අද ලෝක මානසික සෞඛ්‍යය දිනයයි – සැමට මානසික සෞඛ්‍යය සේවා ලබා දෙමු .

අද ,එනම් ඔක්තෝබර් 10 වැනිදා ලෝක මානසික සෞඛ්‍යය දිනයයි.

අන් කවරදාටත් වඩා මානසික සෞඛ්‍යය පිළිබදව අද වන විට සැලකිලිමත් වීමට අවශ්‍ය වේ . ලොව පුරා ව්‍යාප්තව ගිය කොවිඩ් -19 වෛරසය නිසා පැන නැගි සුවිශේෂී තත්වයන් නිසාම මානසික සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල වූ බව නොරහසකි. සැබැවින්ම කොවිඩ් -19 ගෝලීය වසංගතය දැඩි බලපෑම් එල්ල කරන ලද්දේ පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට වුව ද එය බැලූ බැල්මට බාහිරින් නොපෙනෙන නිසා ඒ වෙනුවෙන් යොමුවූ අවධානයේ අඩුවක්ද නිරීක්ෂණය කළ හැකි වේ.

වසංගතය හමුවේ ලොව පුරා මානසික සෞඛ්‍යය සේවාවන් බිද වැටීම ද නිරීක්ෂණය කළ හැකිවේ. වෙනදාටත් වඩා සේවාවන් අවශ්‍ය මොහොතක සාමාන්‍ය කාල වකවානුවකදී පවතින සේවාවන් මට්ටමට හෝ මානසික සෞඛ්‍යය සේවා පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් අර්බුදය තවත් උග්‍ර වී ඇත. කෙසේ වෙතත් 2021 වසරේ මැයි මාසයේදී රැස්වූ ලෝක මානසික සෞඛ්‍යය සම්මේලනය ඒ ඒ රාජ්‍යයන්ට මග පෙන්වීම් ලබා දෙමින් ප්‍රකාශ කළේ, සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව ගොස් නව මං පෙත් ඔස්සේ මානසික සෞඛ්‍යය සේවාවන් පුරවැසියන් වෙත ලබා දිය යුතු බවයි.

කොවිඩ් සමය හා මානසික සෞඛ්‍යය

බිය ,කණගටුව හා අධික ආතතිය ඇතුළු මානසික තත්ව වලින් කොවිඩ් සමයේ මහජනතාව පෙලෙන බව ලොව පුරා වර්තා සනාථ කරයි. වෛරස ව්‍යාප්තිය හමුවේ අපගේ එදිනෙදා චර්යාවේ වෙනසක් සිදු වීමද මානසික තත්වයන්හි පැහැදිලි වෙනස්කම් ඇතිවීමට බලපා තිබේ. වෛරස ව්‍යාප්තිය අවම කිරීමට පනවා තිබෙන සංචරණ සීමා වැඩි දෙනෙකුගේ සමාජ ජීවිතය අවුල් කර තිබේ.නව ජීවන රටාව යටතේ නිවසේ සිට වැඩ කිරීම,තාවකාලික රැකියා වියුක්තිය හෙවත් රැකියා අහිමිවීම, දරුවන් පාසැල් පරිසරයෙන් ඈත් වීම හා පවුලේ සාමාජිකයින් , හිත මිතුරන් එකිනෙකා කායිකව හමු වීම සීමාවීම මානසික ගැටළු ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු කීපයකි. එබැවින් අපේ කායික හා මනසික සෞඛ්‍යය නිසි පරිදි තබා ගැනීමට නම් විමසිල්ලෙන් ,දැනුවත්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙයි.

මානසික සෞඛ්‍යය ය හා ලෝක තත්වය

ලොව පුරා බිලියනයක පමණ ජනතාවක් මානසික රෝගවලට ගොදුරුවී සිටිති. එසේම ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම මොහොතක මානසික රෝගයක් වැළදීමට හැකියාව පවතී. එසේම ලොව වැඩිහිටියන්ගෙන් 5% ක් මානසික අවපීඩනයෙන්( Depression) පෙලෙන බවද පර්යේෂණාත්මක ව තහවුරු කර ගෙන තිබේ. එසේම අවපීඩනය නම්  මානසික රෝගය වැඩිහිටියන්ගේ ආබාධිත බව ඇතිවීමට ද ප්‍රබල හේතුවක් වේ. එසේම වඩාත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ, ලෝකයේ වයස අවුරුදු 10-19 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් එක් අයෙකු මානසික ආබාධයන්ට එක් වරක් හෝ ගොදුරු වූ අය වීමයි. ඉන් අඩකට වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 14 දී එම රෝගවලට ගොදුරු වෙති. එහෙත් ඔවුන්ගෙන් අති බහුතරය කිසි විටෙක ප්‍රතිකාර ලබා ගැනීමට නොපැමිණෙති. අඩුම වශයෙන් එම පුද්ගලයින් හෝ පවුලේ හා සමාජයේ කිසිවෙකු ඔවුන්ට මානසික ආබාධයක් තිබෙන බව වත් නොදනිති.

භින්නෝන්මාදය (schizophrenia ) වැනි දරුණු මානසික ආබාධ සහිත පුද්ගලයින්ගේ ආයු කාලය අඩුය.  සාමාන්‍ය පුද්ගලයෙකු මරණයට පත් වන වයසට  වඩා වසර දහයකට හෝ විස්සකට පෙර ඔවුන් මෙලොවින් සමු ගනිති.  සිය දිවි නසා ගැනීම ද මානසික රෝග තත්වයකි. මේ අතර ලොව පුරා සිදුවන මරණවලින් සියයට එකක් සියදිවි නසා ගැනීම් නිසා සිදු වන මරණයන්ය. අවුරුදු 15 – 19 අතර තරුණ , තරුණියන්ගේ මරණවලට හේතුවන සිව්වන ප්‍රධාන හේතුව සියදිවි නසා ගැනීම බව තහවුරු වී තිබේ. කොවිඩ් -19 නිසා මේ බියජනක තත්වය තවත් වැඩිවී තිබේ.

මානසික සෞඛ්‍යය සේවාවේ ගැටළු

මානසික සෞඛ්‍යය සේවා ජනතාව ගේ අවශ්‍යතාව පරිදි ලබා දීමට තරම් සංවර්ධනය වී නැත. ගුණාත්මය ඉහල මානසික සෞඛ්‍යය සේවාවක් ලැබෙන්නේ ජනගහනයෙන් ඉතාම අල්ප ප්‍රමාණයකට  පමණි.මානසික සෞඛ්‍යය සේවාවන් ලබාදීමට යෙදවෙන මුදල් ප්‍රමාණය අඩුවීම මෙහිදී ප්‍රබල ගැටළුවකි. අපකීර්තිය ( Stigma),වෙනස්කොට සැලකීම (discrimination ) හා මූලික මානව අයිතීන් උල්ලංඝනය නිසා ඇතිවන තත්වයන්ද පුළුල් ලෙස ගත් කල මානසික සෞඛයය ගැටළු ඇතිවීමට හේතුවක් වේ.

මානසික සෞඛ්‍යය සේවාවන්ට ආයෝජනය

පොදුවේ ගත් කල ලොව පුරා රටවල් සිය ජාතික සෞඛ්‍යය වියදමින් මානසික සෞඛ්‍යය සේවාව වෙනුවෙන් වෙන් කරන්නේ 2% ක් පමණි. මෙය ඉදිරි වසරවලදී ක්‍රමයෙන් වැඩිකිරීම අත්‍යවශ්‍ය වී තිබේ. රටවල් සංවර්ධනය වන වේගය අනුව ජාතික ආදායම් පුළුල් වුවද මානසික සෞඛ්‍යය සේවා වෙනුවෙන් ආයෝජන කිරීමේ යම් අඩුවක් පෙන්නුම් කෙරේ. බොහෝ මානසික  රෝග ,සුව කිරීම කළ හැකිය. ඒ සඳහා කළ යුත්තේ අවශ්‍ය සම්පත් ලබා දීමය.

නිසි මානසික සෞඛ්‍යය සේවා සැපයීමේ තත්වය මෙසේ කණගාටුදායක වුවද  සාමාන්‍යයෙන් බහුල මානසික ගැටළු සමනය කිරීම නිසි මැදිහත්වීමක් ඇත්නම් පහසුවෙන්ම සුව කළ හැකිය. මානසික අවපීඩනය / විෂාධිය (depression ) හා කාංසාව (anxiety ) තත්වයන් සමනය කිරීම නිසි පරිදි අදාළ පුද්ගලයින් සමග සාකච්ජා කිරීමෙන්, උපදේශනය මගින් ,භාවනා ක්‍රම මගින් සහ මේ සියල්ලේම එකතුවකින් කළ හැකිය. මානසික සෞඛ්‍යය සේවා සපයන පුද්ගලයින් බවට පුහුණුවකින් පසුව සාමාන්‍ය සෞඛ්‍යය කාර්ය  මණ්ඩල ඉතා පහසුවෙන්ම පත් කළ හැකි වීමද විශේෂත්වයකි. දරුණු මානසික රෝග සහිත පුද්ගලයින්ද නිරන්තර සෞඛ්‍යය පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් හා මැදිහත්වීමෙන් අකාලයේ මියයාම වළක්වා ගත හැකිවේ. ඔටිසම් (autism) හා ඩිමෙන්ෂියා (dementia) වැනි තත්වයන්ට ලක්වූ පුද්ගලයින්ගේ ජීවන තත්වය උසස් කිරීම වෙනුවෙන් ඔවුන් රැක බලා ගන්නන් පුහුණු කිරීම කළ යුතුය.

ගුණාත්මක මෙන්ම මිලක් ගෙවීමට සිදුවන විට සාධාරණ මිලක් යටතේ මානසික සෞඛ්‍යය සේවා විශේෂයෙන් ප්‍රජා පාදක මානසික සෞඛ්‍යය සේවා ලබාදීම වෙනුවෙන් කැපවීම අප විසින් කළය.  රටක් ලෙස සැලසුම් කළයුතු කරුණකි. මානසික ආබාධ හා රෝග සමග ජීවත් වන්නන්ට සිය ජීවිතය පහසු කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සැලසීමත් ,ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී එවන් පුරවැසියන් ගැනද සිතා කටයුතු කිරීම රටක, සමාජයක, සබුද්ධික පුරවැසියන්ගේ අත්හල නොහැකි වගකීමකි.

සටහන – ජානක සුනෙත් බණ්ඩාර (සෞඛ්‍යය අධ්‍යාපන නිලධාරී )

තොරතුරු මූලාශ්‍රය – ලෝක සෞඛ්‍යය සංවිධානය

 

Editor Health and Life

Related post

1 Comment

  • Very important information.. thank’s

Leave a Reply

Your email address will not be published.

Translate