පිපාසය ඇති වන තෙක් සිට ජලය පානය කිරීම ශරීරයට හිතකරද?

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන

නිරෝගීකම උතුම් ලාභයක්. මව්කුස පිළිසිඳි දරුවාගේ පටන් ජීවිතයේ විවිධ වකවානු පසු කරද්දී නිරෝගීකමේ ප්‍රතිලාභ අපි අත්විඳිනවා. මෙවැනි නිරෝගී දිවියක පදනම කුමක් විය හැකිද? ඒ සඳහා බලපාන සාධක මොනවාද? යන්න අප විමසා බැලිය යුතු වෙනවා.
නිරෝගී දිවියකට අවශ්‍ය මූලික සාධකයක් තමයි, නිවැරදි පෝෂණය, කායික, මානසික සමාජයීය මෙන්ම අධ්‍යාත්මික පෝෂණයන් පුද්ගලයා නිරෝගී කරවීම.

විශෙෂයෙන් අද අපි කතා කරන්නේ, අපේ ශරීරය නිරෝගීව තබා ගැනීමට අවශ්‍ය වන ආහාර සම්බන්ධවයි. ආහාර අපේ නිරෝගී පැවැත්මට අත්‍යාවශ්‍යයි. ශක්තිය ලබා දෙන වර්ධනය හා ගෙවී ගිය කොටස් අලුත්වැඩියා කරන මෙන්ම ශරීරය ආරක්ෂා කරන සමබල ආහාර වේල තුනක් මේ සඳහා වැදගත් වෙනවා. ඒ අතර කෙටි ආහාර වේල දෙකක් ගත හැකියි.

පෝෂණය ගැන අප කතා කළ යුත්තේ, ජීවිත චක්‍ර යේ කුමන අවස්ථාවේ සිටද?

ඇත්ත වශයෙන්ම දරුවෙකු මව්කුසට පිළිසිඳුනු අවස්ථාවේ සිටම මේ ගැන සිතිය යුතු වෙනවා. ඒ කියන්නේ ගැහැණු දරුවෙකු , විශේෂයෙන් විවාහ අපේක්ෂිත වයසේ පසුවන විට තමන්ගේ උසට සරිලන බරකින් යුතු වේද? එනම් BMI අගය 18.5 – 24.9 අතර පවතීද? ලේ අඩුකමක් පවතීද? එනම් ශරීරයේ හිමොග්ලොබින් මට්ටම 12gm / dl මට්ටමේ පවතීද? අයඩින් , විටමින් A ඌනතාවක් තිබේද? යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා.

එවැනි පෝෂණ තත්ත්වයක් ඇති තරුණියන් ගර්භනී වූ අවස්ථාවක හොඳ උපත් බර එනම්, කිලෝග්රෑම් 2.5 කට වඩා බර දරුවෙකු බිහිවීමට මග හදනවා. ගර්භනීභාවයට පත්වන අවස්ථාවේ මව මන්දපෝෂණයෙන් පෙළෙයි නම්, බිහිවන දරුවා අඩු උපත් බරක් සහිතව බිහිවීමේ අවදානම වැඩි වෙනවා. එවැනි දරුවෙකු මන්දපෝෂණයට ලක්වීමේ, ආසාදනවලට ගොදුරුවීමේ අවදානම වැඩි වෙයි. එමෙන්ම බොහෝ අඩු වයසින් බොනොවන රෝග වන අධික රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා, දියවැඩියාව වැනි රෝග වැළඳීමේ අවදානම වැඩි වේ. ඊට හේතු වන්නේ, අඩු පෝෂක යටතේ වර්ධනය වන කලලයේ හොමෝන එන්සයිම පද්ධතිවල සිදුවන වෙනස්වීමයි. එයින් ජනිතවන ආතති තත්ත්වය දරුවාගේ ජීවිත කාලය පුරාම විවිධාකාරයෙන් ඉස්මතු වීම වැළැක්විය නොහැකිය. දරුවාගේ බුද්ධි මට්ටම, ඉගෙනීමේ හැකියාව, පෞරුෂය සකස් වීම ද එම බලපෑම් හේතුවිය හැකියි. එබැවින් පෝෂණීය යන්න කොතරම් වැදගත් ද? යන්න ඔබට පැහැදිලි වනු ඇති.

අප නිසි පෝෂණයක් ලබා ගන්නේ කෙසේද?

ඒ සමබල ආහාර වේල මගිනි. සමබල ආහාර වේලක අඩංගු විය යුතු කොටස් මොනවාද?
• ශක්තිය ලබා දෙන ආහාර –
ධාන්‍ය – බත්, කුරක්කන්, මෙනේරි, බඩඉරිඟු
අල වර්ග , කොස්,දෙල්
තෙල් හා මේද
• ශරීරය වර්ධනය හා ගෙවී යන කොටස් අලුත්වැඩියා කරන ආහ

සත්ව ආහාර – මස්, මාළු, බිත්තර, හාල්මැස්සන්, කරවල, කිරි හා කිරි ආහාර
ශාක ආහාර – පියළි ඇට (මාෂ බෝග) ,කවුපි, කඩල, පරිප්පු, සෝයා, මුංඇට,උඳු,
තල

• ශරීරය ආරක්ෂා කරන ආහාර
එළවළු, පලතුරු, පලා වර්ග

අපේ නිවැරදි කෑම පිඟාන

 

  • වර්ධක ආහාර – පිඟානෙන් 1/6
  • ශක්තිය ලැබෙන ආහාර – පිඟානෙන් 1/2
  • ආරක්ෂක ආහාර – පිඟානෙන්  2/6

මෙවැනි ආහාර වර්ගවලින් පරිපූර්ණ ආහාර වේලක් සමබල වෙනවා.

එමෙන්ම ස්වභාවික රසකාරක වන ඉඟුරු , සුදුලූනු, කරපිංචා, සේර , රම්පෙ,සියඹලා, ගොරකා, දෙහි කරදමුංගු , කරාබුනැටි, කුරුඳු මෙන්ම කොත්තමල්ලි, සූදූරු, මහදුරු, කහ උලුහාල්, අබ ආදී කුළු බඩු ද අපේ ආහාරයට එකතු කර ගත යුතුයි. එසේම කෘත්‍රිම රසකාරක ලුණු, සෝස් වර්ගවලින් හැකිතාක් ඈත් විය යුතුයි.

අහිතරකර ආහාර රටාවෙන් එනම්, වැඩි ලුණු, වැඩි තෙල් මෙන්ම වැඩි සීනි, පැණි රස ආහාර හැකිතාක් ඈත් කළ යුතුය. එමෙන්ම ක්ෂණික ආහාර මෙන්ම අධිකව පිරිපහදු කළ ආහාර හැකිතාක් අඩු කළ යුතුය. අපි ගන්නා ආහාර නිසි අයුරින් පරිභෝජනයට ගැනීමට ප්‍රමාණවත්ව එනම්, වැඩිහිටියෙක් නම්, ජලය ලීටර් 2 – 2 1/2 පමණ පානය කළයුතු වෙනවා. එසේම ස්වභාවික පාන වර්ග බෙලි, රණවරා, තැඹිලි වැනි පාන වර්ග පානය කළ යුතු අතර පුරුද්දක් වශයෙන් ජලය පානය කළ යුතුය. පිපාසය ඇති වන තෙක් සිට ජලය පානය කිරීම ශරීරයට අහිතකරය.

එසේම දිනපතා ශරීරය වෙහෙසවන පරිදි ව්‍යායාම කිරීම ද අත්‍යාවශ්‍ය ය. ළමුන් පැයක් දෙකක් දුව – පැන සෙල්ලම් කළ යුතු අතර වැඩිහිටියන් දිනකට පැය භාගයක්වත් කය වෙහෙසා ක්‍රියාකාරී විය යුතුය.

මේ අයුරින් හිතකර ආහාර සමගින් ජීවන රටාව සකස් කර ගතහොත් නිරෝගී බව රැක ගැනීමට හැකි වනු ඇත.

ඉදිරි සතියේදී දරුවාගේ මුල් අවුරුදු දෙක තුළ දරුවාගේ පෝෂණය පිළබඳව කතා කරමු.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය
බොනොවන රෝග ඒකකය,
සෞඛ්‍යය අමාත්‍යංශය

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate