පොදු ස්ථානවලට යාමේදී එන්නත් කාඩ්පත අනිවාර්යද?

විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන

පොදු ස්ථානවලට යාමේදී කොවිඩ් 19 එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබෙන බැවින් එම උපදෙස් ලැබුණු පසු ඒ අනුව කටයුතු කරන බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

එන්නත් ලබා ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය යුතු බව ත් ඒ සඳහා කිසිවෙකුට බල නොකරන බව ත් සෞඛ්‍යය සේව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවැසීය.

තමාට එන්නත ලබා ගැනීමට අවශ්‍යතාව නැතත් අන් අය ගැන සිතා එය ලබා ගැනීම සමාජ වගකීමක් බව සඳහන් කළ සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, තව කෙනෙකුගේ ජීවිතය අනතුරේ දැමීමට කිසිවෙකුට අයිතියක් නැති බව ද සඳහන් කළේ ය.

ලෝකයේ ඇතැම් රටවල එන්නත් කාඩ්පත නොමැතිව පොදු ස්ථානවලට යා නොහැකි බවට නීති පනවා තිබෙන අතර ශ්‍රී ලංකාවේ ද එම නීතිය පැනවිය හැකි ද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ නිර්දේශ ඉල්ලා තිබෙන බව අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

වයස අවුරුදු 16, 17, 18 සහ 19 වයස් කාණඩවල දරුවන් ලක්ෂ 14 ක් සිටින අතර  එයින් මේ  විට දරුවන් 649 350 ක් එන්නත් කර ඇත. වයස අවුරුදු 12 – 19 වයසේ  විශේෂ ආබාධ සහිත දරුවන් 22 238 ක් ද එන්නත් කර තිබේ.

කොවිඩ් 19 දෙවන මාත්‍රාව ගෙන මාස 06 ක් ඉක්ම ගිය සෞඛ්‍යය සේවකයින්ට හා අනෙකුත් ඉදිරිපෙළ සෞඛ්‍යය කටයුතුවල නිරත වන අයට බූස්ටර් එන්නත ලබා දීම හෙට (01) සිට ආරම්භ කරන බව ත් ඉන් පසු වයස අවරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සහ වයස අවුරුදු 20 ට වැඩි අයට ද බූස්ටර් එන්නත ලබා දීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන බලකායේ රැස්වීමේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම ආරම්භ කිරීමට උපදෙස් දුන් බව ත් ඒ අනුව නොවැම්බර් 16 දා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර දෙන බව ත් පැවැසීය. ඒ අවසරය හිමි වන්නේ ද උපකාරක පන්තියේ පවතින ආසන ගණනින් සියයට 50 ක් කැඳවීමට බව ද හෙතෙම සඳහන් කළේ ය.

කෙසේ වෙතත් ඒ බව තීරණය වන්නේ 16 වෙනිදා වන විට වාර්තා වන රෝගීන් සහ මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන බව ද සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

 

 

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate