේතුවකට මුඛ ආවරණ ඉවත් කරන්න එපා. අපි ඡායාරූප ශිල්පීන්ගෙනුත් ඉල්ලා සිටින්නේ තම සේවා දායකයින්ගෙන් මේ ඉල්ලීම කරන්න එපා කියලා.”

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate