ලුණු කන්නේ පරිස්සමින්

විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන

ලෝක ආඝාත (අංශභාග) දිනය අද (29) යි. මේ ඒ නිමිත්තෙන් පළවන ලිපියකි.

ලංකාවේ සිදුවන මරණවලින් සියයට 83 ක්ම සිදු වන්නේ බෝනොවන රෝග වන අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය (අංශභාගය) , පිළිකා, දියවැඩියාව , වකුගඩු රෝග මෙන්ම කාලීන ස්වසන රෝග නිසා.

මේවාට හේතු වන්නේ විශේෂයෙන්ම අපගේ ජීවන රටාවේ සිදු වී ඇති වෙනස්කම්. එනම්, අහිතකර ආහාර රටාව (ලුණු,සීනි,තෙල් අධික ආහාර, රසකාරක, කල්තබා ගන්නා ද්‍රව්‍ය සහ පිරිපහදු කළ ආහාර පරිභෝජනය) ව්‍යායාම නොමැතිකම, දුම්පානය සහ මත්පැන් භාවිතය, කලබලකාරී මානසික තත්ත්වයයි. මේ හේතුවෙන් රුධිර පීඩනයේ ඉහළ යාමට රුධිරයේ සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමට මෙන්ම බර වැඩිවීම තරබාරුභාවයට ඇති අවදානම ඉහළ යයි.

 

විශේෂයෙන්ම ලෝක ආඝාත දිනයේදී එය වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවදියෙන් සිටීම ඉතා වැදගත් වේ.
ආඝාතයට මුල් වන ප්‍රධාන හේතුව වන්නේ, අධික රුධිර පීඩනයයි. අධික රුධිර පීඩනය ඇති වීමට මූලික වෙන්නේ, අධික ලුණු භාවිතයයි. අපේ රටේ සියයට 50 ක් දෙනා තවමත් බත් පිසින විට ලුණු එකතු කරනවා. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන්නේ ලුණු තේ හැන්දකි. එනම් ග්රෑම් 5 ක ප්‍රමාණය වුණත් දිනකට ලුණු තේ හැඳි 2 – 3 ක් පමණ එනම්, ග්රෑම් 9 ක් පමණ භාවිත වෙනවා. ක්ෂණික ආහාර , බේකරි නිෂ්පාදන, සෝස් වර්ග, රයිස්, කොත්තු, පීට්සා, රෝල්ස්,පැටිස්, පේස්ට්‍රි, හා චට්නිවල ලුණු අධිකයි. එමෙන්ම කරවල, හාල්මැස්සන් ද ලුණු අධිකව තිබෙන ආහාර අතර වෙනවා.

                                   

මෙලෙස ලුණු අධිකව ශරීරයට එකතු වීමෙන් රුධිරයේ පරිමාව වෙනස් වෙනවා. කලක් ගත වීමේදී රුධිරවාහිනීවල ඝනවීම්, පටුවීම්වලට මෙය හේතු වී අධික රුධිර පීඩනය ඇති වෙනවා. කුඩා කාලයේ සිට ම දරුවන්ට මෙවැනි ආහාර ලබා දුන් විට ඉතා ලාබාල වයසින් අධික රුධිර පීඩනය ඇති වීමට එය හේතුවක් වෙනවා. එමෙන්ම ඔවුන් බර වැඩි වී තරබාරු වන විට මේ අවදානම තවත් ඉහළ යනවා. එවිට මොළයට, හෘදයට, වකුගඩුවලට ඇති වන බලපෑම වැඩි වෙනවා. මොළය හා ආශ්‍රිත රුධිරවාහිනීවල අවහිරවීම්, පුපුරා යාමට ඇති ඉඩ කඩ වැඩි වීමෙන් ආඝාතයට ගොදුරු වෙනවා. හෘදයට සිදු වන අවහිර වීම හෘදයාබාධයකට හේතු වෙනවා.

මෙවැනි තත්ත්වයන් ඇති වීම වළක්වා ගන්නේ කෙසේද?

දිවයින පුරා ඇති ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන හා දිස්ත්‍රික් රෝහල්වල පිහිටුවා ඇති “ සුවදිවි මධ්‍යස්ථාන ” ඔබට මේ සඳහා මග පෙන්වීමක් කරාවි. බෝනොවන රෝගවලට ගොදුරු වීමට පෙර අවදානම් සාධක හඳුනා ගැනීමටත් ඒ සඳහා නොමිලේ පරීක්ෂාවන් කිරීමටත් , අවශ්‍ය උපදෙස් ලබා දීමටත් කල් ඇතිව හඳුනා ගතහොත් අවශ්‍ය වෛද්‍ය සායනවලට යොමු කිරීමටත් සුවදිවි මධ්‍යස්ථානවලින් සිදු වෙනවා.සාමාන්‍යයෙන් සතියකට වරක් කුඩා රෝහල් ( ප්‍රාථමික වෛද්‍ය ඒකක) හා දිස්ත්‍රික් රෝහල් දහසකට ආසන්න සංඛ්‍යාවක මෙම සායන පැවැත්වෙනවා.

අවුරුදු 35 හෝ ඊට වැඩි ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශවයටම මෙම සායනයේදී නොමිලේ රුධිරයේ සීනි මට්ටම හා කොලෙස්ටරෝල් පරීක්ෂාව, උස හා බර පරීක්ෂා කර නිවැරදි පෝෂණ මට්ටම ගැන අවබෝධයක් ලබා ගැනීම, රුධිර පීඩනය මැනීම, ඇස්, මුඛ ආදී පරීක්ෂණයන්ට යොමු විය හැකි අතර අවදානම් තත්ත්ව ඇති පුද්ගලයින් හඳුනා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම, සායනවලට යොමු කිරීම හා පසු විපරම් කිරීම ආදිය තුළින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා ආදී බෝනොවන රෝග වැළැක්වීම හා පාලනයට අවශ්‍ය උපදෙස් ලබා දෙයි. එමෙන්ම නිවැරදි ආහාර වේල, ව්‍යායාම පිළිබඳව ද වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

 

අවුරුදු 20 – 34 අතර තරුණ පුද්ගලයින්ට ද මෙම සේවාව ලබා ගත හැකි අතර තරුණ පුද්ගලයින්ට ද  පහත සඳහන් කරුණු ගැන විශේෂයෙන් අවධානය යොමු කර ඇත.

• පසුගිය වසර තුළ දුම්පානයට යොමු වූවන්.
• බර වැඩි පුද්ගලයින් (ඉන වට ප්‍රමාණය සෙන්ටිමීටර් 90ට  වැඩි පිරිමි හා සෙන්ටිමීටර් 80 ට වැඩි ස්ත්‍රීන්) හෝ උසට සරිලන බර (BMI අගය)  වර්ග මීටරයකට කි‍ලෝග්රෑම් 25 (25kg /m2• අධික රුධිර පීඩනය 140 /90 වැඩි පුද්ගලයින්.
• දියවැඩියා රෝග ලක්ෂණ ඇති බවට සැක පුද්ගලයින්.
• ළඟම ඥාතීන්ට දියවැඩියා රෝග ඉතිහාසයක් ඇති පවුල්වල දරුවන්.
• පාරම්පරික රුධිර කොලෙස්ටරෝල් මට්ටමේ විෂමතා ඇති පවුල්වල දරුවන්.

බෝනොවන රෝග ඇති වීම වැළැක්වීම හා කල් තියා හඳුනා ගැනීම හා පාලනය කිරීම අකාලයේ මරණයට පත් වීමට ඇති අවදානම අඩු කරයි.

ඔබ දියවැඩියා රෝගියෙකු අධික රුධිර පීඩනය සහිත රෝගියෙකු, හෘදයාබාධ හෝ අංශභාග රෝගියෙකු, ශ්වසන රෝගියෙකු, පිළිකා රෝගියෙකු නොවීමට නම්, කල් තියා සුවදිවි මධ්‍යස්ථානවලට යොමු වන්න.

මෙවැනි රෝගවලට ගොදුරු වූ පසු සුව කළ නොහැකිය. කළ හැක්කේ, ඖෂධ, ආහාර හා අනෙකුත් උපක්‍රම මගින් රෝගය පාලනය කිරීම පමණි. එසේ වීමට පෙර නිරෝගී ජීවිතයක් සඳහා යොමු වීමට අදිටන් කර ගන්න.

ඔබගේ නිරෝගී බව රැක දෙන්නට රජයෙන් නොමිලේ ලබා දෙන සුව දිවි  මධ්‍යස්ථානවල සේවාව වහ වහා ලබා ගන්න.

ඔබේ ප්‍රදේශයේ  ඇති එවැන් මධ්‍යස්ථාන වෙත ඔබේ අසල්වාසීන් ද ඥාතීන් ද යොමු කරන්න. ඔය ඔබේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වන බව සැම විටම සිතන්න.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ
ශාන්ති ගුණවර්ධන
බෝනොවන රෝග ඒකකය
සෞඛ්‍යය අමාත්‍යංශය

සටහන – අසෙනි හීන්දෙනිය

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate