මව්කිරි දෙන සෙනෙහෙබර අම්මලාට…..

නිලුක්ෂි තිලක්සිරි

දෙතනේ එරෙන කිරි බිංදු
දෙතොලඟ බිලිඳුගේ රැන්දු
දෙව්ලොව සිට මෙහි කැන්දූ
බිළිඳුට අම මී බිංදු

පුංචි බිලිඳුට මව්කිරි කියන්නේ අමෘතයක් වගේ . මවගේ දෙතනේ එරෙන කිරි පුංචි බිළිඳුට ජීවය දෙනවා. විශ්වය අසමසම නිමැවුමක් වූ මව්කිරි කිසිවකට සම කළ නොහැකියි. අම්මා කෙනෙක් පුංචි පැටියා ව තුරුල්   කරගෙන මව්කිරි දෙනකොට කිරි විතරක් නෙමෙයි දෙන්නේ. දරු සෙනෙහස, උණුසුම, ප්‍රතිශක්තිකරණය, පෞරුෂය, චිත්තවේග, කළමනාකරණ හැකියාව, හොඳ දරුවෙක් වෙන්නට පෙර මග

මේ සියල්ල මව් කිරිත් එක්ක අම්මා දරුවාට නොදැනුවත්වම ලබා දෙනවා. මෙහෙම අඩු නැතුව මව් කිරි දෙන අම්මලාට හොඳ මානසික මට්ටමක් තියෙන්න ඕනේ.

හොඳ මානසික මට්ටමක් හැම අම්මා කෙනෙකුටම තියෙනවද?  මානසික මට්ටමයි මව්කිරි අතර තිබෙන සම්බන්ධතාවය මොකක්ද? පියයුරුවලින් මව්කිරි ගලා ගෙන ආවට මව් කිරි නිපදවෙන්නේ මනසේ . මව්කිරි නිපදවන ආකාරය මව්කිරි නිපදවීමේදී ඇතිවන අහිතකර බලපෑම් නිසා කිරි නිෂ්පාදනය අඩු වීම, හොඳින් එරුණු මව්කිරි දරුවාට ලබා දීමේදී ඇතිවන ගැටලු ආදී මේ සියලුම දේ අපි මෙතැන් පටන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

අපේ ශරීරයේ බොහොමයක් දේවල් පාලනය කරන්නේ හෝමෝන මගින් කියලා ඔබ දන්නවා. ඒ වගේම මව් කිරි ලබාදීමේ කාර්යයේ දී අදාළ වූ හෝමෝන තිබෙනවා. අපි ඉදිරියේදී ඔබට ඒ පිළිබඳව කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. කොහොම වෙතත් සරලම කාරණය තමයි, මව් කිරි ලබා දීමේදී ඉතා හොඳ සැහැල්ලු මනසකින් මව සිටීම ඉතා වැදගත්. නමුත් මේ දිනවල ඔබට ඒ සඳහා අවස්ථාවක් තිබෙනවා ද ? විශේෂයෙන් මව් කිරි දෙන මව්වරුන්ට ගර්භනී මව්වරුන්ට විශාල ගැටළුවක් තමයි, ලෝකයක් වශයෙන‍් අපි මුහුණ දෙන මේ වසංගත තත්ත්වය. ගෝලීය වසංගතයට ගොදුරු වූ අපේ ආදරණීය ගර්භණී මව්වරුන් , කිරි දෙන මව්වරුන් අතිශය පීඩනයට පත් වෙන කාරණයක් තමයි දරුවාට මවුකිරි දීම සුදුසු ද? යන කාරණය. ඒ වගේම තමන්ට ආසාදනය වී තිබෙනවා දැයි තහවුරු කරගත නොහැකිව රෝග ලක්ෂණ තිබෙන නිසා දරුවාට මවුකිරි දීමට මැලි වන මව්වරුන් අප අතර ඉන්නවා.

මව් කිරිවල ගුණ සහ මව් කිරි ලබාදීමේදී ඇතිවන ගැටළු පිළිබඳව පිළියම් ලබාදෙන අතරම කාලීනව ඇති වී තිබෙන මේ ගැටළුවට මව්වරුන්ගේ සිතට සහනයක් වන්නට මේ ලිපිය ඔබට උදව් වේවි.

සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව දරුවාට මවුකිරි ලබාදීම ආසාදිත මවකට  කළ හැකියි. කෝවිඩ් නිසා කුමන අවස්ථාවක දීවත් මව්කිරි දීම නතර කළ යුතු නැහැ. මේ රෝගයේදී මවත් දරුවාත් වෙන්  කරන්නේ නැහැ. දරුවාට මේ වෛරසය ආසාදනය නොවීමට මව්කිරි දෙන අවස්ථාවේ සහ දරුවා සමග කටයුතු කරන සෑම අවස්ථාවකදීම මුව ආවරණයක් භාවිතා කිරීම, හොඳින් සබන් ගා අත් සේදීම ආදිය ප්‍රමාණවත්. ඔබේ සෙනෙහස උණුසුම දරුවාට ලබාදීමට මේ රෝග තත්ත්වයේදී තහනමක් නැහැ. ඔබේ සිතේ බියක් තිබෙනවා නම්, දරුවාට වෛරසය ආසාදනය වේවි කියා එසේ වීමට ඉඩකඩක් තිබුණත් මව් කිරි ලබා නොදී සිටීම ඊට විසඳුමක් නොවේ. ඔබ හොඳින් දරුවාට මවුකිරි ලබා දෙන විට රෝගයට එරෙහි ප්‍රතිශක්තිය මව්කිරි හරහා ඔබේ දරුවාට ලබා ගන්නට පුළුවන්.

දරුවාගේ වර්ධනයට මෙන්ම දරුවා විවිධ රෝගවලින් ආරක්ෂා කරන්නට, සංවර්ධනයට මවගේ තුරුලේ සිටීම වගේම මව් කිරි ලබා ගැනීම අතිශය වැදගත්. සාමාන්‍යයෙන් මවකට කැස්ස , හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ ඇති අවස්ථාවකදී උණ හෝ කුමන හෝ රෝගයක් තිබෙන අවස්ථාවකදී වෛද්‍ය උපදෙස්වලින් තොරව මව්කිරි ලබාදීම නතර කරන්නේ නැහැ. එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට කාර්ය මණ්ඩලයේත් අසල්වාසීන්ගේ ඥාතීන්ගේ සහාය මවට ලැබිය යුතුයි .

කිරි දෙන මව පෝෂණය කිරීම ඇය මානසිකව ශක්තිමත් කිරීමට අවශ්‍ය විවේකය සහ නින්ද ලබා ගැනීමට උදව් වීම අතිශය වැදගත්. මව රෝගීව සිටින විට මව්කිරි හරහා ප්‍රතිදේහ දරුවාගේ ශරීරයට ඇතුල් වී රෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් දරුවාගේ ශරීරය තුළ ගොඩනැගීමට මව්කිරිවලට හැකියාව තිබෙනවා. එම නිසා අඛණ්ඩව දරුවාට මවුකිරි ලබාදීමට මව්වරු උනන්දු විය යුතු අතර මව්කිරි හරහා දරුවාට යම් හානියක් සිදුවේ යැයි ඇති අනිසි බිය ඔබ ඉවත් කරගත යුතුයි. මෙතැන් සිට ඉදිරියට ඔබ වෙනුවෙන් දිග හැරෙන ලිපි පෙළ මව්කිරි සම්බන්ධ ඔබේ දැනුම යථාවත් කරන අතර සාර්ථක මව් දරු සම්බන්ධතාවක් වෙනුවෙන් ඒ දැනුම ඔබට උදව් වේවි

මතු සම්බන්ධයි.

මව්කිරිවල ගුණ මුල සිට දැනගනිමු. ලබන සතියේ සිට

නිලුක්ෂි තිලක්සිරි
පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනී
මනෝ විද්‍යා උපදේශක
ශික්ෂණ රෝහල අනුරාධපුර

Editor Health and Life

Related post

1 Comment

  • Great information.. thanks

Leave a Reply

Your email address will not be published.

Translate