පශ්චාත් කොවිඩ් අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්න.

පශ්චාත් කොවිඩ් තත්ත්වයේ දී ඇතිවන අපහසුතා සති හතරක් ඉක්ම යන තෙක් පැවැතිය හොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන ලෙස   කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සඳහන් කළේ ය.

විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක

පශ්චාත් කොවිඩ් තත්ත්වය බෝනොවන හෙයින් බිය විය යුතු නැතැයි සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ  (13) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා  පැවැසීය.

පශ්චාත් කොවිඩ් තත්ත්වයේ සිටින පුද්ගලයෙකුගේ  පී.සී.ආර් පරීක්ෂාවක් කළහොත් එය ආසාධිත නොවූ අයෙකු (NEGATIVE) බවට සටහන් වන බව ද හෙතෙම පැවැසී්‍ය.

දැනට එවන් පශ්චාත් කොවිඩ් තත්ත්වයේ රෝගීන් ලක්ෂ පහක් පමණ වාර්තාවී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 10 ත් 30 ත් අතර ප්‍රමාණයක් වන බව ද ප්‍රකාශ කළේ ය.

පශ්චාත් කොවිඩ් තත්ත්වයේදී හිසරදය, නින්ද නොයාම, ව්‍යාකූල බව, තෙහෙට්ටුව,පපුවේ ගැස්ම, හේතුවක් නැතිව දහඩිය දැමීම වැනි ලක්ෂණයන් පෙන්වුම් කරන බවත් මේ තත්ත්වය දිගින් දිගටම පැවැතුණහොත් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු බව ත් විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සඳහන් කළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා මෙසේ ද පැවැසීය.

“මෙම අපහසුතාවන් දිගින් දිගටම පැවැතීම දෛනික කටයුතුවලට බාධා එල්ල වෙනවා. ඒ නිසා මේ පිළිබද සැලකිලිමත් විය යුතුයි. මෙහීදී ඇති වන ගඳ සුවඳ නොදැනීම නිසා කෑම රුචිකත්වය නැති වෙනවා. කෑම රුචිකත්වය නැති වන විට ශරීර ශක්තිය දුර්වල වී ප්‍රතිශක්තිකරණය හීන වෙනවා. එය මේ රෝගියෙකුට එතරම් යහපත් නෑ. ඒ නිසා ඔවුන්ට ගඳ – සුවඳ දැනීමේ ව්‍යායාමය (Smell Training) ලබා දෙන්න පුළුවන්. එය සරල දෙයක්. රෝස මල් පොකුරක් හෝ සුවඳවිලවුන් හෝ කුරුඳු තෙල් වැනි දෙයක් නිතර නාසයට ලංකර ආග්‍රහනය කිරීමෙන් හානි වී ගිය සෛල නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කර ගත හැකියි.

ඒ වගේම පපුවේ මහන්සි ගතිය. කාර්යයක් කරන විට එක දිගට ඒ කාර්යයේ නිරත වීම නොකළ යුතුයි. පඩි පෙළක් නගිනවා නම්, මහන්සි ගතිය වැඩි වන විට නතර වෙවී මහන්සි හැර පඩි පෙළ නගින්න. ඒ වගේ හුස්ම ගැනීමේ ව්‍යායාම (Breathing Exercise) පුරුදු පුහුණු කළ යුතුයි.නින්ද නොයන අය, කෝපි වගේ දේවල් පානය කිරීම අඩු කරන්න. ඒ වගේම පරිගණක, ජංගම දුරකතනවල රැඳී සිටීමේ කාලය සීමා කරන්න ”

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate