දිගු නිවාඩුවකින් පසු පාසැල් යන දරුවන්ගේ මානසිකත්වය දෙමාපියන් අවබෝධ කර ගත යුතුයි.

සායනික මනෝ විද්‍යාඥ රේඛා අත්තිඩිය

දීර්ග නිවාඩුවකින් පසු නැවත පාසැල් ආරම්භ කිරීමට සූදානමක් පවතී. පාසැල් දරුවන් එන්නත්කරණය ආරම්භ කරමින් අවශ්‍ය සෞඛ්‍යය මාර්ගෝපදේශ ලබා දෙමින් ඒ සඳහා පෙර සූදානම් වීමක් දක්නට ඇත්තේය. බලධාරීන් ඒ සඳහා අවශ්‍ය පරිසරය සූදානම් කරන විට දරුවන් එයට මුහුණ දීමට සූදානම් ද? ඒ පිළිබඳ පැහැදිලි පිළිතුරක් දීමට කිසිවෙකුට නොහැකිය. මන්දයත් වසර එකහමාරක පමණ දීර්ග නිවාඩුවකින් පසු දරුවන් පාසැල් යාම ම අභියෝගයකි.

වෙනදා පාසැල් නිවාඩුවෙන් පසු දරුවන් පාසැලට යන විට පවතින සැහැල්ලුව, ආසාව මේ මොහොතේ දරුවන්ට තිබේද? නැත. වෙනදා කෙළි දෙලෙන් සිටි දරුවන්ට නීති මාලාවකි. යහළුවන් සමග මීටරයක දුර පවත්වා ගැනීමත්, මුඛ ආවරණ පැළඳීමත්, නිතර සබන් යොදා අත් සේදීමත් දරුවන්ට පැවැරෙන වගකීම් අතරින් සමහරකි.

 

එබැවින් අපි මේ දරුවන් පිළිබද වැඩි අවදානයක් යොමු කළ යුතුය. ඔවුන් මේ පරිසරයට අනුගත වන්නේ කෙසේද? එහිදී දෙමාපියන්ට පැවැරෙන වගකීම කුමක් ද? යන්න පිළිබඳව සාකච්ඡා කිරීම වටී. අපි ඒ සදහා කොලඹ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, සායනික මනෝ විද්‍යාඥ රේඛා අත්තිඩිය මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු.

දරුවන්ට මේ මොහොතේ ඇති අභියෝගය

වසර දෙකකට ආසන්න කාලයක් දරුවන් පාසැල් යන්නේ නැතිව වෙනස් ජීවන රටාවකට හුරුවී තිබෙනවා.මේ වන විට බොහෝ දේවල් සිදුවන්නේ ඔන්ලයින්. දරුවන්ට වෙනදා කළ ක්‍රීඩා,ව්‍යායාම කරන්න සුදුසු වාතාවරණයක් නැහැ. එම නිසා දරුවන්ගේ දෛනික චර්යා රටාව බොහෝ සේ වෙනස් වෙලා. ඒ සමගම කොවිඩ් තත්ත්වයට මුහුණ දෙන්නත් ඕනේ. කුඩා දරුවන් කොවිඩ් විෂබීජය නිසා එළියට යන්න බයයි. කාගෙවත් ළගට යන්න බයයි. මරණයට පත් වෙයිද? කියලා බයයි. සමාජ සම්බන්ධතාවලින් දුරස් වෙලා. මානව චර්යාවේ තිබෙන ගොඩක් දේවලින් අපිට ඈත් වෙන්න සිදු වෙලා තිබෙනවා. මෙහෙම වසර දෙකක් විතර ඉදලා නැවතත් පාසලට යනවා කියන එකම දරුවාට විශාල අභියෝගයක් . අපි කාලයක් තිස්සේ එළියට යන්න එපා කියන මතය සමාජයේ රෝපණය කළා. දැන් දරුවන්ට නැවතත් සමාජයට යන්න වෙනවා. නමුත් කොවිඩ් නෑ කියලා සියයට සියයක තක්සේරුවක් අපිට තවමත් දෙන්න බැහැ.

ඉස්සර නම්, නිවාඩුවක් අවසන් කර මාසයකට විතර පසසේ ළමයි පාසැල් යනකොට පරිසරයේ අවදානමක් තිබුණේ නෑනේ. නමුත් මේ වසංගත තත්ත්වයේ ඉඳලා එළියට යන ළමයාගේ පවා මේ භිතිකාව තියෙන්න පුළුවන්. මේ කොවිඩ් වසංගතයත් සමග අපේ දරුවන් සාමාන්‍ය ජීවන අත්දැකීම්වලින් ඈත් වෙලා හිටියේ. ඒ ඈත් වීම මත සාමාන්‍ය කුසලතාවන් ටික ඒ කියන්නේ යාළු මිත්‍රකම් පවත්වා ගැනීම, ගනුදෙනු කිරීම, තමාගේ වාරය එනතුරු බලා සිටීම වැනි කුසලතා දියුණු කර ගන්න, යාවත්කාලීන කර ගන්න මේ අයට කාලය ලැබුණේ නෑ. මේ සියලු ආතතීන් එක්ක ඒ දරුවන් සමාජයට දැම්ම ගමන් පවතින ආතතිය වැඩි වෙන්න තිබෙන ඉඩ වැඩියි. ඒ පිළිබඳව වැඩිහිටියන් වන අපි අවධානයෙන් ඉන්න වෙනවා. ඒක මේ කතාවේ එක පැත්තක්

සෝදන චර්යාව

අපේ අවධානය යොමු නොවුණු තවත් පැත්තක් තිබෙනවා. සමහර අවස්ථාවලදි අපේ දරුවන් වැඩිහිටියන් තුළ යම් යම් ආකාරයේ මානසික අක්‍රමකතාවන් තිබෙනවා. උදාහරණයක් ලෙස ග්‍රස්තීය අන්වාර්යතා අක්‍රමතාව. මේක මෙහෙම කිව්වම තේරෙන්නේ නෑ.ඒකට අපි OCD කියලා කෙටියෙන් කියනවා. අනිසි ලෙස සෝදන චර්යාව (washing Behavior) වැනි චර්යාවන්. මේ තත්ත්වය කොවිඩ් නිසා ඇති වූ තත්ත්වයක් නෙවෙයි. මේ තත්ත්වයේ ඉන්න අය නිතර නිතර අත්සොදනවා තමා සතු උපකරණ නිතරම සෝදනවා. පොත් – පත් ඇල්ලුවත් අත සෝදනවා, හේතුවක් නැතුව අනවශ්‍ය විදිහට. තමන්ගේ දේවල් කිසි කෙනෙක් එක්ක හුවමාරු කර ගන්නේ නෑ.ඒ අය හැමතිස්සෙම හිතනවා, ‘විෂබීජ මගේ ඇඟට එයි. ඊට පස්සේ ලෙඩක් හැදෙයි’ වගේ දේවල්. කොවිඩ්වලින් සිදු වුනේ “පනින්න උන්න රිලවාට ඉනිමං තිබ්බා වගේ වැඩක්.” OCD එකේදි සමහරු ලෙඩ වෙයි කියලා බයයි. මරණයට බයයි. ඒවා එක්තරා ආකාරයක මානසිත අක්‍රමකතා. මේ කොවිඩ් තත්ත්වයෙදි මෙවැනි OCD තත්ත්වයන් තවත් වැඩි වෙනවා. එමනිසා එවැනි තත්ත්වයන්වලදි දරුවන්ට නිසි පරිදි උදව් කරන්න වෙනවා. ඒ අවස්ථාවලදි ළමයි අධික කනස්සලට පත් වෙන්න පුළුවන්. අනිසි බියක් ඇති වෙනවා. හැමදේම හරි අවිනිශ්චිතයි වගේ දැනෙනවා. එවැනි අවස්ථාවල අර සෝදන චර්යාව වුණත් වැඩි වෙනවා. මේ කාලේ නිතරම ජනමාධ්‍ය තුළින් ඇහුණෙම දෑත් සොදන්න පිරිසිදුව ඉන්න කියලානේ. මේ තත්ත්වයේ ඉන්න දරුවට මේ පණිවුඩවලින් බය තවත් දෙගුණ තෙගුණ කරලා මානසිකව බලපාන්න පුළුවන්, ඒ තමන් සිටින බය නිසා.

අපි වැඩිහිටයෝ හැටියට දරුවාගේ මෙම අක්‍රමකතාවන් හදුනා ගත යුතුයි. ඔවුන්ට ඒ අවස්ථාවේදි විශේෂ උදව් අවශ්‍ය වෙනවා. නිසි උපකාර නොලැබුණොත් දරුවා ඉදිරියේදී තවත් අපහසුතාවලට ලක්වෙන්න පුළුවන්.

ඊළග ප්‍රශනය තමයි, අපි කොහොමද ‍කොවිඩ් ආශ්‍රයෙන් ඇති වී තිබෙන අතතිය අඩු කර ගෙන ළමුන්ට ජීවත් වෙන හැටි හුරු කරවන්නේ. අපි පරිස්සම් වෙන්න කිව්වා තමයි. කොවිඩ්වල පවතින භයානකකම පෙන්නලා දුන්නා තමයි, නමුත් අපි සුරක්ෂිත ක්‍රියාමාර්ග ඔස්සේ දෛනික කටයුතුවලට යන්න ඕනේ. මුළු ලෝකෙම මේ ගමන තුළ යනවා. අපිට මේ ගමන නවතින්න බෑ. ඒ නිසා අපිට එක තැනකදි පිළිගන්න වෙනවා, අපිට මේ කොවිඩ් එක්ක ජීවත් වෙන්න වෙනවා කියලා. බාල මහලු වැඩිහිටි අපි ඔක්කොම කොහොමද මේ තත්ත්වයත් එක්ක ජීවත් වෙන්නේ කියලා. මේ ව්‍යසනය මුළු ලෝකෙටම එකපාර වෙච්ච දෙයක්. අපිට මේ තත්ත්වය හුරු නෑ. එම නිසා සෑම පුරවැසියෙකුටම වගකීමක් තිබෙනවා දරුවන්ට මෙය තේරුම් කරලා දෙන්න. ඒ වගකීමෙදි දෙමාපියන්ට පමණක් නෙවෙයි, ගුරුවරුන්ටත් වගකීමක් තිබෙනවා.

කොහොමද දරුවන් අලුත් පරිසරයට හුරු කරන්නේ?

දරුවන් මීට පෙර පාසැල් ගියේ මුඛ ආවරණ දාලා නෙවෙයි. ඒත් දැන් මුඛ ආවරණ දාන්න ඕනේ. පාසැල් යනකොට අත්සොද්න දියර (sanitizer) අරං ගියේ නෑ. ඒත් දැන් අරන් යන්න ඕනේ. මේ සියල්ලටම දරුවන් හුරු කරන්න ඕනේ. ඒ වගේ ම තමයි, බැරිවෙලාවත් දාගෙන ඉන්න මුඛ ආවරණ බිම වැටුණා. ඒක ආයෙත් දාගන්න බෑ. ළමයි හැමෝම මුඛ ආවරණ දාගෙන ඉන්නකොට බිම වැටුණ ළමයාට විතරක් ඒක නැතිව ඉන්න බෑ.ඒක ළමයාට මානසික වදයක් වෙනවා. ඒ නිසා දෙමව්පියෝ දරුවන්ට මාස්ක් එකක් වැඩිපුර දෙන්න මතක තියා ගන්න.ටිෂූ පේපර්ස් දෙක තුනක් දෙන්න.නැත්නම් ළමයි අපහසුතාවට පත් වෙනවා. අපි දරුවන්ට මේ කුඩා උපකරණ කට්ටලය (Mask / sanitizer / tissues ) ගෙදරින් යනකොට අරගන්න හුරු කරන්න ඕනේ.

තරුණ දරුවො ගොඩක් තමන්ගේ නිදහස ගැන කතා කරන පිරිසක්. තරුණ ජවය නිසා කාටවත් ඇහුම්කන් දෙන්න සූදානම් නෑ. ඒ අයත් එක්ක වැඩකරන කොට අපිට ටිකක් වෙනස් ක්‍රම භාවිත කරන්න වෙයි. හැබැයි ඔවුන්ටත් වගකීමක් තිබෙනවා. තරුණ දරුවන් කුමන මානසික මට්ටමක හිටියත් දෙමාපියන් ඔවුන්ට තමන්ගේ වගකීම පිළිබඳව පැහැදිලි කර දෙන්න ඕන. මේ හැම දෙයක්ම කරුණාව, ආදරය එකතු කරලා කරන්න පුළුවන් නම් දරු දෙමාපිය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන මේ අරමුණට යන්න ඒක ගොඩක් පහසු වෙනවා. අපේ දෙමව්පියන් හැමදාම ඉන්නේ ලොකු අධ්‍යාපන තරගයක. මම ඒක අසාධාරණයි කියන්නේ නෑ. හැම දෙමව්පියෙක් ම බලන්නේ තමන්ගේ ළමයි තමන් ඉන්න තැනට වඩා ඉහළින් තියන්න. ඒක ඇත්ත. නමුත් කොවිඩ් ඉවර වුණ ගමන්ම දරුවන්ගේ කුසලතා බලාපොරොත්තු වෙන්න නරකයි. ළමයි දිගු කාලයක් තිස්සේ ආතතියක ඉදලා පාසැල් යාම ම දරුවාට අභියෝගයක්.

දෙමව්පියෝ දරුවා කුඩා කල සිටම දරුවා හොඳින් නිරීක්ෂණය කළොත් යම් තරමකට හෝ දරුවගේ පෞරුෂත්වය තේරුම් ගන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ගොඩක් වටිනවා. ළමයින් හඳුනා ගන්න, ගැටළුවක් පවතී නම්, ඒක හඳුනා ගන්න දෙමව්පියන්ට ළමයා සමග කාලය ගන්න පුළුවන් නම්, තමන් බලාපරොත්තු වන දරුවා නිර්මාණය කරන්නට දෙමාපියන්ට එයම උපකාරයක් වෙනවා.

‘සමබර දරුවෙකු’ නිර්මාණය කරන්නේ කොහොමද?

අපි බොහෝ විට ‘ ධනාත්මක සංකල්පය  ’ගැන කතා කරනවා. ජීවිතය දෙස ධනාත්මකව බලනවා කියන්නේ ප්‍රශස්ත මට්ටමේ අපේක්ෂාවක්. කෙනෙක් රින තැනක ඉදන් ධන තැනකට ගන්නවා කියන්නේ ටිකක් අමාරු කාර්යයක්. ලොකු පිම්මක් පනින්න වෙනවා. හැබැයි, මම හැමතිස්සෙම කියන්නේ රින තැන ඉඳලා මධ්‍යස්ථ  (Neutral) තැනකට එන්න. එතැනින් ධනාත්මක තැනට යන්න පහසුයි. අපි හැමතිස්සෙම හදන්නේ එකපාරටම රින තැන ඉදන් ධන තැනට පනින්න. ඒක ප්‍රායෝගික නෑ.ඒක ප්‍රායෝගික නොවුණම අපි අසාර්ථක වෙනවා, මානසිකව ඇද වැටෙනවා, සමහර විට අපි හිටපු තැනටත් වඩා මානසිකව පහළට වැටිලා. ඒ නිසා අපිට මධ්‍යස්ථව මේ දෙස බලන්න පුළුවන් නම්, හැම දේම යථාර්ථවාදීව බලන්නත් හැකි වෙනවා.

මේ සියලු කාරණා දෙස බලනකොට අපි හොඳම, දක්ෂම දරුවෝ නෙවෙයි, ‘සමබර දරුවෙකු’ නිර්මාණය කරන්න ඕන. ඒ සඳහා වන ශක්තීන් මොනවාද? කියලා අපි බලමු. සරලව ගත්තොත් සමබර දරුවෙක් කියන්නේ අධ්‍යාපනයත්  සාමාන්‍ය සමාජ ජීවිතයත් සමබරව පවත්වා ගෙන තම ඉලක්කවලට ගමන් කිරීමේ හැකියාව ඇති දරුවන්ටයි. අපේ දරුවන්ගේ සමබරතාවය ගිලිහුණේ කොතැනද? කියලා බලමු. අපි ළමයි එක රාමුවකට කොටු කරලා කූඩු කරලා තියෙන්නේ. අපේ දෙමව්පියෝ හුරු වෙලා තියෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනික කුසලතා උලුප්පා ගැනීම විතරනේ. ඒකෙන් වෙන්නේ ළමයාගේ අනෙකුත් සමාජ කුසලතා යටපත් වෙලා යනවා. සමාජ සම්බන්ධතා පැවැත්වීම අඩු වුණාම තව ළමයෙකුගේ දුක තේරෙන්නේ නෑ. කෙනෙකුට තරහා යන එක තේරෙන්නේ නෑ. තමන්ට ප්‍රශ්නයක් ආවම ඒක කතා කරලා විසදා ගන්න දන්නේ නෑ. එහෙම වුණාම සමබරතාව බිදිලා යනවා. එතකොට තමන් දන්න එක රාමුවක (bubble) විතරනේ ළමයා ඉන්නේ. ඒ bubble එක ඇතුලේ එයා හරි. ඒ bubble එකෙන් මිදිලා එළියට ආවම දරුවා දන්නේ නෑ, එයා කොහොමද වැඩ ටික කර ගන්නේ කියලා.තැනකට ගිහින් තනිවම වැඩක් කර ගෙන එන්න දරුවට අත්දැකීමක් නෑ. පවතින තත්ත්වය මෙය නම්,අපිට දරුවාව හුරු කරන්න වෙනවා, පවතින තත්ත්වයට අනුගත වෙන්නේ කොහොම ද? කියලා.

එහෙම වුණොත් අපිට යහපත් තත්ත්වයන්වලදී මෙන්ම අයහපත් තත්ත්වයන්වලදීත් එයට මුහුණ දීමට හැකියාව තිබෙන දරුවෙක් නිර්මාණය කර ගන්න පුළුවන්. අපිට සිදු වුණ දේ ගැන හිතලා කම්පා වෙනවාට වඩා මේක මනුෂ්‍යයින් වශයෙන් අපිට උරුම දෙයක් කියලා හිත හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ධනාත්මක මානසිකත්වය කියලා කියන්නේ. යථාවබෝධය තුළ, පවතින තත්ත්වයට අනුගත වීමට තිබෙන හැකියාව වර්ධනය කර ගන්න පුළුවන් නම් ඒක තමයි, වැදගත් වෙන්නේ.

දරුවන් පවතින සමාජයට අනුගත කරන්නේ කොහොමද?

ඒ හැකියාව ගන්නට දරුවන්ට මානව චර්යාවනුත් උදව් වෙනවා. මානව චර්යාව තුළ ගමන් කළොත් තමයි අනෙක් කෙනාගේ දුක, වේදනාව තේරුම් ගන්න පුළුවන්. සමහර වෙලාවට දරුවො තමන්ට දැනෙන දේ දන්නෙත් නෑ. එතකොට තමන්ට දැනෙන සිතුවිලි සියල්ලම හරියි කියලා හිතුවොත් ඒකත් වැරදියි. රින දේවල් දිහා බලලා දුවලත් බෑ. පැරදිලත් බෑ. එතකොට හිතන පතන රටාව , අරමුණු ඉලක්ක හදා ගන්න ආකාරය, අනාගතය දිහා ප්‍රායෝගිකව බලන්න පුරුදු කිරීම, ප්‍රායෝගිකත්වයෙන් තොරව යම් යම් න්‍යායන් ඔස්සේ යන්න ගියත් යම් යම් අපහසුතාවන්ට ලක් වෙන්න සිදු වෙනවා. ඒක පුංචි කාලේ ඉදන්ම දරුවාගේ මනසේ වගා කරන්න ඕන. මේ කුසලතා වගා කරන්න ස්වභාවික පරිසරය, ආගම දහම බොහෝ උපකාරී වෙනවා.

ළමයින් ආගම දහම දන්නේ නැති වුණාම හොඳ නරක වෙන් කර ගන්නත් අමාරු වෙනවා. අද ආගම , ඉගෙන ගන්න විෂයයට පමණක් සීමා වෙලා. හොඳ නරක කියන සදාචාර ධර්මයේ යම් කිසි තක්සේරුවක් ඉගෙන ගන්න තියෙන තැනක් තමයි, ආගම දහම කියන්නේ. ඕනෑම රටක, ඕනෑම සංස්කෘතියක හොඳ නරක කියලා දෙයක් තිබෙනවා. හැබැයි, අපි ඒක ළමයින්ට තේරුම් ගන්න අවස්ථාවක් නොදුන්නොත් ළමයා මුකුත්ම දන්නේ නෑනේ.

තව වැදගත්දෙයක් තමයි, දරුවන්ගේ හැගීම් කළමණාකරණය කර ගැනීම. දරුවන්ට තමන්ගේ ස්වාධීනත්වය හා ආත්ම ශක්තිය ගොඩනගා ගැනීමට හුරු කළ යුතුයි. තමන්ට තියෙන හැකියාව හඳුනා ගන්න ළමයි හුරු නොකළොත් තමන්ගේ අගය වටිනාකම ළමයින්ට තෙරෙන්නේ නෑ.  දරුවා නිවැරදි අගය කිරීමක් කරන්න ඕන, බොරු අගය කිරීමක් නොකර.අනික් ළමයි එක්ක සන්සන්දනය කරලා කටයුතු කරනවා. ඒ දේවල් නොකළ යුතුයි. ඒ නිසා අපි ඒ පටු මිනුම් දඩුවලින් අයින් වුණා නම්, ළමයි ස්වභාවික පරිසරයට හුරු කළා නම්, ස්වභාවික පරිසරය රසවිදින්න හුරු කළා නම්, ඔවුන් මේ පරිසරයේ කොටසක් වෙනවා. ඒ දේවල් හුරු නොකළොත් ළමයා මේ පවතින පරිසරයෙන් මිදිලා යන්න උත්සාහ කරනවා.  ගැලපෙන අත්දැකීම් ළමයින්ට හුරු කරන්න ඕන.ඒ ඇතු‍ළේ තමයි, මේ ධනාත්මක පෞරුෂත්ව , සමබරතාව නිර්මාණය කර ගත හැකි වන්නේ.

ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.

 

 

Editor Health and Life

Related post

4 Comments

  • Excellent information.. very useful article.. thank’s.

    • Thank u very much.you have been a good reader of our website since its beginning.

  • දරුවන්ගේ මානසිකත්වය විතරක් නෙමේ, සේවා යෝජකයා විසින් තම සේවකයන්ගේ මානසිකත්වයත් අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව ගැනත් මොනවා හරි ලියන්න බැරිද? එමෙන් ම ගුරුවරුන් විසින් දරුවන්ගේ මෙන් ම දරුවන්ගේ දෙමාපියන්ගේ මානසිකත්වයත් නිසියාකාරව අවබෝධ කර ගැනීමට උත්සහ කරනු ලැබිය යුතුයි. විශේෂයෙන් දරුවන්ගේ ඉගෙනීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඇතැම් (හෝ බොහෝ) දරුවන් (1-10 ශ්‍රේණීවල සිටින) යළිත් ඉගෙන ගැනීමේ කටයුතු ආරම්භ කිරීමේදී යම් පසුබැසීමක් විය හැකියි. කොරෝනාවෙන් පසු යළි පාසලට එන බොහෝ දරුවන්ගෙන් එවැනි ලක්‍ෂණයක් මතු වන්නේ නම් එය දරුවන්ගේ නෛසර්ගික ප්‍රශ්නයක් ලෙස ලඝු කිරීමට උත්සහ නො ගත යුතුයි. පු`ඵවන් නම් බ්‍රිතාන්‍ය කැනඩාව ඕස්ටේ්‍රලියාව අමෙරිකාව හෝ වෙනත් යුරෝපීය රටවල මනෝවිද්‍යාඥයන් විසින් කොරෝනාව සහ ළමයින්ගේ මානසිකත්වය පිළිබඳ කරනු ලැබ ඇති ‘ශාස්ත්‍රීය ලිපි’ සිංහලයට පරිවර්තනය කොට ලිපි පෙළක් විදිහට දාන්න පු`ඵවන් නම් වැදගත් යැයි මම පෞද්ගලිකව සිතනවා. අපේ මනෝවිද්‍යායන්/විශේෂඥ වෛද්‍යවරුන් එවැනි ශාස්ත්‍රීය ලිපි සිංහල භාෂාවෙන් පළ කෙරෙනවාදැයි සැක සහිතයි.

    කෙසේවෙතත් ගුරුවරයා යනු ද කොරොනාව නිසා මානසික පීඩනයකට ලක් වූ ප්‍රජාවක් බව ද දෙමාපියන් මතක තබා ගත යුතු යි. ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් ද වෙනම ලිපියකින්/ලිපි පෙළකින් කතා කළ යුතු යි.

    වෙබ් පේජ් එක ගුණාත්මක ව වඩාත් හොඳ තත්ත්වයට පත් කර ගන්න ඔබලා ගන්න උත්සහයට මගේ උණුසුම් සුබ පැතුම් සමඟ ප්‍රණාමය…!🙏🙏

    • බොහොම ස්තුතියි ඔබේ වටිනා අදහස්වලට.තිබෙන සීමිත පහසුකම් මධ්‍යයේ වුවද ගුණාත්මකබාවය වැඩි දියුණු කිරීමට අපි උපරිම උත්සාහ ගනිමින් සිටිනවා.ඔබගේ ඇගයීම අපට දිරියක්.

Leave a Reply

Your email address will not be published.

Translate