බිළිඳා නිතරම හඬන්නේ කිරි මදි වීම නිසා ම නොවේ.

මව්කිරිවල ගුණ මුල සිට දැන ගනිමු – 02 කොටස

පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනී නිලුක්ෂි තිලකසිරි

දරුවන්ට මව්කිරි දීමේදී මව සතුටින් සිටීමේ වැදගත්කම පිළිබඳව අපි සාකච්ඡා කළෙමු. දරුවාට කිරි උරා බීම අපහසු කරවන ඔක්සිටෝසින් ප්‍රතීකය නිවැරදිව ක්‍රියා කිරීම හා ඔක්සිටෝසින් ප්‍රතීකය ක්‍රියාත්මක වන බව හඳුනා ගැනීමේ ලක්ෂණ පිළිබඳව අද අපි සාකච්ඡා කරමු.

• මව්කිරි දීමට පෙර හෝ කිරි දෙන විට පියයුරු පිරුණු, පොපියන ස්වභාවයක් දැනීම.
• දරුවා ගැන සිතන විට, දරුවා හඬන විට, දරුවා දකින විට මව්කිරි ගලා ඒම.
• එක් පියයුරකින් කිරි උරා බොන විට අනෙක් පියයුරෙන් කිරි කාන්දු වීම.
• කිරි බොමින් සිටි දරුවා පියයුර අත්හල විට සිහින් කිරි ධාරාවක් ගලා ගෙන ඒම.
• මුල් සතිය තුළ දරුවාට කිරි දෙන විට ගර්භාෂ සංකෝචනය හේතුවෙන් යටිබඩ පෙදෙසින් වේදනාවක් දැනීම මෙන්ම යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් සිදුවන බව දැනීම.

• තම මුවට හොඳින් කිරි ගලා එන බව හඟවමින් බිළිඳා සෙමින් තියුණු ලෙස කිරි ඉරීම හා ගිලීම.

“ එක පියයුරක කිරි තියෙනවා. අනෙක් පියයුරෙන් කිරි එන්නේ අඩුවෙන්.” මේ මව්වරුන්ගෙන් නිතර ඇසෙන මැසිවිල්ලකි. මව්කිරි නිපදවීම අඩු කළ හැකි හෝ මව් කිරි නිපදවීම වැළැක්විය හැකි ද්‍රව්‍ය මව්කිරිවලම තිබෙන බව ඔබ දන්නවා විය හැකිය. පියයුරුවල අවශ්‍ය ප්‍රමාණයට වඩා මව්කිරි රැඳී තිබීම මගින් ද තවදුරටත් මව්කිරි නිෂ්පාදනය වීම අනවශ්‍ය බව මොළයට දැනෙයි. එයට හේතුව ක්‍රමානුකූලව පියයුර හිස් නොවීමයි. දරුවා පියයුරු දෙකෙන් ම කිරි කිරි උරා බීමට යොමු කළ යුතුය. ඒ සඳහා නිවැරදිව පියයුරු වෙත සම්බන්ධ කළ යුතුය. දරුවාට කිරි උරා බීමට නොහැකි නම් හෝ දරුවාට යම් අසනීප තත්ත්වයක් ඇති නම් කිරි නිෂ්පාදනය ක්‍රමානුකූලව පවත්වා ගෙන යාමට කිරි දොවා ඉවත් කළ යුතුය.

දරුවා නිවැරදිව පියයුරට සම්බන්ධ කර ගන්නේ කෙසේ ද?

• දරුවාගේ මුව “ආ” ශබ්දයට ඇරී තිබීම. ඇරියෝලාවේ (කළු පැහැ කොටස) වැඩි ප්‍රමාණයක් මුව තුළ තිබීම.
• යටි තොල පිටතට පෙරලී තිබීම.
• දරුවාගේ නිකට පියයුරේ තිබීම.
• ශබ්ද නොනගා ගැඹුරෙන්, සෙමින්,නවත්වමින් කම්මුල් පිටතට පිම්බෙන සේ කිරි උරා බීම.

මෙලෙස නිවැරදිව පියයුර සම්බන්ධ කර ගැනීම මෙන්ම දරුවාට කිරි දීමට සුව පහසු ස්ථානයක් තෝරා ගත යුතුය.ඒ සඳහා හාන්සි වී හෝ වාඩි වී හිඳීම සුදුසු ය. කෙසේ වෙතත් කොන්ද හොඳින් කෙලින් තබා ගෙන ඇඳි පුටුවක් මත වාඩි වී කොට්ටයක් උකුලට ගෙන, එය තම අතට ආධාරයක් කර ගෙන දරුවාගේ කන අතගාමින් කිරි දිය යුතුය. දරුවාගේ කලවය එක රේඛාවකට සිටින සේ දරුවා තුරුල් කර ගෙන ඇසට ඇස බලා ආදරෙන් කතා කරමින් මව්කිරි දෙන්න. එවිට මවගේ ඔක්සිටෝසින් ප්‍රතීකය නිදහස් වී දරුවා හොඳින් කිරි බී සන්සුන්ව සිටියි.

වැරදි ලෙස පියයුරට සම්බන්ධ වීමෙන් දරුවාට කිරි උරා බීමට හැකියාවක් නැති අතර එය මවට ද වේදනාකාරීය . පියයුරෙන් කිරි පිට නොවීම නිසා කිරි නිපදවීමේ ක්‍රියාවලිය  ද අඩාල වෙයි. දරුවා සැම විටම නිසි පෝෂණයක් නොලබයි. බඩගින්නෙන් නොසතුටින් සිටියි. නිතර හඬයි. නොනිදා සිටියි. බර අඩුවෙයි. දරුවාගේ වර්ධනයට මව්කිරි පමණක් ම නොව නින්ද ද අත්‍යාවශ්‍යය. බඩ හිස් වූ දරුවා නිදා ගන්නේ ද නැත. මව්කිරි දීම අසාර්ථක බව දැනෙන විට මව කනස්සල්ලට පත් වෙයි. මෙය පසු ප්‍රසව විෂාධයට ද හේතුවෙයි. මව්කිරි දීම හා නිපදවීම යන කරුණු අවබෝධ කර ගැනීම මගින් මව සහ දරුවා අතර මනා සබඳතාවක් ඇති වෙයි.

දරුවා නිතරම හැඬීම මවුවරු ආතතියට පත් වන තවත් හේතුවකි.ඒ හැඬීම නිසා ම මවුවරු තමන්ට “කිරි මදි ” යැයි සිතමින් තමන්ගේ කිරි ප්‍රමාණය ගැන තක්සේරුවකට පැමිණෙති.

“ දරුවා මගේ පියයුර අල්ලා ගන්නේ නෑ.”

“දරුවා කිරි බොන්නේ එක පැත්කින් විතරයි. ”

“මගේ පියයුර පුංචියි. ඒ නිසා කිරි මදි. ”

“දරුවා හොඳට නිදා ගන්නේ නෑ. ”

මෙවැනි ප්‍රශ්න නිසා අපේ මවුවරුන්ට මානසික ආතතිය පවා ඇති වන අවස්ථා තිබේ.

“මට කිරි මදි” ඔබටත් මෙසේ හැඟී ගිය අවස්ථා තිබෙනවා ද? කිරි එරෙන ප්‍රමාණය නොව දරුවාට අවශ්‍ය ප්‍රමාණය ගැන තක්සේරු කරන්න. එක් දරුවෙකුට නොව දරුවන් දෙදෙනෙකුට වුවත් අවශ්‍ය ප්‍රමාණයට කිරි නිපදවීමට මවුවරුන්ට හැකියාව පවතී.
සමහර විට “මට කිරි මදි” කියා සිතමින් කිරි දෙන අවස්ථාවල දරුවාට අවශ්‍ය කිරි ප්‍රමාණය නොඅඩුව උරා බී තිබිය හැකිය. කිරි දීම මව විසින් කරන කටයුත්තක් වුව ද මවුවරු දිරි ගැන්වීම මුළු සමාජයේම වගකීමක් බව පැවැසිය යුතුය. මක් නිසා ද යත් කිරි දීමට මව තුළ ඇති විශ්වාසය ගොඩ නැගීම සහ ඇයට සහය දීම අප සැමගේම වගකීමක් වන නිසා ය. එම වගකීම ස්වාමි පුරුෂයා, පවුලේ සාමාජිකයින් වගේම නෑදෑයින්, අස්ලවාසීන් සහ සෞඛ්‍යය කාර්ය මණ්ඩලය මත රඳා පවතී.

මවුකිරි ලබා දීමෙන් යහපත් මවු දරු බැඳීමක් සහ සෙනෙහෙවන්ත බවක් ගොඩ නැගීමෙන් දරුවාගේ මනෝ සමාජයීය සංවර්ධනයට හිතකර උත්තේජන ලැබේ. ඒ මගින් ගුණ යහපත් දරුවන් බිහි වෙයි. ඔවුන් සමාජගත වීමෙන් යහපත් සමායජක් ගොඩනැගෙනු ඇත. දරුවෙකු ලැබීමෙන් පසුව හැමවිටම කිරි දෙන මවට සහය වන්න. ඇය නිතරම සතුටින් තබන්න. ඇය අගය කරන්න. ඒ මගින් මවුකිරි ලබා දීමට හිතකර පරිසරයක් ගොඩ නැගෙනු ඇත.

දරුවා අධිකව ඇඬීම සහ මවුකිරි මදියැයි සිතීම

දරුවා ප්‍රමාණවත් තරම් කිරි නොලබන අවස්ථා ද පවතී. එයට හේතුව දරුවා නිවැරදිව පියයුරට සම්බන්ධ වීම හා ස්ථාපිත වීම පිළිබඳව ඇති ගැටුළු නිසා විය හැකිය. දරුවා පියයුරට සම්බන්ධ වීමේදී හා ස්ථාපිත කිරීමේදී අවශ්‍ය වන දැනුම හා නිපුනතාව මව පූර්ව ප්‍රසව සමයේදී මනා ලෙස ලබා ගත යුතු ය. ප්‍රසවයෙන් පසු රෝහලේදීත් නිවසේදීත් ඒ සදහා මග පෙන්වීම පවුල් සෞඛ්‍යය සේවා නිළධාරිනියගෙන් ලබා ගත හැකිය.

දරුවාට කිරි දීමේදී මව ඉතාමත් සන්සුන්ව හා පහසු ඉරියව්වෙන් සිටිය යුතු ය. දරුවා ද කිරි උරා බීම සඳහා සූදානම් ද යන්න පිළිබඳව මවට අවබෝධයක් තිබිය යුතු ය. එසේ නොවුණහොත් දරුවා තව තවත් හැඬීම මිස කිරි බීමට සන්සුන් නොවෙයි. පියයුරට නිවැරදිව සම්බන්ද වී ඇති දරුවා විනාඩි 20 – 30 ක් පමණ හොඳින් කිරි උරා බොයි.

මතු සම්බන්ධයි.

 

නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනී / මනෝ විද්‍යා උපදේශිකා

අනුරාධපුර ශික්ෂණ රෝහල

 

 

 

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate