පශ්චාත් කොවිඩ් සමයේදී ඇති වන අපහසුතාවලට වහාම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි?

කොවිඩ් වෛරසය අද පවතින ඉතාමත්ම අභියෝගාත්මක රෝගයයි කිවහොත් ඔබ එයට සම්පුර්ණයෙන්ම එකඟ වනු නොඅනුමානය. එය වැළඳීම වළකාළීම ඉතාමත්ම වැදගත්වේ. එහෙත් එය ඉතාමත් සීග්‍රයෙන් බෝවන රෝග තත්ත්වයකි. කොවිඩ් 19 බෝවන ආකාරය, රෝග ලක්ෂණ, වළක්වා ගන්නා ක්‍රම පිළිබඳව අපි වසර දෙකක් පුරා විවිධ මාධ්‍යයන් සාකච්ඡා කිරීම නිසා ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීම අවශ්‍ය නොවේ.

නමුත් මේ වන විට පශ්චාත් කොවිඩ් සමයේ ඇති වන තත්ත්වයන් පිළිබඳව නිතර අසන්නට ලැබෙයි. පශ්චාත් කොවිඩ් සමයේදී ඇති වන යම් යම් සංකූලතා නිසා දිනකට රෝගීන් විශාල පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා ද යොමු වේ.

එම නිසා අපි පශ්චාත් කොවිඩ් සමය පිළිබඳව සාකච්ඡා කිරීමට ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු.

පශ්චාත් කොවිඩ් සමය

සති 4 -12 අතර, සති 12 මාස 6 හා කාලයක් පශ්චාත් කොවිඩ් තත්ත්වයන් තිබෙන බව මේ වන විටත් සොයා ගෙන ඇති අතර තව දුරටත් මාස 6 ටවැඩි දීර්ඝ කොවිඩ් තත්ත්වයන් ද ඇති විය හැකි බව නවතම පරීක්ෂණ පෙන්නුම් කරයි.මෙහිදී වඩා සක්‍රීය අවස්ථවේ හටගත් රෝගී ගැටළු පැවතීම හෝ, නව රෝගී තත්ත්යවයන් මතුවීම හෝ පෙන්විය හැකි අතර, මෙම රෝග කොවිඩ් සම්බන්ධ රෝගයක්මද? යන්න කිව නොහැකිය.

මිට අමතරව සමහර රෝගීන් මූලික අසනීපයෙන් සුව වුවත්, දින 14 කට පසුව අධි ප්‍රතිශක්තිකරණ කාලයේදී සංකුලතා පෙන්විය හැකිය. කොවිඩ් රෝගියෙකු දින 14 කට පසුව රෝහල් ගතව සිට සුවය ලබා නිවසට පැමිණී පසුව යළි අසාධ්‍ය තත්ත්වයට පත් වන්නේ මේ හේතුන් නිසාය.

පශ්චාත් කොවිඩ් සමයේදී ඇති වන අපහසුතා

මෙම පශ්චාත් කොවිඩ් සංකුලතාවන් වඩා ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු හේතු හා නොවන ලෙස බෙදා දක්වමි.

වඩා ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු අවස්ථා – කොවිඩ් නියුමෝනියාව, (පෙනහලු පටක වල ඇතිවන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේදී අනිසි ඵලයක් ලෙස ඇතිවන ඝනවීම්) පෙනහළු ධමනිවල කැටි ගැසීම එසේම සක්‍රිය මට්ටමේදී ලබා දුන් ප්‍රතිශක්තිය අඩු  කරන ඖෂධ නිසා වන ද්විතීක බැක්ටිරියානු ආසාදිත තත්ත්වයන් නිසා ද හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකිය.

එසේම හෘදයාබාධ ගැන සැලකුවහොත් කීරීටක ධමනි අවහිරතා හේතුවෙන් සිදුවන හෘදයාබාධ මෙන්ම හෘදයේ මාංශපේෂිවල දුර්වලතා හේතුවෙන් ඇතිවන තත්ත්වය කොවිඩ් හෘද රෝග ලෙස හදුනාගෙන තිබේ. මොළයේ කැටි ගැසීම්, මධ්‍යම හා පර්යන්ත ස්නායු ආබාධ පෙන්විය හැකිය.

වෙනත් හේතු

නින්ද නොයාම, ශාරීරික හා මානසික අධික වෙහෙස, පිටේ හා හන්දිවල වේදනාව, බහුලව දකින පසු කොවිඩ් තත්ත්වයන් බව පෙනී යයි. එසේම අධි සංවේදී වායු නල ප්‍රනාල මගින් ඇදුම හා පීනස, මානසික රෝග, හෘදස්පන්දනය වැඩිවීම, හෝමෝනවල වෙනස්කම්

රතු සංඥා රෝග ලක්ෂණ හෝ වඩා අවධානය දිය යුතු අවස්ථා –

හුස්ම ගැනීමේ අපහසුතාව – මෙය මුලින් සුළු වැඩක් කිරීමේදී අවම වශයෙන් ඇතිවි පසුව වැඩිවිය හැකිය. ස්පන්දන ඔක්සිමිටරයක් තිබේ නම් එහි ප්‍රතිශත කියවීම වෙනදාට වඩා පහළ යයි නම් හෝ සාමාන්‍ය කෙනෙකුගේ එය සියයට 96 ට අඩු නම්. ස්වසන වේගය 20ට වඩා වැඩි නම්, මෙහිදී සැළකිලිමත් විය යුතු ය. ඒ සඳහා වැඩි අවධානය දීම තුළින් මරණ හා සංකූලතා අවම කර ගත හැකිය.

පපුවෙහි ඇති වන වේදනාව- හෘදයාබාධ,පෙනහළු ධමනිවල කැටිගැසීම නිසා මෙන්ම බඩේ අම්ලය ඇදුම් නිසාද විය හැකිය.
ස්නායු ආබාධයක් ඇතිවන්නේ නම් අත්පා හිරිවැටීම අත්පා පණ නැතිවීම වැනි හේතු නිසා,සිහිමද ගතිය,මාංශපේගී පන නැති වෙනවා නම්, එය රතු සංඥා ලක්ෂණ ලෙස හැදින්විය හැකිය. එහිදී හැකි ඉක්මනින් නිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකළ යුතුයි.

කොවිඩ් රෝගය බහු ඉන්ද්‍රීය අඩපණ කරන රෝගයකි. එය මූලිකවම පෙනහලු සහ හෘදයට බලපෑවත් අන් සෑම ඉන්ද්‍රියක්ම අඩපණ කළ හැකියි. ස්නායු රෝග සහ වකුගඩු අකර්මන්‍ය වීම අක්මාවට බලපෑම් ඇති කිරීම එසේම හෝමෝන පද්ධතියට බලපෑම් ඇති කර දියවැඩියාව උත්සන්න කිරීමේ තත්ත්වයක්ද පැන නගී. මේ තත්ත්වය සෑම කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුටම ඇති නොවේ.

කොවිඩ් වෛරසය ආසාදනය වීමට පෙර සිටම කිසියම් නිදන්ගත රෝගයකට ගොදුරුව දිගුකාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගන්නා රෝගීන් කොවිඩ් සුව වී නිවසට පැමිණියද විවිධ රෝග තත්ත්වයන් මතුවිය හැකිය. එම නිසා කොවිඩ් වෛරසය ආසාදනය වීමට පෙර සිටම ඔබ කිසියම් නිදන් ගත රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු නම් ඔබගේ නිදන්ගත රෝග තත්ත්වය පිලිබද ඔබ මෙන්ම නිවසේ අන් අයද මනා අවබෝධයකින් පසුවීම, නිදන්ගත රෝගයක් සදහා රෝගියා යම් ඖෂධයන් භාවිත කළේ නම් ඒවා ඒ ආකාරයෙන්ම ලබා දීම ඉතාමත් වැදගත් වන්නේය.රුධිරයේ සීනි මට්ටම වැඩි අඩුවීම් නිසා වඩා සැලකිලිමත් විය යුතුය.

පශ්චාත් කොවිඩ් සමයේදී යම් පුද්ගලයෙකුට තිබූ යම් රෝග තත්ත්වයන් උත්සන්න වීමක් සිදුවිය හැකි බව අපි දනීමු. ඒසේම අලුත් රෝග ඇතිවිය හැකි බවට අනුමාන කරනවා. මෙහිදි ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට ගැටළු ගණනාවක් මතුවෙනවා. මේ රෝග තත්ත්වයන් කලින් පැවති ඒ්වාද නැතහොත් අලුතින් පැමිණෙන ඒවාද නැතහොත් වෙන රෝග තත්ත්ව නිසා ඇතිවන රෝග තත්ත්වයන්ද යන වග වෙන්කර හදුනා ගැනිමට විශාල වෙහෙසක් දැරීමට සිදුවෙනවා.

ඉහත සදහන් කළ රෝග ලක්ෂණයන්ට අමතරව පශ්චාත් කොවිඩ් සමය තුල දක්නට ලැබෙන සුළු රෝග තත්ත්වයන් , ඇදුම පීනස වැනි රෝග ලක්ෂණ මතුවිම හේතුවෙන් නැවත වෛද්‍යවරු වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන අවස්ථාවන්ද දක්නට තිබෙනවා. මෙහිදී රෝග නිදානය සෙවීමේ ආරයට පීනස පැවති රෝගින් පවුල තුළ සිටින බව වාර්තා වී තිබෙනවා. කුඩා කාලයේ දී යමිකිසි අසාත්මිකතාවක් හේතුවෙන් ඇදුම රෝගය වැලදි තිබීම. එහෙත් ඇදුම පීනස වැනි රෝග තත්ත්වයන් කවරදාකවත් ඇති නොවූ අයටද ශ්වසන රෝග ඇතිවිය හැකිය.

ශ්වනස අපිච්ඡද සෛලවල ඇතිවන අධිසංවේදීතාවක් ඇදුම හා පීනස තත්ත්වයන් ලෙස පෙන්නුම් කරනවා. මේ තත්ත්වයෙදී හුස්ම ගැනීමේ අපහසුවය පවතිනවා‍ දිගට පවතින ස්වසන අපහසුතාවන්,වියළි කැස්ස, නාසයේ තද ගතිය, ඔලුව කැක්කුම වැනි ලක්ෂණ පෙන්වයි. මෙවැනි රෝගීන් බහුල වශයෙන් පශ්චාත් කොවිඩ් අපහසුතාවන් ලෙස අප වෙත යොමු වෙනවා.

මේ රෝගීන් ඇදුම රෝගියක්ම කියලා අපිට කියන්න බැහැ. අපිට සිදුවෙනවා වඩාත් සංකීර්ණ රෝග තත්ත්වයක් නිසා මේ රෝගය ඇති වුණාද කියලා  පරික්ෂණ පවත්වන්න. සමහර විට වඩා වැඩි දුරට පරික්ෂණවලට භාජනය කළ යුතු අවස්ථාවන් තිබෙනවා.
නිදාගැනීමේ දී පැය 6ක් එක දිගට නිදා ගැනීමට අපහසුතාවද පශ්චාත් කොවිඩ් තත්ත්වයේ ලක්ෂණයන් ලෙස පෙන්වා දිය හැකිය.
තෙහෙට්ටුව හා මානසික ආතතිය වැනි ලක්ෂණද මේ හා සම්බන්ධ විය හැකිය.

කොවිඩ් රෝගීන් සදහා ලබා දෙන ඖෂධ පිලිබදව සදහනක් කරන්නේ නම්,

කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගියෙකු රෝහල් ගත කරන විට ලබා දෙන ඖෂධයන් කීපයක් තිබෙනවා. අදි ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය පාලනය කිරිම සදහා ස්ටීරියොඩ් වැනි ඖෂධ හා‌ නව ඖෂධ, රුධිරය තුනී කරන ඖෂධ, නවතම ලෙස ලැබී තිබෙන් ප්‍රතිවෛරස ‌ඖෂධ ලබා දෙනවා. නමුත් එම ඖෂධ රෝගියාට ලබා දෙන්නේ රෝගියාගේ අනෙකුත් ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරීත්වය පවතිනවා නම් පමණයි. මොකද මේ සෑම ඖෂධයකම අතුරු ආබාධ සහිතයි. සිරුරේ ඔක්සිජන් මට්ටම පහත වැටෙන්නේ නම් ඔක්සිජන් දීමට කටයුතු කරනවා. රෝගියාගේ විජලනය වලක්වා ගැනිම හා පෙනහලුවලට ඇතිවන බැක්ටීරියා ආසාදන වලක්වා ගැනිමට නිසි ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට කටයුතු කරනවා.

නිදන්ගත රෝගයන් හෝ සංකූලතාවන් තිබේ නම් අදාල විශේෂඥයින්ගේ උපෙදස් මත ඒ සදහා නියමිත ඖෂධ ලබාදීමට කටයුතු කරනවා. ඊ‌ට අමතරව ඖෂධීය නොවන සහායක ප්‍රතිකාර වන භෞත චිකිත්සක ප්‍රතිකාර, මානසික සුවය සදහා ලබා දෙන ප්‍රතිකාර, පෝෂණය සදහා අවශ්‍ය දේ රෝගියාට ලබා දීමක් කරනවා.

මෙම ඖෂධීය ප්‍රතිකාර මෙන්ම ඖෂධීය නොවන ප්‍රතිකාර ද රෝගියා නිවසට එනවිට ඒවා ලිඛිතව ලබා දී තිබෙනවා‍. නිවැසියන් මේ පිලිබදව නිසි අවධානය යොමු කළ යුතු වෙනවා.

සමහර ඖෂධ දීර්ඝ කාලීනව ලබා දීමට සිදුවෙනවා. ඒ ඖෂධ අතර රුධිරය කැටිගැසීම වළක්වන ස්ටීරොයිඩ ඖෂධ, පෙනහලු ඝණ වීම වැනි තත්ත්වයන් වළක්වන ඖෂධ දිගු කාලයක් ගත යුතු වෙනවා. මෙය දියවැඩියාව අඩු හෝ වැඩි කිරීමට පුළුවන. ද්විතික බැක්ටීරියානු ආසාදිත ,මාංශපේශී දුර්වලතාවන්, බඩේ තුවාල ඇති කරන්න පුලුවන්. මානසික ආතතිය ඇති වෙන්න පුලුවන්. එවැනි අතුරුඵල මතුවන්නේ නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය.

කොවිඩ් රෝගය සෑදී සුව වූ රෝගියා නිසි වේලාවට පශ්චාත් සායනයන් වෙත යොමු කිරීම ඉතාමත් වැදගත් වේ . හෘදරෝග, මානසික හා භෞත චිකිත්සක සායනයන් වෙත යොමු විය යුතු අවස්ථාවන්ද තිබේ. තවද එම රෝගියා නිදන්ගත රෝගයක් සදහා සායනයක් වෙත ගිය පුද්ගලයෙකු නම් එම සායනයන් වෙත නිසි ලෙස යොමු විම ඉතාමත් වැදගත් වන්නේය. මෙම රෝගය වැලදුණ පුද්ගලයින් බොහෝ දෙනෙකුට තනි විශේෂඥවරයෙකුට ප්‍රතිකාර කළ නොහැකි වන අතර රෝගියාට වෛද්‍යවරු  ප්‍රතිකාර ලබාගැනිමට සිදුවේ. ඒ අනුව බහු සායනයන් වෙත යාමට සිදුවන අවස්ථාවන්ද තිබේ.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate